හෙළ වෙදකමේ වා පිත් සෙම් කියන තුන්දොස් කිපීම නිසා විවිධ රෝගබාධ හටගන්නා බව සඳහන්. මේ වා පිත් සෙම් සමබරව පවත්වාගෙන යාම නීරෝගීභාවයේ ලක්ෂණයක්. අපේ වැරදි චර්යා රටාවන් සහ වැරදි ආහාර රටාවන් නිසා මේ තුන්දොස් කිපීමෙන් විවිධ රෝගාබාධ ඇතිවෙනවා.ඉතින් ශරීරයේ උෂ්ණය වැඩිවීම කෙරෙහි බලපානු ලබන්නේ මේ පිත. බොහෝවිට ශරීරයේ පිත නැත්නම් අධික උෂ්ණය ඇති කරන්නේ ජානමය බලපෑම් හේතුවෙන්. මව්පියන්ගේ ශරීර උෂ්ණත්වය අධික වුණාම එය දරුවාටත් බලපෑම් කරනවා. ඒ අනුව දරුවාගේ ශරීර උෂ්ණය වැඩිවිය හැකියි. ඒ හැරුණාම තවත් හේතු සාධක ශරීරයේ උෂ්ණය වැඩිවීම කෙරෙහි බලපානවා.
ඉතින් මේ කතා කරන්නට යන්නේ ශරීර අභ්‍යන්තරයේ ඇති උෂ්ණය වැඩිවීම පිළිබඳව. බොහෝ අය මේ තත්ත්වය සුළුවෙන් සලකන අවස්ථා නැතුවාම නොවෙයි. නමුත් ශරීරයේ උෂ්ණය අධික වීම රෝගාබාධ රැසක් ඇති කරන්න පදනම සකස් කරන බව බොහෝදෙනා නොදන්නවා ඇති. ඒ නිසාම සිරුරේ උෂ්ණය වැඩිවීම සහ එය පාලනය කරගන්නට අපිට කළ හැකි දේ මොනවාද කියලා දැනුවත් වී සිටීම ඉතා වැදගත්.
සිරුරේ උෂ්ණය ඇති කරන හේතු සාධක
- ජානමය බලපෑම්
- නිතර වියළි මාංස වර්ග ආහාරයට ගැනීම.
- නිතර රාබු, කොල්ලු හා උඳු ආහාරයට එකතු කර ගැනීම
- මිරිස් තෙල් සහ තුනපහ අධිකව යෙදූ ආහාර ගැනීම
- නිතර කේන්තියාම
- අච්චාරු ආදී සැර ආහාර නිතර ගැනීම
- රාත්‍රී කාලයේ නිදි වැරීම
- දහවල් කාලයේ නිදා ගැනීම.
- නිතර ක්ෂණික හා කෘතීම ආහාර ගැනීම
- නිතර මුරුංගා, දැල්ලන්, රතු පරිප්පු, තක්කාලි ,කිරි අල, මඤ්ඤොක්කා වැනි ආහාර ගැනීම
උෂ්ණ රෝගීන් පෙන්වන ලක්ෂණ
- ඇතැම් ආහාර ගත්විට පලු ඇතිවීම ආදී අසාත්මිකතා ඇතිවීම.
උෂ්ණ ආහාර ලෙස සලකන බලමාලු, බිලිං,කෙලවල්ලෝ, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, අන්නාසි, විනාකිරි යෙදූ ආහාර,ටින් මාළු, ලුණු දෙහි ඇතැම් මස් ආහාරයට ගැනීමෙන් අසාත්මිකතා ඇතිවීම ශරීරයේ උෂ්ණය ඇති බව හඟවන ලක්ෂණයක්.

- කකුල් යටි පතුල් පැලීම
- තොල් වියළීම සහ වණවීම.
- අත් පා සහ ඇඟිලි කැසීම
- අත්ලට සහ පතුලට දහදිය දැමීම .
- මුහුණේ ලප හා බිබිලි ඇතිවීම
- මල් බද්ධය
- කොණ්ඩය ගැලවී යාම
- අතපය කැක්කුම් හා හිරිය
- බඩේ ගෙඩි හට ගැනීම
- ශරීරයෙන් නිතර රස්නය පිටවීම. නමුත් උණ නොතිබීම.
- අමිල පිත්ත රෝගයේ ලක්ෂණ පෙන්නුම් කිරීම
- මඳ සරුභාවය
- කම්මැලිභාවය
සිරුරේ උෂ්ණය අධිකවීමෙන් ඇතිවන රෝගාබාධ
- දරු ඵල ප්‍රමාද වීම
- දරු ඵල අහිමිවීම
- පිළිකා
ගර්භාෂයේ සහ පියයුරු වගේ ශරීරයේ සියුම් ස්ථානවල පිළිකා ඇතිවීමේ ඉඩකඩ වැඩියි.
- කාන්තාවන්ට සුලභව ඇතිවන සුදයාම
- ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
ප්‍රතිකාර

