එදිනෙදා කටයුතු කිරීමේදී නිවෙසේ දී වගේම නිවසින් පිටතදී අපිට විවිධ අනපේක්ෂිත අනතුරුවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ගෙදර වැඩ කටයුතු කරන ගෘහණියන් වගේම වෙනත් රැකියාවල නිරත වෙන පුද්ගලයන් සහ කුඩා දරුවන් පවා නිතරම විවිධ පිළිස්සුම් අනතුරුවලට ලක් වෙලා තුවාල ලබන පුවත් ඕනෑතරම් අසන්නට ලැබෙනවා.උණු ජලය, උණු තෙල් හෝ ගිනියම් වූ වෙනත් දෙයකින් වුණත් මේ වගේ පිළිස්සීමක් සිදු වෙන්න පුළුවන්. එහිදී ඇතිවන දැවිල්ල වේදනාව නැති කර ගන්නට අපිට නිවසේදී විවිධ පිළියම් සිදු කරන්න පුළුවන්. නමුත් දැඩිව පිළිස්සීමකට ලක්ව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් කරා රැගෙන යාම තමයි වඩාත් සුදුසු වෙන්නේ. .ඉතින් අපි අද ඔයත් එක්ක කතා කරන්නේ සුළු පිලිස්සුම් තත්ත්වයන් සඳහා නිවසේදී සිදු කළ හැකි පිලියම් කීපයක් ගැන.

නොසලකිලිමත්කම නිසා සිදුවන මෙවැනි අනතුරවලදී දැනෙන වේදනාව සහ දැවිල්ල අඩු කරගන්නට මේ සත්කාර ඔබට උදව් වේවි. නමුත් මේ ප්‍රතිකාර කරන්නට කලින් පිලිස්සුනු ස්ථානය ගලන ජලයට අල්ලා හෝ භාජනයකින් වතුර දමා ගත යුතුයි. විනාඩි තුනක් පහක් එසේ සිදු කර පහත පිළියම් සිදු කරන්න.
1.කෝමාරිකා ජෙල්
කෝමාරිකා ජෙල්වලට පිලිස්සුම් නිසා ඇතිවන ඉදිමුම සහ දැවිල්ල ඉතා ඉක්මනින් සමනය කරගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම කෝමාරිකාවල ඇති දැවිල්ල සුව කරන ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය මේ සඳහා ඉවහල් වෙනවා. එමගින් තුවාල බිබිලි සහ ආසාදන තත්වයන් වළක්වාගන්න පුළුවන්.
මේ සඳහා ඔබට වෙළදපොළෙන් ලබාගත හැකි කෝමාරිකා ජෙල් භාවිතා කරන්නට හැකියාව තිබුණත් ස්වභාවික කෝමාරිකා ජෙල් ලබා ගන්නට හැකි නම් ඉතාම හොඳයි. නැවුම් කෝමාරිකාවලින් ජෙල් ලබා ගැනීමේදී එහි කොළ පාට කොටස එකතු නොවන ලෙසය ජෙල් සූරා ගන්නට වගබලා ගන්න. මොකද එය මිශ්‍රවීමෙන් සමේ සුළු කැසීම් තත්ත්වයන් හට ගන්නවා. මේ කෝමාරිකා ජෙල් තේ හැඳි එකක් පමණ අරගෙන පිලිස්සුණු ප්‍රදේශයේ ඒකාකාරීව ආලේප කරන්න. මෙය දිනකට දෙතුන් වතාවක් සිදු කිරීමෙන් ඔබට සහනයක් සලසා ගන්නට පුළුවන්.
2.මී පැණි
ස්වභාවික ප්‍රතිජීවක ඖෂධයක් විදියට සැලකෙන මී පැණි සම මත PH සමතුලිතතාවය ඇති කරනවා. එමඟින් පිළිස්සීම් ආසාදනයට ලක්වීම් අවම කරමින් ඉදිමුම සහ දැවිල්ල සමනය කර පිළිස්සුම වේගෙන් සුව කරන්නට උදව් වෙනවා. මේ සඳහා පිරිසිදු මී පැණි තේ හැඳි 2ක් පමණ අරගෙන පිලිස්සුම් තුවාල ඇති ස්ථානවල ආලේප කරන්නට පුළුවන්. මෙය දවසකට දෙතුන් වතාවක් සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
3.පිපිඤ්ඤා
සිසිල් කාරක ගුණ සහිත පිපිඤ්ඤා සම පිළිස්සී එහි වර්ණය රතු පැහැයට හැරුණු අවස්ථාවකදී භාවිතා කර සුවය ලබා ගන්නට පුළුවන්. පිපිඤ්ඤා ඇට සමඟ අඹරා ගෙන එහි යුෂ පිළිස්සුණ ස්ථානවල ආලේප කිරීම පමණයි ඔබ කළ යුත්තේ. නැත්නම් පිපිඤ්ඤා පෙති වශයෙන් කපා පිළිස්සුණ ස්ථානවල විනාඩි 5ත් 10ත් අතර කාලයක් තබා ගැනීමෙන් ද ඔබට සුවයක් සලසා ගන්නට පුළුවන්.
4.පොල් තෙල්
ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත පොල් තෙල් පිලිස්සීම නිසා ඇතිවන සමේ බිබිලි සහ කැලැල් සුව කරගන්නට උපකාර වෙනවා. මේ සඳහා පිරිසිදු පොල් තෙල් තේ හැඳි එකක් හෝ දෙකක් අරගෙන ඇඟිලි තුඩුවලින් පිළිස්සුන ප්‍රදේශයේ හොඳින් ආලේප කරන්න. ඉන්පසු එය සමට හොඳින් අවශෝෂණය කරගන්නට ඉඩ ලබාදෙන්න . මේ සත්කාරයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් දවසට දෙතුන් වරක් මේ ආලේපය ගැල්විය යුතුයි.

