සිරුරේ ලුණු වැඩි බව පෙන්වන ලක්ෂණ 7 ක්

health tips

මුළුතැන්ගෙට නැතුවම බැරි ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්.මෙයින් අපේ ශරීරයට සෝඩියම් කියන මූලද්‍රව්‍ය අවශ්‍ය කරනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වෙන සෝඩියම් ප්‍රමාණය ග්‍රෑම් 2.3 යි. අපි ලුණු තේ හැන්දක්, ඒ කියන්නේ ලුණු ග්‍රෑම් 5 ගත්විට ඒ සෝඩියම් ප්‍රමාණය අපේ සිරුරට ලැබෙනවා. එමගින් සිරුරේ රුධිර පීඩනය හා රුධිර සංසරණය පාලනය කරනු ලබනවා.එය ස්නායු සහ පේශී තන්තු අතර සන්නිවේදන කටයුතු සඳහා උපකාරී වෙනවා.ඒ නිසා පමණට වඩා ලුණු පරිභෝජනය ශරීරයට ඉතා අහිතකර ලෙස බලපානවා. නමුත් සමීක්ෂණවලට අනුව ලාංකීය අපි ලුණු වැඩි වශයෙන් පරිභෝජනය කරන බව හෙළි වී තියෙනවා. ආහාරයක රස දැනෙන්නට ලුණු රසයක් හොඳට තිබිය යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. බතක් ඉව්වත් එයට උණු ස්වල්පයක් එකතු කරන්නට බොහෝ ගෘහණියන් පුරුදු වෙලා ඉන්නවා.ලුණු දෙහි, අච්චාරු, සෝස් වර්ග, කෙටි ආහාර, පැණි බීම ආදී සියල්ලටම අධික ලෙස ලුණු එකතු කර තියෙනවා. මේ ආහාර වැඩිපුර ගැනීමෙන් ශරීරයට අධික ලෙස ලුණු ලැබෙනවා. නමුත් රස පසුපස හබා යාම නිසාම ඇතිවන ලෙඩ රෝග නම් සුළුවට ගන්නට බැහැ.

අධික ලුණු පරිභෝජනයෙන් ඇතිවන අහිතකර තත්ත්වයන් 

  • අධි රුධිර පීඩනය ඇති කරයි.
  • හෘදයාබාධ ඇති කරයි.
  • වකුගඩු රෝග ඇති කරයි.
  • ආමාශයේ පිළිකා ඇති කරයි.
  • හෘදය අකර්මන්‍ය වීම සිදුවෙයි.
  • ආඝාතය ඇති කරයි.
  • අස්ථි බිඳවැටීම හා ඔස්ටියෝපොරෝසීස් තත්ත්වයන්වලට ගොදුරුවෙයි. 
  • ආසාත්මිකතා ඇති කරයි.
  • දන්ත සෞඛ්‍ය සඳහා ගැටළු ඇති කරයි.

සිරුරේ ලුණු අධික බව හඟුවන ලක්ෂණ

නිතර පිපාසය දැනීම අපේ ශරීරයේ ලුණු ප්‍රමාණය වැඩි වූ විට ශරීරයේ ජලය ප්‍රමාණය පහළ බැසීම සිදු වෙනවා.ඒ නිසා වැඩි වශයෙන් ලුණු ශරීරයට ලැබෙන විට ජලය ක්‍රමයෙන් වැයවෙනවා. ඒ නිසා ප්‍රමාණවත් පරිදි ජලය අවශ්‍ය වන නිසා නිතර නිතර පිපාසය ඇතිවෙනවා. ඒ පිපාසය දැනෙන විට ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකළොත් එය සිරුරේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවෙනවා.මොකද විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියට අවශ්‍ය ද්‍රව්‍ය සෛල අභ්‍යන්තරයෙන් ලබා ගැනීම නිසා.ඒ නිසා පුද්ගලයා විජලනයට පත්වෙනවා.

නිතර මුත්‍රා පිටවීම සහ මුත්‍රාවල වර්ණය වෙනස් වීම ලුණු අධික ලෙස පරිභෝජනය කිරීමෙන් වකුගඩුවලට වැඩි වෙහෙසක් දැරීමට සිදුවෙනවා ඒවා සිරුරෙන් ඉවත් කරන්නට.ඒ නිසා ඇතැම්විට වකුගඩු රෝගී තත්ත්වයට පවා පත්වෙන්නට පුළුවන්. මොකද සෝඩියම්වල විද්‍යුත් විච්ඡේදතාවය නිසා වකුගඩුවලට අමතර ශීඝ්‍රතාවයකින් ක්‍රියා කරන්නට සිදු වෙනවා.වකුගඩුවල ක්‍රියාකාරිත්වයට ඉහළ රුධිර සැපයුමක් අවශ්‍ය නිසා ශරීරයේ රුධිර සංසරණය වේගවත්වී අධි රුධිර පීඩනය හා මන්දාතතිය ඇති කරනවා.ඒ නිසාම මුත්‍රවල වර්ණය වෙනස්වීම වගේම නිතර නිතර මුත්‍රා පිටකිරීමත් අවශ්‍ය වෙනවා. මේ නිසා ශරීරය විජලනයට පත්වෙනවා. මුත්‍රා තද කහ පැහැයක් ගෙන පිටවන මුත්‍රා ප්‍රමාණය ද අඩු වෙනවා. මේ මුත්‍රා පිටවන්නේ ශරීරයේ පවතින කැල්සියම් අයන සමඟ නිසා කැල්සියම් ඌණතාවයන් ද හටගනු ලබනවා.

