මොළයේ පිළිකාවක් ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 8 ක්

health tips

පිළිකා කියන්නේ අපි කිසිවෙක් අහන්නටවත් අකමැති ඉතා මාරාන්තික රෝගයක්. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සෑදී ඇති සෛල ක්‍රමානුකූලව වර්ධනය හා බෙදීම පාලනයක් සිදු වෙන්නේ යම් සීමාවක් යටතේ. එනම් පාලනයකින් යුක්තව.නමුත් පිළිකා සෛල වර්ධනය හා බෙදීම සිදු වෙන්නේ පාලනයකින් තොරවයි.සැදෙන ස්ථානය අනුව හෝ  ඒ සඳහා බලපාන හේතු සාධක අනුව පිළිකා වර්ග කෙරෙනවා.නමුත් ඒ සෑම වර්ගයකම පවතින්නේ එකම ස්වභාවය නම් පාලනයකින් තොරව වේගයෙන් අනෙකුත් සෛල අතර බැඳීම් ඇතිකර ගනිමින් ඒවායේ පෝෂක කොටස් උරා ගනිමින් මුළු ශරීරයම  අඩපණ කිරීමයි. 

පිළිකාවක් ශරීරයේ ඇති වෙන්නට විවිධ හේතු කාරණා බලපානවා. ඒ අතරින් මොළයේ පිළිකා කියන්නේ කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් වැළදෙන පිළිකා තත්ත්වයක්. මොළයේ පිළිකා ආකාර දෙකකට සිදු වෙන්නට පුළුවන්. එනම් ප්‍රාථමික වශයෙන් මොළයේ ඇතිවන පිළිකාව හා පෙනහළු, පියයුරු, ලියුකේමියා ආදී පිළිකාවක ද්විතීයික ලක්ෂණයක් විදියට ඇති වෙන්නට පුළුවන්. මොළයේ ඕනෑම් ස්ථානයක ඇති සෛලයකින් පිළිකා වර්ධනය වෙන්නට පුළුවන්. එහිදී මතුවන සෛල වර්ගය, එමගින් ඇතිවන රෝග ලක්ෂණ ආදිය මත ප්‍රතිකාර තීරණය කරනු ලබනවා.වයස අවුරුදු 15 ට අඩු දරුවන් පවා ගොදුරු වන පිළිකා තත්ත්වයක් වන මේ සඳහා බලපාන හේතු මොනවාද යන්න තවමත් නිශ්චිත නැහැ. 

රෝග ලක්ෂණ 

මේ රෝගයේ ලක්ෂණ පිළිකාව ඇති ස්ථානය අනුව වෙනස් වෙනවා. මොළයේ විවිධ ස්ථාන මගින් අපේ ශරීරයේ විවිධ ස්ථානවල ක්‍රියාකාරිත්වය සිදු කෙරෙන නිසා ඒ ඒ ස්ථාන අනුව ඇතිවන රෝග ලක්ෂණවල වෙනස්වීම් දකින්නට පුළුවන්. 

වැඩිහිටියන්ගේ මොළයේ පිළිකා හටගැනීම ආකාර දෙකකට සිදුවුණත් දරුවෙකුගේ නම් 99% ක්ම පිළිකා ගෙඩිය මතු වෙන්නේ මොළය තුළමයි.

නිතර ඇතිවන හිසේ කැක්කුම ඉරුවාරදය, ආතතිය, ප්‍රමාණවත් තරම් නින්දක් නොමැතිවීම හා කාලගුණය වෙනස්වීම යන නොයෙක් හේතු නිසා හිසේ කැක්කුම් ඇතිවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙවැනි හිසේ කැක්කුමක් උදෑසන කාලයේ ඇති වෙනවා නම් කැස්ස, ව්‍යායාම්වල නිරත වෙන අවස්ථාවක ආදී ඔළුව සෙළවෙන අවස්ථාවක හිසේ කැක්කුම ඇති වෙනවා නම් එය මොළයේ පිළිකා තත්ත්වයක් වර්ධනය වන බව පෙන්නුම් කරනු ලබන්නක්.

