ඇඟපත වේදනාව සුව කරන ආයුර්වේදයේ පිළියම් 7 ක්

health tips

ඇඟ රිදුම්දීම (body pain) එහෙමත් නැතිනම ඇඟපත වේදනාව රෝගයක් නොව යටින් පවතින රෝගයක පූර්ව රෝග ලක්ෂණයකි.නිතර නිතර ඇතිවන ඇඟපත වේදනාව ඔබේ දෛනික ජීවිතයේ වැඩකටයුතු අඩාල කරවයි.අධිකව සිරුර වෙහෙසවීම, පමණ ඉක්මවමින් වැඩකිරීම හා අක්‍රමවත් ආහාර පාන රටාව සිරුරේ වේදනාව ඇතිවීමට තුඬු දිය හැකි සාධක අතර වේ.ඇඟපත රිදුම්දීම ආයුර්වේදයේ ‘අංගමර්ද’ ලෙස හඳුන්වයි.මෙසේ වේදනාවන් ගටගැනීමට මූලිකම හේතුව සිරුරේ වාත දොස් කිපීම බව ආයුර්වේදයේ මතයයි.ආයුර්වේද සාහිත්‍යයේ ඇඟපත වේදනාවට බලපාන ප්‍රධාන හේතු ලෙස දක්වා ඇති තත්වයන් කිහිපයක් ගැන පහත දැක්වේ.

ආමවාත (රූමටොයිඩ් ආතරයිටීස්)- ජීර්ණයේ දුර්වලතා හේතුකොටගෙන අන්ත්‍ර (බඩවැල්) තුළ ආම හෙවත් විෂ ද්‍රව්‍ය එකතුවීමේ බලපෑමින් හටගනියි.මේවා සන්ධි වැනි කඵ ස්ථාන වල එකතුවීමට පටන්ගැනීමෙන් වේදනාව හා දරාගත නොහැකි අපහසුවක් ඇතිවේ.අවශෝෂණය වී සිරුර පුරා බෙදීයාමට පටන්ගැනීමත් සමඟ සිරුර පුරා වේදනාව ඇතිවීමට තුඩු දිය හැකියි.

සන්ධිවාත (ඔස්ටියෝආතරයිටීස්)- සන්ධි ආශ්‍රිත වාතය එකතුවීමෙන් හා වාත දොස් කිපීමෙන් ඇතිවේ. එක්වරම සන්ධි ආශ්‍රිත වේදනාවක් හා තදගතියක් (දරදඬුවීමක්) අත්දැකිය හැකි අතර පේශී ශක්තිය හීන වී ඇති බවක් දැනිය හැක.

ජ්වාර (උණ)- දුර්වල වූ ආමාශ අග්නිය හේතුවෙන් ඇතිවන උණ ඇඟපත වේදනාව මතුකරවන ප්‍රධාන හේතුවකි.ක්ෂය රෝගය හෝ කැස්ස වැනි බෝවන රෝගයක රෝග ලක්ෂණයක් ලෙස ද ඇතිවිය හැකියි.සිරුරේ කිපී ඇති දෝෂය අනුව ප්‍රතිකාර වෙනස්වේ.

වාතජ පාණ්ඩු (යකඩ ඌනතා නිරක්තිය /ලේ අඩුකම)- පිත දෝෂ කිපීමෙන් හා වාත හා සෙම් දොස් අසමතුලිත වීමෙන් හටගනියි.මේ බලපෑමින් රක්තය හෙවත් රුධිරය කිපී සුදුමැලිවීම හා සම දුර්වර්ණ වීමට  පටන්ගනියි.

ඇඟපත වේදනාව සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර

ස්නේහන- බාහිරව හෝ අභ්‍යන්තරික වශයෙන් ඖෂධීය තෙල් මිශ්‍ර බෙහෙත් වර්ග ලබාදී සිරුර ලිහිසි කිරීමයි.ස්නේහන ප්‍රතිකාරයේදි තෙල් සම්බාහනය කරමින් සිරුර සැහැල්ලු කරවීම සිදුකරන අතර ස්නේහපාන ප්‍රතිකාර වලදී ඖෂධීය තෙල් හෝ ගිතෙල් පරිභෝජනයට ලබාදී සිරුරේ විෂ දියවී ආමාශය වෙත ගැලීමට සලස්වයි.

