ඔබේ හිස්කෙස් අසාමාන්‍ය විදිහටට ගැලවිලා යනවා නම් ඒ සඳහා කොතරම් ප්‍රතිකාර කළත් ප්‍රතිඵලයක් නැත්නම්, මලබද්ධයෙන් ඔබ දිගින් දිගටම පීඩා විඳිනවා නම් තොල් වියලීම් සහ වණවීම් අත් විඳිනවා ඔබේ ශරීරයේ උෂ්ණාධික බව වැඩිවෙලා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඔබ ඒ ලක්ෂණ සමනය කරගන්නට බාහිරින් කොතරම් ප්‍රතිකාර කළත් ශරීර අභ්‍යන්තරය උෂ්ණත්වය සමනය සඳහා වූ පිළියම් යොදන්නේ නැත්නම් මේ ගැටලුවලට ඔබට සාර්ථක ලෙස විසඳුමක් සොයා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දිගින් දිගටම ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීම නිසා වඩාත් බරපතළ තත්ත්වයේ රෝග තත්වයන්වලටත් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා .
ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට ශරීරයේ උෂෂ්ණත්වය වැඩි වෙන්නට බලපාන්නේ පිත. බොහෝ වෙලාවට ශරීරයේ අධික උෂ්ණත්වයක් ඇති වෙන්නේ ජානමය බලපෑම් හේතු කරගෙන. සාමාන්‍යයෙන් මවුපියන්ගේ ශරීරයේ උෂ්ණත්වය දරුවන්ටත් බලපෑම් කරන්න පුළුවන්. ඒ හැරුනහම ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්නට විවිධ හේතු බලපානවා. ඒ වගේ අවස්ථාවකදී එය නිසි පරිදි හඳුනාගෙන ඒ සඳහා වූ පිළියම්වලට යොමු වීම හරිම වැදගත්. ඉතින් මේ සූදානම ශරීරයේ උෂ්ණත්වය නැති කරගන්න උදව් වෙන සකසා ගන්නත් පහසු කැඳ වර්ග හතරක් පිළිබඳව ඔයාව දැනුවත් කරන්න.
මුලින්ම අපි කතා කරමු ශරීර උෂ්ණත්වය ඉහළ යන්නට බලපාන හේතු සාධක පිළිබඳව.
- ජානමය හේතු
- මිරිස්, තුනපහ, තෙල් ආදිය අධිකව යොදන ලද ආහාර නිතර ගැනීම
- මුරුංගා, දැල්ලන්, ඉස්සන්, අච්චාරු වර්ග, ටින් මාළු, රතු පරිප්පු, තක්කාලි, කිරි අල, මඤ්ඤොක්කා ආදී උෂ්ණාධික ආහාර නිතර නිතර ගැනීම.
- නිරන්තරයෙන් වියළි මස් වර්ග ආහාරයට ගැනීම
- රාබු, කොල්ලු සහ උඳු නිතර ආහාරයට ගැනීම
- නිතර කේන්ති යාම
- රාත්‍රී කාලයේ දී නිදි වැරීම සහ දහවල් කාලයේදී නිදා ගැනීම
- කෘතිම සහ ක්ෂණික ආහාර වර්ග නිරන්තරයෙන් ආහාරයට ගැනීම
ශරීර උෂ්ණත්වය ඉහළ යාම පෙන්නුම් කරන ලක්ෂණ

විවිධ ආහාර ගැනීමෙන් පසු ආසාත්මිකතා පෙන්නුම් කිරීම බල මාළු, බිලිං, කෙලවල්ලා, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, විනාකිරි යොදන ලද ආහාර, ටින් මාළු, ලුණු දෙහි, ඇතැම් මස් වර්ග ආදී ඌෂ්ණ යැයි සැලකෙන ආහාර ගැනීමේදී පළු ඇතිවීම් කැසීම් වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් එය ශරීරයේ උෂ්ණාධික බව පෙන්නුම් කරන ලක්ෂණ ලෙස හඳුනා ගන්න පුළුවන්.
- තොල් වියලීම සහ වණවීම
- යටි පතුල් පැලීම
- මුහුණේ බිබිලි ඇති වීම
- අත්වලට සහ පතුලට දහදිය දැමීම
- මල බද්ධය
- උදරයේ ගෙඩි හට ගැනීම
- අතපයේ වේදනා සහ හිරිවැටීම්
- ශරීරයෙන් නිතර රස්නය පිට වීම. නමුත් උණ තත්ත්වයක් නොතිබීම
- අමිලපිත්ත රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම
- අලස බව
- මදසරුභාවය
බොහෝ දෙනෙක් මේ ශරීරයේ උෂ්ණ බව ඉහළ යාම ගැන සැලකිලිමත් නොවුණත් මේ නිසා වඩාත් බරපතළ ගණයේ රෝග තත්ත්වයන්ට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන්.