සිරුරේ ඇතිවන අසාමාන්‍ය ඉදිමීම ශරීරයේ පැවතිය යුතු ප්‍රමාණය ඉක්මවා ලුණු ප්‍රතිශතය ඉහළ යාමෙන් සිරුරට අමතර ජල ප්‍රමාණයක් දරාගෙන සිටීමට සිදු වෙනවා. ඒ නිසා  එකවරම ඇඟිලි, දෙපා, වැලමිට, දණහිස්, මැණික් කටුව  වගේම දෑස් ආදිය අසාමාන්‍ය විදියට ඉදිමෙන්නට පුළුවන්. එවැනි ලක්ෂණයක් ඇතිවුණොත් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත්වීම වැදගත්. 

නිතර නිතර කෙණ්ඩා පෙරලීම නීරෝගී සිරුරක් පවත්වා ගෙන යන්නට බාධා ඇති කරන අධික ලුණු පරිභෝජනය නිසා මාංශපේශී වේදනාවට පත්වී පෙරලීම ඇතිවෙන්නට පුළුවන්.නිතර නිතර මස් පෙරලීම ඇතිවෙලා නම් ඇතැම් විට ඔබේ සිරුරේ ලුණු ප්‍රතිශතය අධිකව පවතිනවා වෙන්නට පුළුවන්.

අස්ථිවල වේදනාව හා දත්වල ගැටලු ශරීරයට වැඩි වශයෙන් ලුණු ලැබීම අස්ථිවල ශක්තිමත්භාවය නසන්නට හේතුවෙනවා.විශේෂයෙන්ම ලුණු අධිකවීම සිරුරේ කැල්සියම් ඌණතාවයක් හට ගැනීමට මග පාදනවා. එමගින් අස්ථි දුර්වලවීම්, දත්වල ගැටලු වගේම ඔස්ටියෝපොරෝසීස් වගේ තත්ත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්. අස්ථිවල වේදනාවන් ඔබේ සිරුරේ ලුණු අධික බව හඟවන තවත් එක් සංඥාවක්.

දිගුකාලීන හිසරදය හිසරදය ලෙඩ රෝග බොහොමයක් නිසාවෙන් ඇතිවෙන්නට පුළුවන් රෝගී තත්ත්වයක්. සිරුරේ ලුණු ප්‍රමාණය අධික වූ විට එය හඟවන ලක්ෂණයක් වන්නෙත් දිගුකාලීනව පවතින හිසේ කැක්කුමයි.විශේෂයෙන්ම රුධිරයේ ඝනත්වය වැඩි කරන්නට අධික ලුණු පරිභෝජනය හේතුවී එය රුධිර නාල පළල් කරමින් එයට පීඩනයක් එල්ල කරනු ලබනවා.මේ තත්ත්වය නිසා අධි රුධිර පීඩනය ඇතිවී එහි ප්‍රතිඵලයක් ලෙසට හිසේ කැක්කුම හටගනු ලබනවා.

මතකය දුර්වල වීම මේ තත්ත්වය ඇති වන්නේ අධික ලුණු පරිභෝජනයෙන් ඇතිවන අධි රුධිර පීඩනය නිසා මොළයට රුධිරය සපයන ධමනිවලට හානි සිදුවීමෙන්. ඒ නිසා සිතීමේ හැකියාව අඩුවෙනවා. නිරන්තර විජලන තත්ත්වය නිසා විඩාපත් බව හා  මතකය දුර්වල වෙනවා.

ඉතින් ලුණු ශරීරයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය වුණත් එය අධි පරිභෝජනය ශරීරයේ නීරෝගීභාවයට විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. ඒ නිසාවෙන් ආහාර පිසීමට බොහෝ වේලාවකට පෙර සූදානම් කර නොතැබීම, බත් පිසීමේදී ලුණු එකතු නොකිරීම, ක්ෂණික ආහාර වර්ග නිතර ලබා නොගැනීම හා ලුණු වැඩිපුර එකතු කරනවා වෙනුවට ආහාර පිසින විට කුළු බඩු වැඩිපුර එකතු කර ගන්නට වග බලා ගන්න. ඒ වගේම දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය මැන එය දවසට භාවිතා කිරීමෙන් ලුණු අධික ලෙස ශරීරයට ලැබීම වළක්වා ගන්නට පුළුවන්.