නිල්වන් දිගු කෙස් වැටියක් සහ රූපලාවණ්‍ය ප්‍රතිලාභ බොහොමයක් ලබාදෙන බුලත්

health tips

අනාදිමත් කාලයක ඉඳලා ලාංකීය අපේ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් හිමිකර ගත් දෙයක් තමයි බුලත් කියන්නේ. විවිධ උත්සව අවස්ථාවලදී සහ විවිධ චාරිත්‍රවලදී මේ බුලත් නිරන්තරයෙන්ම භාවිතයට ගැනෙනවා එදා වගේම අදත්. ඒ හැරුණාම ලාංකීය අපේ උදවියට නැතුවම විටත් රස වෙන්න නම් බුලත් ඕනෙමයි. 

එදා කාන්තාවන් තොල් රතු කර ගත්තේ අද වගේ ලිප්ස්ටික් ගාල නෙවෙයි. ඒ වෙනුවට අපූරු රස බුලත් විටක් හපන එක තමයි ඔවුන් කළේ. නමුත් අද වෙද්දි බුලත් විට මුඛ පිළිකා ඇති කරන්නට හේතු වන බව අනාවරණය වෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක් තමයි බුලත් පිළිකා නාශක හැකියාවකින් යුක්ත බව. ඒ නිසා මේ මුඛ පිළිකා ඇති වෙන්නට හේතු වෙන්නේ  බුලත් නොව දුම්කොළ සහ හුණු ආදියයි.

ඉතින් අපි අද කතා කරන්නේ ආහාර ජීර්ණය පහසු කරන, පිළිකා නසන, මුඛ දුගද නැති කරන, ආහාර රුචිය වර්ධනය කරන බුලත් කොහොමද අපේ රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කරන්නේ කියන කාරණාව පිළිබඳව. බුලත් කොළයේ ඇස්පාටික් අම්ලය, lysine ග්ලූටමික් අම්ලය, ප්‍රෝලීන්,ලියුසීන්, මෙතියොනීන් ත්‍රියොනීන් ආදී ඇමයිනෝ අම්ල වගේම කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, මැංගනීස් සහ යකඩ ආදියත් අන්තර්ගත වෙනවා. ඒ වගේම බුලත්වල ප්‍රතිඔක්සිකාරක ගුණ රාශියකුත් අඩංගු වෙන නිසා බුලත්වලින් ශරීර අභ්‍යන්තරයට වගේම බාහිර රූපය අලංකාර කර ගන්නත් අපිට භාවිතා කරන්නට හැකියාව තියෙනවා. 

අද වෙද්දී බහුතරයක් දෙනා ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා යම් යම් සත්කාර කරන්නට තමයි වැඩි උනන්දුවක් දක්වන්නේ. එය සැබැවින්ම සතුටට කාරණයක්. මොකද විවිධ කෘතීම  නිෂ්පාදන භාවිතා කිරීම සමට හානිකර විය හැකි  නිසා. 

 ඉස්සර කාලේ තැලුම් කැක්කුම් ඇති වුණාම ඒවා සුවපත් කරගත්තේ බුලත් කොළය පහන් දැල්ලෙන් රත්කර තෙල් ආලේප කර ඒ මත තැබීම මගින්. ඒ හැරුණාම සම පැහැපත් කර ගන්නට, කොණ්ඩය දිගු  කරගන්නට ආදී නොයෙකුත් ප්‍රතිලාභ මේ බුලත්වලින් අපිට ලබාගන්න පුළුවන්. මොකද එදා වගේම අදත් අපේ නිවෙස්වල බුලත් වැලක් වරදින්නේ නැහැ. ඒ නිසා අපි බලමු බුලත් භාවිතයෙන් ලස්සන වෙන්නෙ කොහොමද කියලා.

  • ලප කැලැල් ඉවත් කර ගැනීම සඳහා

අද බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි කුරුලෑ නිසා හෝ වෙනත් ගෙඩි නිසා ඇතිවන ලප කැළැල්. ඉතින් මේ ලප කැළැල්  ඉවත් කර ගන්නට අපිට බුලත් භාවිතා කරන්නට පුළුවන්.

බුලත් කොළ කිහිපයක්

 බිත්තර සුදු මදයක්

 මේ ද්‍රව්‍යයන් 2 භාවිතා කරලා  අපූරු  ෆේස් මාස්ක් එකක් සාදා ගන්නට පුළුවන්. බුලත් කොළ ටික කොටා එහි යුෂ අරගෙන ඒ යුෂ සමඟ බිත්තර සුදු මදය මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ අවලස්සන කරන ලප කැලල් ඉවත් කර ගන්නට පුළුවන්.

 ඒ වගේම බුලත් කොළ කිහිපයක් තම්බා ගත් ජලයෙන් මුහුණ සෝදා ගැනීමෙන් මුහුණේ ලප කැලැල් නැති කරගන්න පුළුවන්.

 බුලත් කොළ තම්බා ගත් වතුර මේස හැන්දක් සමග හාල් තම්බාගත් වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඒ මිශ්‍රණය භාවිතා කර මුහුණ සෝදා ගැනීමෙන් පවා මේ කැලැල් නැති කර ගන්නට හැකියාව ලැබෙනවා. 