- දරුඵල අහිමි වීම
- දරුඵල ප්‍රමාද වීම
- ගර්භාෂය සහ පියයුරු වගේ ශරීරයේ සියුම් ස්ථානවල පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යාම
- කාන්තාවන්ට සුලබව ඇති සුද යාමේ රෝග තත්ත්වය
- ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
එවැනි බලපෑම් කිහිපයක්.
උෂ්ණාධික බව සමනය කරන කැද වර්ග
හාතවාරිය කැද-විවිධ කොළ කැඳ සකසා ගැනීමේදී හාතවාරිය අල හෝ කොළ එයට එකතු කර කැඳ පිස ගන්න පුළුවන්. ඒ හැරුනහම හාතවාරිය කොළ හෝ අල පමණක් භාවිතා කරන කැඳ පිස ගන්නත් පුළුවන්. හාතවාරිය කොළ වලින් කැඳ සකසා ගන්නේ නම් ඒවා හොඳින් සෝදා පිරිසිදු කර සාමාන්‍ය කැබලිවලට කපා ගා ගත් පොල් සමඟ හොඳින් කොටා ගෙන මිරිකා යුෂ ලබාගන්න. ඉන්පසුව කැකුළු සහල් ස්වල්පයක් මුට්ටියකට දමා වතුර වැඩිපුර දමා තම්බා ගෙන ඉන්පසු එයට තලාගත් ඉගුරු සහ සුදු ළූණු බික් හතරක් එකතු කරන්න. පසුව කොළ යුෂ එකතු කර ලුණු ස්වල්පයක් දමා නටවා ගන්න. හාතවාරිය කැද සතියකට කිහිපවතාවක් පානයට ගැනීමෙන් සිරුරේ උෂ්ණාධික බව දුරු කර ගන්නට පුළුවන්.
කොහිල කැද-හොඳින් පැසුණු කොහිල අලයක් සෝදා කුඩාවට කපාගෙන වතුර දමා කොටා එහි යුෂ ලබාගන්න. සහල් ස්වල්පයක් සෝදා ජලය වැඩිපුර දමා තම්බා ගෙන එයට කපාගත් සුදුලූනු බික් 5ක් එකතු කරන්න. ඉන්පසු පොල් කිරි සහ කොහිල යුෂ එකතු කර අවශ්‍ය පදමට ලුණු දමා කැඳ සකසා ගන්න.

පොල්පලා කැද-ශරීරයේ උෂ්ණාධික බව සමනය සඳහා පොල් පලාවලට සුවිශේෂී හැකියාවක් තියෙනවා. නමුත් මේ කැඳ දිනපතාම පානයට ගැනීම සුදුසු නැහැ. සතියකට වරක් දෙවරක් ඔබට පොල්පලා කැද පානයට ගන්න පුළුවන්. පොල්පලා හොඳින් සෝදා පිරිසිදු කරගෙන ගා ගත් පොල් සමග කොටා හොඳින් යුෂ ලබාගන්න. සහල්වලට වතුර වැඩිපුර දමා තම්බා ගෙන එයට ඉගුරු සුදු ළූණු ස්වල්පයක් එක්කර කොළ යුෂ දමා කැඳ සකසා පානයට ගන්න.
කිරි කැද-ශරීරය සිසිල් කරන දවසේ ඕනෑම වේලාවක පානයට ගන්නට හැකියාව තියෙන මේ කැඳ වර්ගය සකසා ගන්නටත් අපහසුවක් නැහැ. සහල් ටිකක් සෝදා වතුර වැඩිපුර දමා ලිපේ තබා බෙරි වෙනතුරු තම්බා ගන්න. එයට ලියා ගත් සුදුළූණු බික් 8ක් පමණ දමා තම්බා ගෙන පොල්කිරි දමා නටවා ගන්න. අවශ්‍ය පමණට ලුණු එකතු කර පානයට ගන්න. අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්නත් පුළුවන්.
ශරීරය සිසිල් කරන කැකිරි, කොමඩු, පිපිඤ්ඤා, පතෝල, අලුපුහුල්, වැටකොළු, කිරි අඟුන, නෙල්ලි, බෙලි, මුංඇට, රසකිඳ, රණවරා, ඉරමුසු ආදී එළවළු පලතුරු වගේම ඖෂධ පැළෑටිත් ඔබට භාවිතයට ගන්න පුළුවන්. ශරීරයේ උෂ්ණාධික බව අඩු කර ගැනීමෙන් ලෙඩ රෝග රැසකින්ම ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්.