හදවත් රෝග ඇති කරන පානීය ජල බෝතල්

health tips

ජලය සෑම ජීවියෙකුගේම පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසාම නීරෝගී පැවැත්මක් උදෙසා වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ප්‍රමාණවත් ආකාරයට පිරිසිදු ජලය පානය කළ යුතු බවයි. අද බොහෝදෙනා ගත කරන සංකීර්න ජීවන රටාව නිසාම නිතර නිවසින් පිට කාලය ගත කරන්නට සිදු වෙනවා. ඒ නිසා බොහෝදෙනා ජලය නිතර පානය කරන්නට අවධානය යොමු කරත් ජලය ගබඩා කරන බෝතලය පිළිබඳව දක්වන්නේ අඩු අවදානයක්. පාසල් යන දුවා දරුවන් වගේම රැකියා සඳහා පිටත්ව යන සෑම සියලුදෙනාම තමන්ට පහසු ප්‍රමාණයෙන් වතුර බෝතලයක් ගෙන යනවා. මේ ගෙනයන බෝතල් අතර පහසුවෙන් කැඩෙන්නේ බිදෙන්නේ නැති ප්ලාස්ටික් බෝතල් සඳහා  පවතින්නේ අධික ඉල්ලුමක්. 

ඒ නිසාම මගතොට ගමනක් බිමනක් යද්දි වුණත් මිලට ගන්නට හැකි පානීය බෝතල් සඳහා පවා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒ විතරක් නෙවෙයි මේ මිලට ගන්නා පානීය ජල බෝතල් නැවත නැවත සෝදා ජලය ගෙනයාමටත් භාවිතා කිරීම බහුලව දකින්නට පුළුවන්. ඉතින් මේ කාරණා දෙකම අපේ නීරෝගී පැවැත්මට සුදුසු දේවල් නොවෙයි. විශේෂයෙන්ම  ප්ලාස්ටික් බෝතල්වල ගබඩා කළ මේ පානීය ජල බෝතල් මිලට ගන්නා ඔබ එය ඔබේ සෞඛ්‍යට කෙතරම් අහිතකර ලෙස බලපෑම් කරනවාද යන්න මදක් හෝ සිතා බලන්න නැතුව ඇති. ඔබත් ඔබේ පහසුවට මේ පානීය ජල බෝතල් මිලට ගෙන පානය කරන අයෙක් නම් මේ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න. මොකද ප්ලාස්ටික් කියන්නේ අපේ ශරීරය ලෙඩ කරවන පරිසරය දූෂණය කරන තවත් එක් අහිතකර ද්‍රව්‍යක් නිසා.

මුලින්ම සඳහන් කළ ආකාරයට බොහෝදෙනා ප්ලාස්ටික් බෝතල් භාවිතයට ගන්නවා. නමුත් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් බෝතලේ දක්වා ඇති සංකේත සහ අක්ෂර පිළිබඳව ඇති දැනුවත්භාවය ඉතා අවමයි. ඒ නිසාම ඔබ පානීය ජල බෝතලයක් බීම බෝතලයක් හෝ මිලට ගත් විට එය නැවත පරිහරණය කළ යුතුද නැද්ද යන්න දැනගත හැකි සංකේත හා අක්ෂර පිළිබඳව දැනුවත්වීම ඉතාම වැදගත්.

PET හෝ PETE (1)

  • එක් වරක් පමණක් භාවිතයට නිපදවා ඇත.
  • නැවත නැවත භාවිතයට ගැනීම සුදුසු නැත.
  • අව් රශ්මියට හා තාපයට නිරාවණය වූ විට එක් වරක්වත් භාවිතයට නොගත යුතුයි.සෝදා පිරිසිදු කළ නොහැක.
  • මේ වර්ගයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය මගින් ශරීරයට අහිතකර ලෝහ ද්‍රව්‍ය හෝ රසායන ද්‍රව්‍ය ජලය සමඟ එකතු වෙයි.

HDP හෝ HDPE(2)

  • මේ වර්ගයේ ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් සිරුරට අහිතකර ලෝහ රසායනික ආදි ද්‍රව්‍ය ජලය සමඟ එකතු වන්නේ ඉතා අවම වශයෙනි.

PVC හෝ 3V (3)

  • කිසිසේත්ම නැවත නැවත භාවිතය සුදුසු නොවෙයි.
  • මේ ප්ලාස්ටික් තුළින් ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයට හානිකර විෂ රසායනික ද්‍රව්‍ය පිට කරනු ලබයි.
  • බෝතල් පිළිස්සීමේදී නිකුත් වන වායු ආඝ්රාණය වුණත් සෞඛ්‍යට තර්ජනක් ගෙන දෙනු ලබයි.

PP (5)

  • මේ ප්ලාස්ටික් වර්ගය අඩු අවදානම් සහිත වර්ගයයි.නැවත නැවත සබන් යොදා සෝදා පිරිසිදු කිරීමෙන් භාවිතයට ගත හැකියි.නමුත් වසර කිහිපයක්ම එකම බෝතලය භාවිතා කිරීම සුදුසු නොවෙයි.සේදුම්කාරක භාවිතා නොකළ යුතු අතර සේදීමේදී තදින් ඇතිල්ලීම ද නොකළ යුතුයි. තද උණු වතුර පිරවීමෙන් වැළකිය යුතු අතර බෝතලය තුළට හානි වී පලුදු වී ඇත්නම් භාවිතයෙන් ඉවත් කල යුතුයි.

