පියයුරු පිළිකා වළකන ආහාර 9 ක්

health tips

පිළිකා කියන වචනයටත් අපි හැමෝම බයයි. සුව කරන්නට අපහසු මරණය ඉක්මන් කරවන පිළිකා රෝගය මාරාන්තික බව ඔබ අප හැමෝම දන්නවා. දවසකට වාර්තා වෙන පිළිකා රෝගීන් ගණන දිනෙන් දින වර්ධනය වෙද්දි එයින් වැළකෙන්නට ආරක්ෂා වෙන්නට අපි කළ යුත්තේ මොනවාද කියලා අවධානය යොමු කළ යුතු වෙනවා. ඉතින් කාන්තාවන්ට වැළදෙන පිළිකා අතුරින් 25 % ක්ම පියයුරු පිළිකා ලෙසටයි හඳුනා ගන්නේ. ඕනෑම වයස කාන්තාවකට වුවත් බහුලව වැළදිය හැකි මේ පිළිකා මුල්කාලීනව හඳුනා ගැනීමෙන් සුව කරගන්නට හැකියාව තියෙනවා. නමුත් බහුලව කාන්තාවන්ට වැළදුණත් පිරිමි පාර්ශවයටත් මේ පියයුරු පිළිකා වැළදීමේ අවදානමක් පවතිනවා.ඉතින් පිලිකාවක් ඇතිවූ පසුව ප්‍රතිකාර කරනවාට වඩා පිළිකා ඇතිවීමට පෙර එයින් වැළකී සිටීමට උනන්දුවීම ඉතා වැදගත්. මේ සඳහා පුද්ගලයාගේ ආහාර රටාව වගේම ජීවන රටාවත් යහපත් ලෙස වෙනස් කර ගැනීම වැදගත්.

විශේෂයෙන්ම පියයුරු පිළිකා බොහෝදුරට මූලික අවස්ථාවේ හඳුනා ගැනීමෙන් සුව කරගන්නට හැකි නිසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් මාස 3 කට වරක් බැගින් ද අවුරුදු 40 ට වැඩි කාන්තාවන් මාසයකට වරක් ද තම පියයුරු ස්වයං පරීක්ශාවකට ලක් කිරීමත් එහිදී එක් රෝග ලක්ෂණයක හෝ දැකිය හැකි නම් වෛද්‍යවරයෙක් කරා යොමුවීමත් ඉතා වැදගත්. එයින් මේ පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම සුව අතට පත් කරගන්නට පුළුවන්.

පියයුරුවල කිරි නිපදවෙන ග්‍රන්ථිවල හෝ ඒ ග්‍රන්ථිවල සිට කිරි ගෙනෙන නාලවල හෝ අවට සම්බන්ධක පටකවල සෛල අසාමාන්‍ය ලෙස පාලනයකින් තොරව ආක්‍රමණකාරී ලෙස වර්ධනය වීම පියයුරු පිළිකාවක් ලෙසට හඳුනා ගනු ලබනවා.සාමාන්‍යයෙන් පියයුරුවල වර්ධනය වන පිළිකා සෛල සමූහයක් අතට හසුවන ගැටිත්තක් තරමට පත්වන්නේ පිළිකා සෛල ප්‍රමාණය මිලියනක් පමණ දක්වා වැඩි වූ විටදී.

පියයුරු පිළිකා ඇතිවීමට බලපාන හේතු 

  • ප්‍රවෙණිගත සාධක මගින්. නමුත් මේ ප්‍රවෙණිගත සාධක මත පියයුරු පිළිකා ඇතිවෙන්නේ 5% ත් 10% අතර ප්‍රමාණයක්. 
  • ඊස්ට්‍රජන් හෝර්මෝන දිගු කාලයක් නිරාවරණය වීම. එනම් අවුරුදු 12 ට පෙර  වැඩිවියට පත්වීම හෝ අවුරුදු 55 වනතුරු ආර්ථවහරණය සිදු නොවීම. 
  • අධික මේද සහිත ආහාර ගැනීම හා වැරදි චර්යා රටාවන් 
  • පළමු දරුවා ගැබ් ගැනීමට ප්‍රමාද වීම  
  • වෛද්‍ය  උපදෙස්වලින් තොරව උපත් පාලන පෙති දිගුකාලීනව ලබා ගැනීම
  • විකිරණ ද්‍රව්‍යවලට නිරවාරණය වීම 

පියයුරු පිළිකා අවදානම් ඇති පුද්ගලයින් 

  • වයස 40 ඉක්ම වූ කාන්තාවන් 
  • අඩු වයසින් වැඩිවියට පත් වූ අය 
  • ආර්තවහරණය ප්‍රමාද වී සිදු වූ අය  . 
  • මධ්‍යසාර පානය කරන්නන් 
  • ආර්ථවහරණයෙන් පසුව අධික ලෙස තරබාරු වූ අය 
  • දුම්පානය කරන්නන් 
  • දරුවන් නොමැති කාන්තාවන් 
  • මව්කිරි ලබා නොදුන් කාන්තාවන් 

පියයුරු පිළිකාවල ලක්ෂණ 

පියයුරු පිළිකාවලදී මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර ක්‍රමයෙන් පිළිකාව වර්ධනය වීමේදී යම් යම් ලක්ෂණ පෙන්වනු ලබනවා. ඒ වගේම ගැහැණු පිරිමි දෙපාර්ශවයේම පියයුරු පිළිකා ලක්ෂණවල ලොකු වෙනසක් දකින්නට නැහැ.