ස්වේදන- රෝගියාගේ සිරුරට දහඩිය දැමීමට සලස්වන ප්‍රතිකාර වේ. මේ හරහා පේශි තදගතිය,දරදඬු බව හා සිරුරේ බර ගතිය දුරුකෙරේ.

වමන- වමනය ඇතිවීම සඳහා සුදුසු ඖෂධ ලබාදීමයි.මේ හරහා ආමාශයේ එකතුවි ඇති දෑ සමඟ සෙම් හා පිත් දොස් මුඛයෙන් බැහැර වී යයි.

විරේචන- සිරුරේ කිපී ඇති පිත දොස් හා එකතු වී ඇති විෂ අපද්‍රව්‍ය ගුද මාර්ගයෙන් බැහැර වීමට ප්‍රතිකාර ලබාදීමයි.උණ හා ආතරයිටිස් ලක්ෂණ පාලනයට ඵලදායිය. කහ උණ,බඩවැල් වේදනාව,ඇදුම,චර්ම රෝග, අපස්මාරය හා පිත මූලික රෝග පාලනයට ගුණ දේ.

රක්තමෝක්ෂන- ලෝහ උපකරණ වලින් හෝ තොරව සිරුරේ අපිරිසිදු රුධිරය ඉවත්කිරීමේ ක්‍රියාවලියයි. වියළි කරවිල ගෙඩි,හරක් අං හා කූඩැල්ලන් මේ සඳහා භාවිතා කරයි. රක්තවාතය හා හිසරදය ආදී වාත හා පිත මූලික රෝග හේතුවෙන් ඇතිවන ඇඟපත වේදනාව අඩුකිරීම සඳහා මේ ප්‍රතිකාරය භාවිත කෙරේ.

ඇඟපත වේදනා සමනය කරන ආයුර්වේදීය ඖෂධ වර්ග

තිත්බ‍ටු– වාත දොස් සමනය කරන,හෘදය ශක්තිමත් කරවන,සෙමහරණය කරන, වාජීකරණ ,උත්තේජක හා කසට ගුණයෙන් යුක්තයි.ඇඟපත වේදනාව මතුකරවන නිදන්ගත උණ රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කරයි.පපුවේ වේදනාව, ඉදිමිම, කැස්ස හා ශ්ලේෂ්මල නිෂ්පාදනය පාලනය කරයි.කසාය හෝ කුඩු ලෙස ලබාගත හැකියි.

එඬරු මූත්‍රා,ස්නායු හා ජීර්ණ පද්ධති නීරෝගි කරයි.වේදනානාශක හා විරේචක ගුණ ඇත. සිරුරේ ප්‍රදාහය හා වේදනාව සමනය කරයි.හිසරදය,උණ,සන්ධි වේදනා, සයටිකා රෝග ලක්ෂණ සමනය කරයි.වාත දෝෂ සමනය කරන රජු ලෙස සැලකෙන ඔසුවකි. මේවා තෙල්,කසාය, පේස්ට්, තැම්බුම්සාරය හෝ පත්තු ලෙස භාවිත කළ හැකියි.

කුරුඳු ප්‍රබල ජීර්ණක ඖෂධයකි.ශ්වසන, ස්නායු හා රුධිර සංසරණ පද්ධති නීරෝගි කරයි.වාත දොස් සමනය කරයි. සෙම දුරුකරයි.ස්වභාවික උත්තේජක ගුණ ඇත.සිරුරේ කිපී ඇති සෙම් දොස් දුරුකර කැස්ස, බ්‍රොන්කයිටිස්, ඇදුම හා සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ පාලනය කරයි. කුරුඳු තැම්බුම්සාරය, කුඩු හෝ කිරි සමඟ මිශ්‍ර කළ කසායක් ලෙස ලබාගත හැකියි.