- උෂ්ණ හා කෘතීම ආහාරවලින් වැළකී සිටීම.
- බාර්ලි තම්බා පානය කිරීම.
- රණවරා මල් තම්බා පානය කිරීම.
- නෙල්ලි රසකිද තම්බා පානය කිරීම.
- හාතවාරිය අල, ඉරමුසු, සැවැන්දරා තැම්බූ වතුර පානය
- අමු නෙල්ලි ගෙඩි 6 ක් පමණ තලා යුෂ ගෙන උණු කරන ලද එළකිරි කාලක් සමඟ හොඳින්ම කලවම් කර ඉදුණු කෙසෙල් ගෙඩියක් පෙති ගසා සූකිරි කුඩු අවුන්සයක් සහ මී පැණි අවුන්සයක් දමා කලවම් කර ටික ටික ආහාරයට ගැනීම.
- ඉගිනි ඇට, සුදු හදුන් හා රසකිද තැම්බූ වතුර පානය.
- පතෝල,කැකිරි, අළු පුහුල්, වැටකොළ, කතුරු මුරුංගා,පිපිඤ්ඤා, ගැට පොළොස්,කොහිල අල, කිරි අගුණ ආදිය ආහාරයට එකතු කර ගන්න.
- නෙල්ලි යුෂ පානය
- බෙලි යුෂ පානය
- ඉදුණු බෙලි මදය වතුර දමා මිරිකා පෙරා ලුණු සීනි සහ දෙහි අවශ්‍ය පමණට එකතු කර ශීතකරණයේ තබා පානය කිරීම.
- මුං ඇට තම්බා වතුර පානය කිරීම.
ඇඟ නිවන කැඳ වර්ග

සව් කැඳ-සව් හොඳින් සෝදා වතුර දමා තැම්බෙන්නට තබන්න. එය වරින් වර හැදි ගාන්න. පසුව එයට එනසාල්, කරාබු නැටි, කුරුඳු පොත්තක් එකතු කරන්න. තැම්බෙන අතරේ ග්‍රේට් කරගත් හකුරු ටික එකතු කර හැදි ගාන්න. හකුරු ටික දියවුණාට පසුව පොල් කිරි එකතු කර ලුණු ස්වල්පයකුත් එකතු කර ගන්න. කිරි ටික උතුරද්දි කැටි ගැසෙන්නට නොදී කලවම් කර බැඳගත් කජු එකතු කර ගන්න.
හාතවාරිය කැඳ-මේ හාතවාරිය කැඳ හාතවාරිය කොළවලින් සහ අලවලින් සකස් කරගන්නට පුළුවන්.හාතවාරිය කොළවලින් කැඳ සාදන්නේ නම් ඒවා හොඳින් සෝදා පිරිසිදු කර සාමාන්‍ය කෑලිවලට කපා ගා ගත් පොල් සමඟ බ්ලෙන්ඩර් කරගන්න. පසුව මිරිකා පෙනේරයකින් පෙර යුෂ ලබාගන්න. කැකුළු සහල් ස්වල්පයක් මුට්ටියකට සෝදා දමා වතුර ටිකක් වැඩිපුර දමා තම්බා ගෙන එයට තලාගත් ඉඟුරු කෑල්ලක් සහ සුදු ළූනු බික් 4 ක් එකතු කරන්න.පසුව එහි යුෂ එකතු කර ලුණු ස්වල්පයක් ද දමා නටවා ගෙන පානය කරන්න. මේ කැඳ දිනපතා පානය කිරීම සුදුසු නැහැ.
කොහිල කැඳ-හොදට පැසුණු කොහිල අලයක් ගෙන සෝදා කුඩාවට කපාගෙන වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කරගන්න. සහල් ස්වල්පයක් ලිප තබා හොඳින් තැම්බූ පසුව කපාගත් සුදු ළූනු බික් 5 එකතු කර කොහිල යුෂ ටිකත් එකතු කර තැම්බෙන්නට තබා පසුව පොල්කිරි එකතු කර අවශ්‍ය පදමට ලුණු දමා පානය කරන්න.
කිරි කැඳ -කිරි කැඳ බොහෝ අය ප්‍රීය කරන ඇඟ සිසිල් කරන ඕනෑම වේලාවක පානය කරන්නට පුළුවන් කැඳ වර්ගයක්.සුදු හාල් ටික සෝදා වතුර වැඩියෙන් දමා ලිප තබා බෙරි වෙනතුරු තම්බා ගන්න.එයට ලියාගත් සුදු ලූනු බික් 8 ක් පමණ දමා තම්බා ගෙන වතුර හිදුණු පසු පොල් කිරි දමා නටවා ගන්න. අවශ්‍ය පමණට ලුණු එකතු කර පානය කරන්න .කැමති නම් ගම්මිරිස් කුඩු ඉස ආහාරයට ගන්නත් පුළුවන්.
- වැල් පෙනෙල කැඳ
- නීරමුල්ලිය කැඳ
- පොල්පලා කැඳ
වැරදි ආහාර පුරුදු නිසාම ඇතිවන මේ රෝගය සුව කර ගන්නටත් අපේ ආහාර රටාව නිවැරදි ලෙස පවත්වා ගැනීමෙන් හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඉහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීම ඔබට මහත් උපකාරයක් වේවි.