සමේ තරුණ පෙනුම රැකදෙන කරුණු 11 ක්

health tips

වයසට යාම අපිට නතර කරන්නට නොහැකි ස්වාභාවික ක්‍රියාවලියක්. නමුත් අපි වයසින් කොතරම් මහලු වුණත් අපේ පෙනුම තරුණ විදියට පවත්වා ගන්නට අපි හැමෝම කැමතියි. අපි වයසට යනවිට එය මුලින් පෙනෙන්නට පටන් ගන්නේ සමේ ඇතිවන වෙනස්කම් නිසාවෙන්. නමුත් වයසයට යාම අපට පාලනය කරන්නට නොහැකි වුණත් සම වයසට යාම අපට යම්තාක් දුරකට පාලනය කරන්නට හැකියාව පවතිනවා. සමේ තරුණ පෙනුම අපේ සැබෑ වයස සඟවන නිසා තරුණ පෙනුමක් අපිට ලබා ගන්නට පුළුවන්. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ සමේ තරුණ බව රැක ගන්නට සම වයසට යාම පාලනය කර ගන්නට කළ හැකි දේ මොනවාද යන්න  පිළිබඳවයි.

වයසට යාමත් සමඟ සමේ ඇතිවන ප්‍රධාන වෙනස්කමක් වෙන්නේ සමේ රැළි ඇතිවීමයි. මේ සඳහා හේතුවෙන්නේ සමේ තියෙන ඉලසින් තන්තු ප්‍රමාණය අඩුවීම වගේම කොලජන් තන්තු ප්‍රමාණය අඩුවීමයි. මේ තත්ත්වයන් වයසත්  සමඟ ස්වාභාවිකව ඇතිවන ක්‍රියාවලියක්. සම වයසට යන්නට බලපාන හේතු අභ්‍යයන්තරික හේතු සහ බාහිර හේතු වශයෙන් වර්ග කරන්නට පුළුවන්.සම වයසටයාමට බලපාන  අභ්‍යයන්තරික හේතු වශයෙන් ,

  • ජානමය බලපෑම් 
  • ශරීරයේ විවිධ හෝර්මෝන වෙනස්වීම්

ආදිය දක්වන්නට පුළුවන්. මේ හේතු සාධක අපිට වෙනස් කරන්නට හැකියාවක් නැති නමුත් බාහිර සාධක අපිට වෙනස් කරන්නට හැකියාව පවතිනවා. ඒ බාහිර සාධක වෙනස් කර ගැනීම මගින් සම වයසටයාම පලනය කරගන්නට හැකියාව පවතිනවා.