වැල්මී බහිස්‍රාවී,ජීර්ණ,ස්නායු,ප්‍රජනන හා ශ්වසන පද්ධති ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කරයි.සෙම හරණය කරන,විරේචක ,නිර්වින්ධක,සිරුර ප්‍රාණවත් කරන හා ශක්තිමත් කරවන ගුණ වැල්මී වල ඇත.සිරුරේ අප්‍රාණිකබව,ඇඟපත වේදනාව,ප්‍රදාහය හා උදර වේදනා කැක්කුම් පාලනය කරයි.රුධිරය පිරිසිදු කරයි.වාත මූලික රෝග ලක්ෂණ පාලනය කරයි.කිරි මිශ්‍ර කසාය,වතුර සමඟ,ගිතෙල් සමඟ හෝ කුඩු ලෙස ලබාගත හැක.

ක‍ටුවැල් බ‍ටු ශ්වසන, ප්‍රජනන හා ජීර්ණ පද්ධති නීරෝගි කරයි. කසට ගුණ, වාත දොස් සමනය කරන හා සෙම දුරුකරන ගුණ ඇත.උණ, ක්ෂය රෝගය හා රූමටොයිඩ් ආතරයිටිස් ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි. කසාය, යුෂ හෝ කුඩු ලෙස ලබාගත හැකියි.

වල් බැබිල වේදනානාශක,වාජීකරණ, සිරුර ප්‍රාණවත් කරන, තුවාල සුවකරන, ශක්තිය වඩවන,ස්නායු සමනය කරන හා උත්තේජක ගුණ ඇත.ස්නායු,රුධිර සංසරණ,ප්‍රජනන,මූත්‍රා හා ශ්වසන පද්ධති ක්‍රියාකාරීත්වයන්ට හිතකර ප්‍රතිලාභ දේ.හෘදය ශක්තිමත් කරවන ගුණ වලට ප්‍රචලිතයි.වාත දොස් සමනය කර සයටිකා,ආතරයිටීස් හා වේදනාකාරී නිදන්ගත ප්‍රදාහය රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි.රසායනික චිකිත්සාවන්ට ලක්වන රෝගීන්ගේ ශරීර ශක්තිය වැඩිකරයි. කසාය,කුඩු හෝ ඖෂධීය තෙල් වශයෙන් ලබාගත හැකියි.

වඳුරු මෑ  සිරුර ප්‍රාණවත් කරන, ශක්තිමත් කරන, පරපෝෂීනාශක,කසට ගුණ හා වාජීකරණ ගුණ ද අඩංගුය. සිරුරේ අප්‍රාණිකබව,වේදනාව,වඳබව,අජීර්ණය, ඉදිමුම,බෙලහීනතාව හා උණ ලක්ෂණ පාලනයට ප්‍රයෝජනවත් ඖෂධයකි. ඇඟපත රිදුම් දීමට බලපාන සිරුරේ වාත දොස් සමනය කරයි. කසාය,කුඩු හෝ මෝදක ලෙස ලබාගත හැකියි.

මෙම ඖෂධ ගැනීමට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.

  • සැහැල්ලු ආහාර පාන පරිභෝජනය කරන්න.
  • බාර්ලි,මුං ඇට,රතු පරිප්පු,දෙළුම්, මිදි වැනි ආහාර පරිභෝජනයට එක්කරගන්න.
  • දිනපතා උදෑසන යම් කාලයක් හිරු කිරණට නිරාවරණය වන්න.
  • බඩගින්න,පිපාසය,මල මූත්‍රා පිටකිරීම වැනි සිරුරේ ස්වභාවික අවශ්‍යතාවන් මැඩගෙන සිටීමෙන් වළකින්න.
  • අධිකව ආහාර පාන නොගන්න.
  • සිරුර අධිකව වෙහෙසවමින් වැඩකටයුතු කිරීම හෝ ව්‍යායාම කිරීම නුසුදුසුය