PS (6)

  • මේ ප්ලාස්ටික් වර්ගය මිනිසාගේ ශරීර සෞඛ්‍යට එතරම් හිතකර නොවෙයි.

OTHER (7)

  • නැවත භාවිතය සුදුසු නමුත් තද අව් රශ්මියට හා තාපයට නිරාවරණය වීම සුදුසු නොවෙයි.පෙනුම දුර්වර්ණ වී ඇත්නම් භාවිතයෙන් ඉවත් කළ යුතුයි.

ඉතින් ප්ලාස්ටික් බෝතල් කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයට සුළු වශයෙන් හෝ විශාල වශයෙන් අහිතකර බලපෑම් ඇති කරන්නට සමත් දෙයක්. මොකද කුමන වර්ගයක ප්ලාස්ටික් බෝතලයක් වුණත් සකස් කිරීමේදී එහි ශක්තිමත් බව හා ප්‍රත්‍යස්තභාවය වැඩි කරන්නට විවිධ කාබනික සංයෝග එකතු කරනු ලබනවා.BPA (බිස්පිනෝල් A )කියන්නේ එවැනි එක් සංයෝගයක්. එය ප්ලාස්ටික්වල ශක්තිමත් බව ප්‍රත්‍යස්ථභාවය වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කරනු ලබනවා. මේ සංයෝගය ඇතුළත් ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීමෙන් මිනිසාගේ ශරීර සෞඛ්‍ය ඉතාමත් බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා.

මේ BPA ප්ලාස්ටික්වල ඇති පොලිකාබනේට සමඟ (Polycarbonate ) එස්තරීය බන්ධන ඇති කරනු ලබනවා. මේ ඇතිවන අමතර බන්ධන නිසා තමයි ප්ලාස්ටික්වල ශක්තිය දෘඩතාවය තව තවත් වර්ධනය කරන්නේ. මේ BPA තාපයට නිරාවරණය වුණාම ඒ බන්ධන මුදා හරිනු ලබනවා.එනම් BPA තාප සංවේදීයි. ඒ රසායනිකය නිදහස් වන්නේ ප්ලාස්ටික් බෝතලය තුළ තියෙන ජලයට .එහෙම නැත්නම් ප්ලාස්ටික් කෑම බදුනක තියෙන ආහාරවලට. ඒ රසායනික ද්‍රව්‍ය ආහාරවල ගබඩා වෙලා ඒවා ආහාරය  ගන්නා විට ඒ රසායනිකයන් අපේ ශරීරයේ තැන්පත්වීම සිදු වෙනවා. එය අප නොසිතනා ආකාරයේ විවිධ ලෙඩ රෝග වැළදෙන්නට මූලිකම හේතුවක් බවට පත් වෙනවා.

  • ස්ථුලතාවය 
  • පියයුරු පිළිකා
  •  ත්‍රයිරොයිඩ් සංකූලතා 
  • හෘදයාබාධ 

දෙවන කාණ්ඩයේ දියවැඩියාව එවැනි රෝග තත්ත්වයන් කිහිපයක්.ඒ හැරුණාම ප්ලාස්ටික්වල ගුණ වැඩි කර ගන්නට ප්ලාස්ටික්වලට අමතර කාබනිකයක් ලෙස Phthalates පිලේට්ස් එකතු කරනු ලබනවා. ඒ සංයෝගයට ළදරුවෙකුගේ තර්කන හැකියාව අඩු කරන්නට හැකි බව අනාවරණය කරගෙන තියෙනවා. මේ තත්ත්වයන්ගෙන් ගැළවීමට අනුගමනය කළ හැකි කරුණු කිහිපයකුත් දැනගැනීම ඔබට වැදගත් වේවි.

  • වරක් භාවිතා කළ ප්ලාස්ටික් බෝතලයක් නැවත භාවිතා කරන්නට එපා. එමගින් සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය වැඩි වැඩියෙන් අපේ ශරීරයේ තැන්පත් වෙන්නට හැකියාව ඇති නිසා. විශේෂයෙන්ම කාලයක් ගතවෙද්දි මේ බන්ධන බිදීමේ හැකියාව වැඩි වෙනවා. ඒ බන්ධන දුර්වල වෙනවා. ඒ නිසා පළමු අවස්ථාවේ නිදහස් කළාට වඩා වැඩියෙන්  රසායනික ද්‍රව්‍ය අපි පානය කරන ජලයට වගේම ආහාරවලට එකතුවෙලා අපේ ශරීරට ඇතුල් වෙනවා.
  • ප්ලාස්ටික් වෙනුවට වෙනත් අදේශක භාවිතය 
  • ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු බෝතල් පෝසිලෙන් ආදී බදුන් භාවිතා කරන්නට පුළුවන්.
  • නව ඇසුරුම්වල BPA Free ලෙස යොදා ඇති ආකාරය ඔබ ඇතැම්විට දැක ඇති. ඒ වෙනුවට ඔවුන් BPS සහ BPF භාවිතා කරනු ලබනවා. නමුත් ඒවායෙත් බලපෑම ඉතා හානිකරයි. ඒ නිසා හැකිතාක් ප්ලාස්ටික් ඇසුරුම්වලින් ඉවත්ව වීදුරු හෝ මැටි බදුන් භාවිතයට ගැනීම නීරෝගිමත් ජීතයක් ගත කරන්නට ප්‍රයෝජනවත් වෙනවා නිසැකයි.