සන්නිවේදන දුර්වලතා ඇතිවීම කතා කිරීම සහ ඇසීම කියන අවස්ථාවලට මොළය ඍජුවම සම්බන්ධ වෙනවා.මොළයේ පිළිකාවක් වර්ධනය වෙමින් පවතින විට මේ ක්‍රියාවලියට බාධා ඇතිවීමෙන්  කෙටි කාලීන මතකය අඩුවීම, කතා කිරීමේදී වචන සිහි කැඳවීමේ අපහසුව, යමක් පැහැදිලි කිරීමේ අපහසුව, අන් අය කියනා දේ තේරුම් ගැනීමේ අපහසුව, අවධානය යොමු කිරීමේ අපහසුව ආදී දේවල් ඇතිවෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

ඔක්කාරය ඇතිවීම උදෑසන කාලයේ ඔක්කාරය වැනි තත්ත්වයන් ඇතිවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. පීඩාවට ලක්ව ඇති මොළයේ ප්‍රදේශ මගින් පාලනය කරනු ලබන ශරීර කොටස්වල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීම සිදු වෙනවා.ඒ වගේම හිස් කබල අභ්‍යන්තරයෙන් අධික පීඩනයක් වැනි තත්ත්වයක් ඇති වෙනවා නම්  එයට හේතුවත් මොළයේ වර්ධනය වෙමින් පවතින පිළිකාවක් වෙන්නට පුළුවන්.

හැසිරීම් රටාවේ වෙනස්කම් ඇතිවීම මොළයේ පිළිකා තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින විට මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩාල වෙන්නට පුළුවන්. මේ හේතුව නිසා  ඒ පුද්ගලයාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. වෙනදාට වඩා ඉක්මනින් කේන්තියාම, මානසික ආතතිය වැඩිවීම ආදී වෙනස්කම්වලට අමතරව සමාජය ඉදිරියේ නුසුදුසු ආකාරයට හැසිරීම් තත්ත්වයන් පවා  ඇති වෙන්නට පුළුවන්.

මහන්සිය හා නිදා ගැනීමේ අපහසුතාවය මොළයේ පිළිකාවක් වර්ධනය වීමේදී  නින්ද ලබා ගැනීමට අපහසුවීමට වැඩි ඉඩක් පවතිනවා.නිදාගත්තත් ඉතා ඉක්මනින් අවදිවීම,  අවදි වූ පසු දවස පුරා මහන්සිය තෙහෙට්ටු ගතිය ඇතිවීමත් පිළිකා තත්ත්වයක් මොළයේ වර්ධනය වන බවට ලබාදෙන ඉඟියක් වන්නට පුළුවන්.

වලිප්පුව උණත් සමඟ ඇතිවන වලිප්පුව පිළිකාවක් ඇති බව පෙන්නුම් කරන ලක්ෂණයක් නොවුණත් වයස මාස 6 ට වඩා අඩු දරුවන් සහ අවුරුදු 45 ට වැඩි වැඩිහිටියන්ට පළමු වතාවට වලිප්පු තත්ත්වයක් ඇති වෙන්නේ නම් එය මොළයේ පිළිකා නිසා වෙන්නට පුළුවන්.ඇතැම්විට වලිප්පුව සෑදෙන රෝගියෙකුට නම් වලිප්පුව සෑදෙන රටාව වෙනස්වීමක් දකින්නට පුළුවන් නම් එයත් මොළයේ යම් පිළිකා තත්ත්වයක් වර්ධනය වන බව පෙන්නුම් කරන ලක්ෂණයක් විය හැකියි.

උන්මාද ස්වභාවය මානසිකව ඇතිවන අසාමාන්‍ය තත්ත්වය මානසික රෝගයක් ලෙසට සිතුවත් එය ඇතැම්විට පිළිකාවක් හෝ මොළයේ වෙනත් හානිදායක තත්ත්වයක් වෙන්නට පුළුවන්. 

දරුවන්ගේ ක්‍රියාශීලීත්වය අඩුවීම කුඩා දරුවන්ගේ වයසත් සමඟ සෙල්ලම් කිරීම, ක්‍රියාශීලීව කටයුතු කිරීම ආදිය සිදු නොවන්නේ නම් ඒ ක්‍රියාකාරකම් නතර වෙනවා නම් එය මොළයේ පිළිකාවක් වර්ධනය වන බව පෙන්නුම් කරන ලක්ෂණයක් විය හැකියි.ඒ වගේම කුඩා දරුවන්ගේ හිසේ ප්‍රමාණය අසාමාන්‍ය ලෙසට විශාල වන්නේ නම් ඒ තත්ත්වයත් නොසලකා හැරි යුතු තත්ත්වයක් නොවෙයි.

වයස් භේදයකින් තොරව වැළදෙන මේ මොළයේ පිළිකා තත්ත්වය පෙන්නුම් කරන මේ ලක්ෂණ නොසලකා හැරිය යුතු නැහැ. මෙයින් ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙක් හමුවී පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ලබා ගත යුතුයි.