  • දැඩි හිරු එළියෙන් ආරක්ෂා වීම අපේ සමට හානිකරන ප්‍රධාන සාධකය වෙන්නේ දැඩි හිරු රශ්මියයි. අහිතකර UV කිරණ සම වියපත්වීමේ වේගය වැඩි කරන්නට හේතු වෙනවා.ඒ නිසා සම ආරක්ෂා කරගන්නට නම් දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා විය යුතුයි.අව්වෙ ගමන් කරන විට හොඳ සන්ක්‍රීම් එකක් භාවිතා කළ යුතුයි. මේ හිරු ආවරණ ආලේපයන් SPF 30 ට වඩා වැඩි අගයක එකක් විය යුතුයි.
  • ප්‍රතිඔක්සිකාරක බහුල එළවලු සහ පලතුරු ආහාරයට ගන්න  අපේ ශරීරයේ නිපදවෙන අපද්‍රව්‍ය මගින් ශරීරයේ සෛලවලට සිදු කරන හානිය අවම කරන්නට මේ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර උපකාරී වෙනවා.  සමට සිදුවන හානිය අවම කර ගන්නටත් සමේ තරුණ පෙනුම රැක ගන්නටත් ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර වැඩිපුර ලබා ගත යුතු වෙනවා. ගස්ලබු,  නිවිති,  බතල, ආමන්ඩ්, කජු, ඇට වර්ග ආදී ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගතහොත් සම වයසට යාම පාලනය කරමින් සමට වන හානිය අවම කර ගන්නට හැකියාව ලැබෙනවා.
  • සීනි අධික ආහාර පරිභෝජනයෙන් වැළකීම සමට වැඩි වශයෙන් හානියක් ඇති කරන්නට බලපාන්නේ සීනි අධික ආහාරයි. ඒ නිසා සමේ ලස්සන පිළිබඳව තරුණ බව පිළිබඳව සිතන ඔබ සීනි පරිභෝජනය හැකිතාක් සීමා කළ යුතුයි. ඒ වගේම පිෂ්ඨය අධික ආහාර සමට ඉතා ඉක්මනින් වයසක පෙනුමක් ගෙන දෙන්නට හේතුවෙන නිසා ඒවා අධික ලෙස පරිභෝජනයෙන් වැළකී සිටීම වැදගත්.
  • නිතරම සම ස්ක්‍රබ් කිරීමෙන් වැළකීම රූපලාවන්‍ය කටයුතුවලදී නිතරම උපදෙස් ලබාදෙන්නේ සම ස්ක්‍රබ් කරන ලෙසටයි. නමුත් නිතර නිතර ඔබේ සම ස්ක්‍රබ් කළ විට සමට හානි සිදු වෙනවා. එසේ හානි වුණු සමක් ඉක්මනින් වයසට යාම අපිට වළක්වා ගන්නට බැහැ. ඒ නිසා සම ස්ක්‍රබ් කිරීම   හැකිතාක් අඩු කළ යුතුයි. එය සමේ තරුණ පෙනුම රැක ගන්නට උදව් වෙනවා.
  • සැර සබන් භාවිතයෙන් වැළකීම නිතර නිතර සැර සබන් භාවිතයෙන් සම පිරිසිදු කිරීමේදී සමේ PH අගය වෙනස් වෙනවා. එය සමට හානිදායකයි. ඒ  නිසා සැර අඩු මුහුණ සේදුම් ද්‍රව්‍යයක් භාවිතයෙන් සම පිරිසිදු කරගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් දවසට දෙවතාවක් පමණ සම පිරිසිදු කිරීම ප්‍රමාණවත් වෙනවා. නමුත් බොහෝ දහදිය දැමූ විටෙක අනිවාර්යෙන්ම සම පිරිසිදු කරගැනීමට මතක තබාගත යුතුයි .
  • සමේ තෙතමනය ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කිරීම තෙත සහිත සමකට වඩා වියළි සහිත සමක් වයසට යාමේ වේගය වැඩියි. ඒ නිසා සමේ තෙතමනය ආරක්ෂා  කරගත යුතු වෙනවා. මේ සඳහා සමට ගැළපෙන හොඳ තත්ත්වයේ මොයිස්චරයිසර් ආලේපනයක් තෝරාගත යුතු වෙනවා.
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සමේ තරුණ පෙනුම රැක ගන්නට වගේම වයසට යාම පාලනයට වගේම සමේ නීරෝගී පැවැත්මටත් නින්ද අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා සුවදායි නින්දක් ලබා ගැනීමට කටයුතු කිරීම බෙහෙවින් වැදගත් කාරණයක්.
  • මානසික ආතතිය අඩුකර ගැනීම මානසික ආතතියෙන් පෙළෙන විට එය මුලින්ම හඟවන්නේ සම හරහා. ඒ නිසා සමේ නීරෝගී බව පිළිබඳව සිතන විට මානසික සැහැල්ලුව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.
  • ව්‍යායාම්වල නිරත වීම සම  ඉතා ඉක්මනින් වයසට යාම පාලනය කරන්නට අපි සිදු කරන ව්‍යායාම හේතු වෙනවා. ඒ නිසා නිසිපරිදි ව්‍යායාම් කිරීම නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙලා එය සමේ සෞඛ්‍යයට ඉතා යහපත් ලෙස බලපෑම් කරනු ලබනවා.සමේ තරුණ පෙනුම පවත්වා ගන්නට ශාරීරික ව්‍යායාම අතිශයින්ම වැදගත් වෙන කාරණාවක්.
  • දුම්පානය හා මත්පැන් භාවිතයෙන් වැළකීම සමට ඉතා හානිදායක තත්ත්වයක් මේ දුම්පානය හා අධික ලෙස මත්පානයෙන් සිදු වෙනවා. එබැවින් ඒ පුරුදුවලින් වැළකිය යුතු වෙනවා.
  • හොඳින් ජලය පානය කිරීම සමේ තරුණ පෙනුම රැක ගන්නට වගේම සමේ නීරෝගීභාවය සඳහාත් සමේ තෙතමනය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා දිනපතා ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුයි.

සැමදාම තරුණ විදියට ඉන්නට සමේ තරුණ බව රැක ගන්නට කැමති ඔබ් සියලුදෙනාට මේ කාරණා බෙහෙවින් වැදගත් වෙනු නිසැකයි.