  • පියයුරුවල එහා මෙහා නොයන යම් ගැටිත්තක්
  • පියයුරුවල අසාමාන්‍ය හැඩයක්
  • තනපුඩුවේ ගිලීයාමක් 
  • පියයුරුවල වල ගැසීමක්
  • පියයුරු සමේ දදයක් හෝ තුවාලයක්
  • පැහැයේ වෙනසක්
  • පියයුරු සමේ ඝනවීමක් 
  • තනපිඩුවෙන් කිරි  නොවන වෙනත් ශ්‍රාවයක් පිටවීම 
  • කිහිල්ලේ ඇති ගැටිත්තක්
  • පියයුරුවල නිතර ඇතිවන වේදනාව  

පිළිකා ඇතිවීමේ අවදානම් වැඩි කරන ආහාර සහ පුරුදු 

  • සකස් කරන ලද ආහාර නිතර ගැනීම 
  • සීනි අඩංගු බීම වර්ග නිතර පරිභෝජනය කිරීම 
  • රතු මස් නිතර ආහාරයට ගැනීම 
  • අර්තාපල් අධිකව ආහාරයට ගැනීම 
  • ව්‍යායාම්වල නිරත නොවීම 

පිළිකා අවදානම අඩු කරන ආහාර 

  • සුදු ළූණු ආහාරයට එකතු කර ගැනීම. සුදු ළූණුවල බහුල වශයෙන් අඩංගු වන ඇලිසින් කියන සංයෝගයට පිළිකා සෛල විනාශ කිරීමට ඉහළ හැකියාවක් ඇති බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඒ නිසා දිනකට සුදු ළූණු ගෙඩියක් පමණ ආහාරයට ගත යුතු වෙනවා. 
  • දුඹුරු සහල්, ඇට වර්ග, ආහාරයට එකතු කර ගැනීම.
  • සතියට දින තුනක් උක් යුෂ පානය කිරීම. 
  • හණ ඇට අනුභවය මගින් එහි අඩංගු ලිග්නන්ස් කියන ශාකමය ඊස්ට්‍රජන් වර්ගය මගින් පියයුරු පිළිකා අවදානම අවම කරනු ලබනවා.හණ ඇට තෙල් දිනපතා පාරිභෝජනය කිරීම මගින් මේ පිළිකාවලින් ආරක්ෂා වෙන්නට පුළුවන්. 
  • ලෙමන් සහ පැගිරි යුෂ අඩංගු පලතුරු ආහාරයට ගැනීම. 
  • දෙළුම් සතුව පියයුරු පිළිකා නැසීම සඳහා විශේෂ ගුණයක් පවතින නිසා දිනපතා දෙළුම් ආහාරයට ගැනීම පිළිකා සෛල මර්දනය කරයි.
  • අත් කහ ආහාරවලට එකතු කර ගැනීම.   
  • මේද  අම්ලවලින්  පොහොසත් මාළු ආහාරයට ගැනීම (සැමන්, මැකරල් ටූනා,)

ඒ හැරුණාම පියයුරු පිළිකා ඇතුළු සෑම පිළිකා තත්ත්වයක්ම මග හරවා ගන්නට ආරක්ෂා වෙන්නට අපි අනුගමනය කළ යුතු පිළිවෙත් රාශියක්ම තියෙනවා.

  • ශරීරයේ නීරෝගී  බර පවත්වා ගැනීම. 
  • ප්‍රමාණවත් පෝෂණයක් සහිත සමබල ආහාරවේලක් ලබා ගැනීම. 
  • කෘතීම ක්ෂණික ආහාරවලින් හැකිතාක් ඈත්වීම .
  • හැකි සෑම අවස්ථාවකම ස්වාභාවික එළවලු පලතුරු ආහාරවේලට එකතු කර ගැනීම. 
  • නිසි ලෙස ශාරීරික ව්‍යායායම්වල යෙදීම.
  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීම 
  • ආතතියෙන් තොරවී සැහැල්ලුවෙන් ජීවත්වීම.

කාන්තා සහ පුරුෂයින් අතර බහුල මේ පිළිකා අවදානමෙන් මිදෙන්නට අපේ ආහාර පුරුදු හා චර්යා රටාවන්ට හැකියාව පවතිනවා. එයින් අපිට පිළිකා මාරයාගෙන් ගැලවෙන්නට පුළුවන්.