වේදනාවන්වලින් තොර ජීවිතය සැබෑවටම වාසනාවක්. නමුත් ශරීරයේ විවිධ ගැටලු නිසා ඔබේ ශරීරයේ යම් යම් වේදනාවන් හටගන්නවා. විශේෂයෙන්ම ශරීරයේ ඇතිවෙන සියලුම වේදනාවන් ශරීරය තුළ ඇතිවන ප්‍රදාහයන් සහ දැවිල්ල හේතු කරගෙන ඇති වෙන බව සඳහන්. විශේෂයෙන්ම බොහෝ හෘද රෝග, ඇදුම, පිළිකා, නිදන්ගත දැවිල්ල, ආතරයිටීස් ආදී රෝග ඇති වෙන්නට මේ ශරීරයේ ප්‍රදාහ තත්ත්වයන් බලපානවා. අපේ ආහාර වේල් සෞඛ්‍ය සම්පන්නව ගැනීමට උත්සාහ කළොත් ශරීරයේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් බොහෝදුරට පාලනය කරගන්නට හැකියාව ලැබෙනවා. එමගින් ශරීරයේ වේදනාවන් ඇති වීම බොහෝ දුරට සමනය කරගන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට කියන්නේ ඒ සඳහා වඩාත් සුදුසු ආහාර කිහිපයක් පිළිබඳවයි.
ළූණු
රතු ළූණු, රට ළූණු, සුදු ළූණු ආදිය ආහාරයට එකතු කර ගැනීම මගින් ශරීරයේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් වළක්වා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සුදු ළූනු පිළිකා නාශක ගුණාංගවලින් සමන්විත ආහාරයක්. ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරමින් හෘද රෝග ඇතිවීමේ අවධානමක් අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි ඩිමෙන්ෂියා අවදානමත් අඩු කරන්නට මේ ළූණු සමත් වෙනවා.

හරිත තේ
අනවශ්‍ය මේදය දහනය කර ගැනීමේ අරමුණින් වැඩි දෙනෙක් භාවිතයට හුරු වෙලා ඉන්න හරිත තේ ශරීරයේ වේදනාවන් ඇති කරන දැවිල්ල සමනයට උදව්වෙනවා. විශේෂයෙන්ම හරිත තේවල කැෆේන් ආදී සංඝටක අඩංගු නොවෙන නිසා එය නින්දට බාධාවක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා දවසේ ඕනෑම වෙලාවක මේ පානය ඔබට භාවිතා කරන්නට පුළුවන්. ග්‍රීන් ටීවල ශරීරයේ ප්‍රදාහ තත්ත්වයන් අඩු කරන්නට හැකි ප්‍රතිඔක්සිකාරක බහුලවම අඩංගු වෙනවා. එමගින් උදරයේ මේදය ඉවත් කරන්නටත් පිළිකා මර්දනය කරන්නත් අධි රුධිර පීඩනය සමනයටත් උදව් වෙනවා. නමුත් මේ හරිත තේ පානයට රසකාරක එකතු නොකර පානය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
ඔමේගා 3 මේද අම්ල
අපේ ශරීරයේ වේදනා දුරු කරන ශරීරයට අත්‍යවශ්‍ය කරන දෙයක් තමයි ඔමේගා ත්‍රී මේද අම්ල. මෙය අපේ ශරීරයේ ප්‍රදාහ තත්ත්වයන් ඇති වීමට එරෙහිව සටන් කරනවා. මේ ඔමේගා ත්‍රී අතිරේකයක් වශයෙන් ලබා ගන්නවාට වඩා සත්ත්වමය ආහාර සහ ශාකමය ආහාර මගින් ඉතා පහසුවෙන් ඔමේගා ත්‍රී අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන්. සැමන්,මෝරා,හුරුල්ලා,මැකරල්, තලපත්, ආදි මේද බහුල මාලු වර්ගවලත් , චියා ඇට, බිත්තර, රට කජු, ආමන්ඩ්, වෝල් නට්ස්,ආදියෙත් ඔමේගා 3 ෆැටි ඇසිඩ් බහුල වශයෙන් අන්තර්ගත වෙනවා.
