මිනිසාගේ ජීවිතය තුළ අත්විදින්නට ලැබෙන ඉතා භයානක මෙන්ම මාරාන්තික රෝගී තත්වයක් ලෙස පිළිකාව හදුනා ගත හැකිය. දිනෙන් දිනම පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මිනිසාට වැළදෙන පිළිකා රෝග අතරින් කාන්තාවන්ට බහුලව වැළදෙන පිළිකා රෝගී තත්වයක් ලෙස පියයුරු පිළිකාව හඳුනාගත හැකිය. වයසක කාන්තාවකට වුවද පියයුරු පිළිකාවක් ඇති විය හැකිය. පුරුෂ පාර්ශ්වයට ද පියයුරු පිළිකා වැළදීමට වැඩි ඉඩකඩක් පවතී. පියයුරු පිළිකා යනු මුල් කාලීනව රෝගය හදුනා ගැනීමෙන් සුවපත් කර ගත හැකි පිළිකා තත්වයක් වේ. එනිසා පියයුරු පිළිකා රෝගී තත්වය පිළිබඳ නිසියාකාරව දැනුවත් වීම මගින් එය සම්පුර්ණයෙන්ම සුවපත් කර ගැනීමට හැකියාව ලැබේ.
පියයුරු පිළිකාවක් යනු කුමක්ද ? පියයුරුවල කිරි නිපදවෙන ග්‍රන්ථි හෝ ඒ ග්‍රන්ථිවල සිට කිරි ගෙනෙන නාල වල හෝ අවට සම්බන්ධක පටකවල සෛල අසාමාන්‍ය ලෙස පාලනයකින් තොරව ආක්‍රමණකාරී ලෙස වර්ධනය වීම පියයුරු පිළිකාවක් ලෙස හදුන්වනු ලැබේ. පියයුරුවක වර්ධනය වන පිළිකා සෛල ගැටිති නිර්මාණය වන්නේ පිළිකා සෛල මිලියනයක් පමණ එක් වූ විටය. එනම් කාන්තාවක් ලෙස නිතරම තම පියයුරු පිළිබඳ පරීක්ෂාවෙන් සිටිය යුතුය. අවුරුදු 40ට වැඩි කාන්තාවක් නම් මාසයකට වරක් හෝ තම පියයුරු ස්වයං පරීක්ෂාවට ලක් කළ යුතුය.අවුරුදු 20-40 අතර කාන්තාවන් මාස තුනකට වරක් හෝ තම පියයුරු ස්වයං පරීක්ෂාවට ලක් කළ යුතුය.
දරුවන් නොමැති කාන්තාවන් ,කිරි ලබා නොදුන් කාන්තාවන් ,වයස 40 ඉක්මවූ කාන්තාවන් ,දුම් පානය කරන්නන් ,ආර්තවහරණය ප්‍රමාද වී සිදු වූ කාන්තාවන් ,අධික ලෙස තරබාරු වූ අය ,මාධ්‍යසාර පානය කරන්නන්න් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එනම් මේ පුද්ගලයින්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩිය. පියයුරු පිළිකාවක් ඇති වීමට හේතූ

- ඊස්ට්‍රජන් හෝර්මෝනය දිගු කාලයක් නිරාවරණය නොවීම.
- වයස අවුරුදු 12ට පෙර වැඩිවියට පත් වීම හෝ අවුරුදු 55වන තෙක් ආර්තවහරණය සිදු නොවීම.
- අධික මේද සහිත ආහාර ගැනීම.
- වැරදි චර්යා රටාවන්
- පළමු දරුවා පිළිසිඳගැනීමට ප්‍රමාද වීම.
- විකිරණ ද්‍රව්‍යවලට නිරාවරණය වීම.
- වෛද්‍ය උපදෙස්වලින් තොරව උපත් පාලන පෙති දිගුකාලීනව ලබා ගැනීම.
- ප්‍රවේණිගත සාධක
පියයුරු පිළිකාවක රෝග ලක්ෂණ
- ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ඇති වන පියයුරු පිළිකා රෝග ලක්ෂණ අතර වැඩි වෙනසක් දක්නට ලැබෙන්නේ නැත.