5.හෙන්දිරික්කා දලු
පිළිස්සුම් නිසා ඇතිවන දැවිල්ල සහ වේදනාව නැති කරගන්නට ඉතා හොඳ ඖෂධයක් තමයි හෙන්දිරික්කා. හෙන්දිරික්කා ශාකයක දලු කිහිපයක් කඩාගෙන හොඳින් කොටා ගන්න. ඉන්පසුව එහි යුෂ ගෙන පිලිස්සුණු තුවාල මත ආලේප කරන්න. මෙය දවසට දෙවරක් පමණ කිරීමෙන් පිලිස්සුණු තුවාල ඉතා ඉක්මනින් සුව කරගන්න පුළුවන්.
6.තේ බෑග්
තේ සකස් කිරීමෙන් පසු ඉවතලන තේ බෑග් ශීතකරණයේ ගබඩා කර ගැනීම මෙන්න මේ වගේ පිලිස්සුම් අවස්ථාවලදී ඔබට ප්‍රයෝජනවත් වෙනවා. මෙහි ටැනින් අම්ල අඩංගු වෙන නිසා එය පිළිස්සුණ ප්‍රදේශයේ රතුවීම අඩුකර වේදනාව සහ දැවිල්ල අඩු කරන්නට උදව් වෙනවා. ශීතකරණයේ ඇති තේ බෑග් එකක් ගෙන ඒ පිලිස්සුම් ස්ථානයේ මිනිත්තු 10 – 15 අතර කාලයක් තබා ගැනීමෙන් සහනයක් ලැබෙනවා. සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට දිනකට දෙවරක් පමණ මේ සත්කාරය සිදු කරන්න.
7.විටමින් E
විටමින් ඊ කරල්වල තෙල් පිලිස්සුණු ස්ථානවල ආලේප කරන්න. මේ මගින් සමේ පිලිස්සුණු ස්ථානයට සිසිලසක් ගෙන දෙනවා වගේම කැලැල් හට ගැනීමත් පාලනය කරනවා.

8. කෝමාරිකා යුෂ එරඬු තෙල් සමඟ මිශ්‍ර කර පිළිස්සුණ ස්ථානවල ආලේප කරන්න.
9.අලු කෙසෙල් මුහ, පනම් පෙති, පැසුණු පොල් දමා කොටා මිරිකා එලගි තෙල් ටිකක් දමා ලිප තබා තෙල් සිඳ ගෙන ආලේප කරන්න.
10.පුහුල් මද එළකිරිවලින් අඹරා ආලේප කරන්න.
- පොල්තෙල්වලට හුණු දියකර දෙහි ඇඹුල් ස්වල්පයක් දමා පිලිස්සුණු ස්ථානවල ආලේප කරන්න. මෙමගින් දැවිල්ල අඩුවී දියපට්ට ඇතිවීමත් නතර කරගන්න පුළුවන්.
12.මිල්ල ගසේ පොතු කොටා යුෂ ආලේප කරන්න.
- නිවිති කොළ බටර්වලින් අඹරා පිලිස්සුණ ස්ථානයේ ආලේප කරන්න.
මේ පිළියම් සුළු පිළිස්සුම් සඳහා පමණක් භාවිතයට ගන්න.