  • සමයේ  අඳුරු පැහැය  නැති කරගැනීම සඳහා

 දණහිස්, වැලමිට, අත් යට, ඉකිලි ප්‍රදේශය ආදියේ ඇති අඳුරු බව කාන්තා ඔබට පීඩාකාරී ගැටලුවක් වෙන්නට ඇති අනිවාර්යෙන්ම. මෙවැනි අවපැහැ වීම්  ඉවත් කරගන්නට බුලත් අපිට පහසුවෙන්ම භාවිතා කරන්නට පුළුවන්. බුලත් කොළ කිහිපයක් බ්ලෙන්ඩර් කරගෙන ඒ යුෂ  අඳුරු පැහැ ස්ථානවල ආලේප කිරීමෙන් මේ ගැටලුව නැතිකරගන්නට පුළුවන්.

 රෝස මල් පෙති මිටක් පමණ වියළාගෙන කුඩු වශයෙන් සකසා ගන්න. මෙයටම බුලත් කොළ කිහිපයක් අඹරා එයින් ලබාගත් යුෂ එකතු කර ලප ඇති ස්ථානවල සහ අඳුරු පැහැ ස්ථානවල ආලේප කර මද වේලාවක් තියෙන්නට හැර සෝදා හරින්න. 

  • හිසකෙස් ගැලවී යාම පාලනය සඳහා

 හිස්කෙස් ගැලවී යාම සම්බන්ධ ගැටළුවලට සහ හිසකෙස් වේගයෙන් වර්ධනය කරගන්නටත් බුලත් ඉතාම හොඳ ඔසුවක්. මේ බුලත් හිසකෙස් සඳහා විවිධ ආකාරයට අපිට භාවිතා කරන්න පුළුවන්.

 බුලත් කොළ දෙකක් පමණ ගෙන එය තල තෙල් හෝ පොල් තෙල් සමඟ අඹරා ගන්න. ඒ තලපය හිස් කබලේ හොඳින් ආලේප කර අවම වශයෙන් පැයක්වත් තියෙන්නට හැර සෝදා හරින්න.

ඒ වගේම මුකුණුවැන්න දඬු, බුලත් දඬු, ගොටු කොළ දඬු, අරූද කොල, කීකිරිඳිය දළු, කලාඳුරු, රතු ළූණු  සියල්ල ගෙන කොටා තල තෙල් තෙල් සමඟ සිඳුවා හිස ගැල්වීමෙන් දිගු අලංකාර කෙස් කළඹක් ලබා ගන්නත් පුළුවන්.

  • කුරුලෑ ඉවත් කර ගැනීමට සඳහා

 බුලත් කොළවල ඇති ප්‍රති ප්‍රදාහ සහ බැක්ටීරියා නාශක ගුණ කුරුලෑවලින් ආරක්ෂා වෙලා ඉන්නට අපිට උදව් වෙනවා.

 මේ සඳහා බුලත් කොළ තම්බා ගත් ජලය භාවිතා කිරීම ඉතාම සුදුසුයි. එහෙමත් නැත්නම් බුලත් කොළ කිහිපයක් අමු කහ සමඟ හොඳින් අඹරා ගන්න. අඹරාගත් තලපය පිරිසිදු කරගත් මුහුණේ ගල්වා මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න 

  • දත් දිරා දිරායාම සහ විදුරුමස් ගැටලු නිරාකරණය සඳහා

 අපේ රුව ලස්සන කරන සුන්දර සිනහව සඳහා නිරෝගීමත් මුඛ සෞඛ්‍යයක් තිබීම අනිවාර්යයි. ඒ  සඳහා ඉතාම විශිෂ්ට කාර්යයක් බුලත් මගින් සිදු කෙරෙනවා. ඔබේ හුස්ම ප්‍රබෝධමත් කරමින්  විෂබීජ විනාශ කරනවා. දත් දිරායාම වළක්වා විදුරුමස් ශක්තිමත් කරනවා. මේ ප්‍රතිකර්මය අතීතයේ ඉඳලම භාවිතයට ගත් පිළියමක් නිසා එය ඉතාම සාර්ථක බව අපට පිළිගන්නට හැකියාව තියෙනවා. මේ සඳහා බුලත් කොළ කිහිපයක් තම්බාගත් වතුරෙන් මුඛය සේදීම ප්‍රමාණවත්. 

  • ශරීරයේ දුර්ගන්ධය නැතිකර ගැනීම සඳහා 

ඔබ ස්නානය කරන ජලයට  බුලත් කොළ කිහිපයක් හෝ  බුලත් තෙල් ස්වල්පයක් එකතු කිරීමෙන් ශරීරයේ විෂ බීජ ඇති කරන බැක්ටීරියාවන් විනාශ කරන්නට පුළුවන්. එය ශරීරය නැවුම්ව සහ ප්‍රසන්නව  තියාගන්නට උදව් වෙනවා.

 සැලකිලිමත් වෙන්න 

මේ සත්කාර ඇතැම් අයට ආසාත්මිකතා ඇති කරන්නට හේතු විය හැකි නිසා මේවා භාවිතා කරන්නට ප්‍රථම වැලමිට හෝ කන පිටුපස ගල්වා විනාඩි පහළොවක් පමණ තියෙන්නට හැර ආසාත්මිකතා පරීක්ෂණය ගැටලුවක් නොවන්නේ නම් පමණක් භාවිතයට ගන්න.