- පියයුරු පිළිකාවක මුල් අවස්ථාවන්හි රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත. පියයුරු පිළිකාව ශරීරය තුළ වර්ධනය වූ විට රෝග ලක්ෂණ කිහිපයක්ම පෙන්නුම් කරයි.
- පියයුරු තුළ එහා මෙහා නොයන ගැටිති නිර්මාණය වී තිබීම.
- පියයුරුවල අසාමාන්‍ය හැඩයක් ඇති වීම.
- තන පුඩුව ගිලී යාම.
- පියයුරුවල සමෙහි දදයක් හෝ තුවාලයක් ඇති වීම.
- පියයුරුවල නිතර ඇතිවන වේදනාව.

- කිහිල්ලේ ගැටිත්තක් ඇති වීම.
- පියයුරුවල පැහැයේ වෙනසක් ඇති වීම.
- පියයුරු සම ඝන වීම
- තන පුඩුවෙන් කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිටවීම.
කාන්තාවන් තම පියයුරු ස්වයං පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම රෝග ලක්ෂණ එකක් හෝ දක්නට ලැබේ නම් වහාම වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත් වේ.
පිළිකා වර්ධනය වීම වළක්වනු ලබන ආහාර හදුනා ගනිමු.
අප ගනු ලබන විවිධ ආහාර වර්ග අපට වැළදී තිබෙන රෝගී තත්වයන් අඩු කිරීම සදහා මෙන්ම වැඩි කිරීමට ද හේතූ වන අවස්ථා පවතී. ඒ අනුව පියයුරු පිළිකා රෝගී තත්වයන් සදහා සුදුසු මෙන්ම නුසුදුසු ආහාර පවතී.
සකස් කරන ලද ක්ෂණික ආහාර , සීනි අඩංගු බීම වර්ග ,රතු මස් ,අර්තාපල් යනාදී ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම ,ව්‍යායාම වල නිතර නොවීම පියයුරු පිළිකා අවදානම වැඩි කිරීමට හේතූ වේ.
එමෙන්ම පිළිකා රෝගී තත්වයන් පාලනය කරන ගුණදායක ආහාර රැසක් ද පවතී.
- සුදුලූණු සුදුලූණු වල බහුලව පවතින ඇලිසින් සංයෝගය පිළිකා සෛල විනාශ කිරීම සදහා උපකාරී වේ.
- ලෙමන් සහ පැගිරි යුෂ අඩංගු පළතුරු ආහාරයට ගැනීම.
- දෙළුම් ආහාරයට ගැනීම පිළිකා සෛල මර්දනය කිරීමට උපකාරී වේ.
- කහ ආහාරවලට එක් කිරීම ගුණදායක වේ.
- මේද අම්ලවලින් පොහොසත් සැමන් ,මැකරල් ටූනා වැනි මාළු වර්ග ආහාරයට ගැනීම.
- දුඹුරු සහල්
- ඇට වර්ග
- සතියකට දින තුනක් පමණ උක් යුෂ පානය කිරීම.
- හණ ඇට ආහාරයට ගැනීම.
මේවායේ අන්තර්ගත ලිග්නන්ස් නම් ශාක හෝර්මෝන වර්ගය පියයුරු පිළිකා අවදානම අඩු කිරීමට උපකාරී වේ. හණ ඇට තෙල් දිනපතා පරිභෝජනය කිරීම පිළිකා වලින් ආරක්ෂාවීමට උපකාරී වේ.මෙවැනි ගුණදායක ආහාර අපේ ආහාර සදහා වැඩි වශයෙන් එක් කර ගැනීම සෞඛ්‍ය සම්පන්න දිවියකට මග පාදනු ලබයි.
යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් නිරෝගී ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම පියයුරු පිළිකා වලින් පමණක් නොව සෑම පිළිකා රෝගී තත්වයකින්ම වැළකී සිටීම සදහා අපට උපකාරී වේ.