දැන්ම නතර කරේ නැත්තම් අවුරුදු 50 වෙද්දී මොළේ නරක් කරන ආහාර පාන 5ක්

health tips

ආහාර පාන අපේ ශරීරයේ නීරෝගිකමට විතරක් නොවෙයි මොළයේ නීරෝගීබවට ද ප්‍රතිලාභ දෙයි. මේ අතරේ මොළයේ ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑම් එල්ලකරවන ඇතැම් ආහාර පාන ද තිබෙයි. අද අප ඔබට කියන්නේ මොළයට අහිතකර එවැනි ආහාර පාන වර්ග සහ වඩාත් හිතකර විකල්ප ගැනයි.

ප්‍රසාදිත කාබෝහයිඩ්‍රේට (refined carbohydrates) සීනි වර්ග සහ පිරිපහදු ක්‍රියාවලීන්ට ලක්කළ ධාන්‍ය මේ යටතේ එන ආහාරයි.මෙම කාබෝහයිඩ්‍රේට වල ඉහළ ග්ලයිසමික් දර්ශකයක් තිබේ. සරලව පැවසුවොත් ආහාරයට ගත් විට ඒවා ඉතා වේගයෙන් ජීර්ණය වී රුධිරයට මිශ්‍ර වෙයි.මෙහිදි රුධිර සීනි සහ ඉන්සියුලින් මට්ටම් ඉහළ යයි.පිරිපහදු කළ පිටි වර්ග වලින් සකසන පාන්, පැස්ටා වගේ ආහාර මොළයට අහිතකරයි. ඒවායේ පෝෂණ අගයක් නොමැති තරම්ය.ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ඇති ආහාර පාන මොළයේ ක්‍රියාකාරීත්වය අඩුකරවන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.

සීනි අඩංගු ආහාර අධික පරිභෝජනය සිරුරේ ප්‍රදාහය (inflammation) ඇතිකරවයි. මෙය ඇල්සයිමර්ස්, ඩිමෙන්ෂියා වැනි මොළය පරිහාණියට ලක්වන රෝගාබාධ මතුවීමට හේතුවිය හැකි බව ද පෙන්වාදෙයි.දෛනිකව ලබාගන්නා කැලරි ප්‍රමාණයෙන් 58%ඉක්මවා පරිභෝජනය කරන්නේ කාබෝහයිඩ්‍රේට ආහාර නම්,එම පුද්ගලයාගේ මොළයේ සහ මානසික සෞඛ්‍යයේ දුර්වලතා වර්ධනය වීමේ අවදානම දෙගුණයකින් පමණ ඉහළ බව ද සඳහන් වේ.ප්‍රසාදිත කාබෝහයිඩ්‍රේට වලට වඩා සම්පූර්ණ පෝෂණ ගුණ ඇති නියම තත්වයේ ධාන්‍ය වර්ග පරිභෝජනයට ගන්න.තන්තු බහුල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ආහාර ‍තෝරාගන්න.

විටමින්, ඛනිජ ලවණ,තන්තු සහ  ප්‍රතිඔක්සිකාරක බහුල නැවුම් එළවළු ,පලතුරු, සම්පූර්ණ ධාන්‍ය වර්ග පරිභෝජනය කිරීමෙන් මොළයේ නීරෝගී බව ආරක්ෂා කරගැනීමට හැකිය.

ප්‍රසාදිත සීනි පිරිපහදු කළ සීනි වල කෘතිමව එක්කළ සීනි බහුලයි.මෙවැනි සීනි වර්ග මොළයේ නීරෝගිබවට හානිකරයි.සිරුරේ සීනි මට්ටම අධික වීම මොළයේ ප්‍රදාහය ඇතිකළ හැකියි. මොළයේ ප්‍රදාහය නිසා මතක ශක්තිය දුර්වල වී යා හැකියි. රුධිර සීනි මට්ටම් ඉහළ යාම නිසා සිරුරට මෙන්ම මොළයට අවශ්‍ය ශක්තිය එලෙසින්ම නොලැබී යයි.මොළයේ ඉගෙනීම සහ මතක ශක්තිය යන ක්‍රියාකාරීත්වයන් සඳහා වැදගත් වන Brain derived neurotic factor මට්ටම් අඩුවීමට ද රුධිර සීනි මට්ටම ඉහළ වීම හේතුවෙයි.අධික සීනි පරිභෝජනය මොළයේ රසායනික සංයුතිය වෙනස්වීමට ද බලපෑ හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි. සෝඩා බීම, ශක්තිජනක පාන, සිසිල් බීම වැනි වෙනත් සීනි අධිකව අඩංගු වන බීම වර්ග අධිකව පානය කිරීමෙන් වළකින්න. මින් දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගය, හෘද රෝග ඇතිවීමේ අවදානම මෙන්ම ඉණ ප්‍රදේශය තරබාරු වීම ද ඉහළ යා හැකි බව පෙන්වාදෙයි. දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගය ඇල්සයිමර්ස් වැනි මතකය දුර්වල වී යාමේ රෝග හා සම්බන්ධතා පෙන්නුම් කරන බව අධ්‍යයන වලින් සොයාගෙන තිබේ.