කහ
ආහාර පිසීමේදී ආහාරවල ප්‍රසන්න බවටත් සහ විශබීජ නසන්නටත් අපි කුළු බඩුවක් වශයෙන් භාවිතා කරන කහ සතු කර්කියුමින් යන සංඝටකය ප්‍රබල ප්‍රතිප්‍රදාහ ගුණාංග සහිතයි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ,බැක්ටීරියා හා දිලීර නාශක ගුණයෙන් යුක්ත කහ මගින් රෝග රාශියක්ම සමනය කරගන්නට පුළුවන්.
කහවල අස්ථි නිරෝගී කිරීම, ආමාශය, බඩවැල්වල දැවිල්ල හා තුවාල සුව කිරීම ආදී විශේෂ ගුණ සහිතයි. ඒ හැරුණාම රුධිර සංසරණය යහපත්ව පවත්වා ගනිමින් වසා ගැටිති සහ රුධිර නාලවල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම, අක්මාවේ විෂහරණය, පිළිකා සෛල විනාශ කිරීම, ප්‍රතිශක්තිය වර්ධනය ඇතුළු විශේෂ හැකියාවන් බොහොමයක් කහ සතුයි. ශරීරයේ ප්‍රදාහයන් සඳහා ප්‍රතිකාරකයක් විදිහට භාවිතා කළ හැකි කහ දිගුකල් නිරෝගීව ජීවත් වෙන්නට අපිට උදව් වෙනවා.
පූර්ණ ධාන්‍ය වර්ග
පූර්ණ ධාන්‍ය වර්ග සහ බෝංචිවල තන්තු බහුලව අඩංගු වන නිසා එය දේහ බර අඩුකර ගන්නත්, හදවත් රෝගවලින් සහ පිළිකාවලින් ආරක්ෂා වෙන්නත්, බඩවැල් නිරෝගීව තබා ගන්නත්, රුධිර පීඩනය යහපත්ව තබා ගන්නත් උදවු වෙනවා. නමුත් මේ ආහාර චීස් බටර් ආදී ශරීරයේ ප්‍රදාහ වැඩිකරන ආහාර සමඟ නොගන්නට වගබලාගන්න.
සුප්
ශරීරයේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සමනය කරගෙන වේදනාව ස්වභාවිකව අඩු කරගන්නට හැකි හොඳම ආහාරයක් තමයි සුප්.විශේෂයෙන්ම එළවළු, මාළු හෝ මස් එකතු කර සකසා ගන්නා සුප් මේ සඳහා ඉතා සුවිශේෂීයි. කුකුළු මස් එකතු කර සාදාගන්නා සුප් රෝගී අවස්ථාවලදීවකදී වඩාත් සුදුසුයි. ඒ සමඟ ගෝවා සහ නිවිති හතු ආදියත් එකතු කර ගැනීමෙන් වඩාත් විශිෂ්ට ආහාරයක් ලෙස සකසා ගන්නට පුළුවන්.
ඉඟුරු
ඈත අතීතයේ සිටම ඖෂධයක් විදිහට භාවිතා කරපු ඉඟුරු ප්‍රති ප්‍රදාහ ගුණාංගයන්ගෙන් යුක්තයි. ඉඟුරු තේකක රස වගේම ගුණයත් අතිවිශිෂ්ඨයි. ඉගුරු ආහාරයට එකතු කර ගැනීම ආතරයිටිස් රෝග සඳහා ප්‍රතිකාරකයක් විදිහටත් දියවැඩියා රෝගීන්ටත් හෘද රෝග සමග සටන් කිරීමටත් ආමාශගත රෝගවලින් සහනය සලසා ගන්නත් උපකාරී වෙනවා.

ගෝවා
ගෝවා පවුලේ ආහාර ලෙස බ්‍රොකලි සහ ගෝවා බොහෝ දෙනෙක් ප්‍රිය නොකළත් ඒවා ශරීරයේ දැවිල්ල සමනය කරගෙන වේදනාවන් නැති කරගන්නට උදව් වෙන සුවිශේෂී ආහාර ලෙසයි සැලකෙන්නේ. නිදන්ගත දැවිල්ල ආදියෙන් ආරක්ෂාව සැලසීමට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක මේවායේ අඩංගු වෙනවා. ඒ නිසා මේ ආහාර නිතර ඔබේ ආහාර වේලට එකතු කර ගන්නට අමතක කරන්නෙපා.