රසකැවිලි, සීනි බහුල බීම වර්ග ,අතුරුපස වැනි පැණි රස බහුල ආහාර වෙනුවට ස්වභාවික පලතුරු වර්ග ආහාරයට ගන්න.උදාහරණයක් ලෙස බෙරි වර්ග වල මොළයට හිතකර ප්‍රතිඔක්සිකාරක, විටමින් සහ ඛනිජ ලවණ බහුලයි.පලතුරු බීම සකසන විට සීනි එක් නොකර පානය කිරීමට උත්සහ කරන්න.

එළවළු තෙල් එළවළු තෙල් පරිභෝජනය මතක ශක්තිය දුර්වල වී යාමේ අවදානම හා සම්බන්ධතා පෙන්නුම් කරන බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වෙනවා.උදාහරණයක් ලෙස කැනෝලා තෙල් මොළයට හානිකාරී විය හැකි බවත් මතකය  මෙන්ම ඉගෙනීමේ හැකියාව දුර්වල වීම කෙරෙහි බලපෑ හැකි බවත් අධ්‍යයන වල සඳහන් වෙයි.බර වැඩිවීමට ද හේතුවිය හැකියි.මෙම තෙල් රත්වන විට නිකුත්වන රසායනික ද්‍රව්‍ය සිරුර තුළ ප්‍රදාහකකාරක ලෙස ක්‍රියාකළ හැකි බව පෙන්වාදෙයි.වොල්නට් තෙල් යනු මොළයට හිතකර සෞඛ්‍යාරක්ෂිත තෙල් වර්ගයකි. ඔමේගා-3 මේද අම්ල බහුල නිසා ප්‍රජානන (cognitive) හැකියා වැඩිදියුණු කරවයි.

රතු මස් වර්ග රතු මස් වර්ග ඇල්සයිමර්ස් රෝග අවදානම වැඩිකරවන හේතු සාධකයක් ලෙස ද හඳුන්වයි.මේවා අධිකව පරිභෝජනය කිරීම සෞඛ්‍යයට ඉතා හානිකරයි.සංතෘප්ත මේද මට්ටම් ඉහළ නිසා ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත්වී අවහිරතා ඇති විය හැකි අවදානම ද වැඩිවෙයි.රතු මස් පරිභෝජනය හෘද රෝග මෙන්ම ඇතැම් පිළිකා මතුවීමේ හැකියාව ඉහළ දමන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.මෙවැනි සත්ව ප්‍රෝටීන වෙනුවට බෝංචි ඇට (beans) වැනි ශාක ප්‍රෝටීන හොඳ විකල්පයකි.මොළය නීරෝගී කරවන B විටමින් සහ මැග්නීසියම්  ද මේවායේ බහුලයි.

චීස් අධික චීස් පරිභෝජනය ඩිමෙන්ෂියා රෝග අවදානම හා සම්බන්ධතා පෙන්නුම් කරන බව අධ්‍යයන වල දැක්වෙයි.සංතෘප්ත මේද බහුල ආහාර පාන මතක ශක්තිය දුර්වල කරන අතර මොළයේ ප්‍රදාහය වැඩිකරවයි.මේද බහුල ආහාර මොළයේ හයිපොතැලමස දුර්වල කරවන බව ද සඳහන් වෙයි.සංතෘප්ත මේද නිසා හෘදයේ පමණක් නොව මොළයේ රුධිර නාළ ද අවහිර වෙයි.මොළයේ ප්‍රදාහය ඉහළ යාම ආඝාතය (අංශබාගය) ඇතිවීමේ අවදානම ද වැඩිකරවයි.

මේද අඩංගු ආහාර පාන පරිභෝජනය හැකිතාක් සීමා කරන්න. චීස් වෙනුවට අලිගැට පේර වැනි සෞඛ්‍යාරක්ෂිත විකල්පයක් ‍තෝරාගන්න.රුධිර පීඩනය අඩුකිරීම සහ ආඝාත අවදානම් අඩුකිරීම වැනි ප්‍රතිලාභ ලබාදෙන පොටෑසියම් පෝෂණය මේවායේ යහමින් අඩංගුයි.ෆෝලේට් පෝෂණය නිසි ලෙස සිරුරට නොලැබීම ඇල්සයිමර්ස් වැනි රෝග අවදානමට හේතුවිය හැකියි. අලිගැට පේර වල මෙම ෆෝලේට් පෝෂණය අඩංගුව පවතියි.