මේ කුළුබඩු මිශ්‍ර බුලත් විට දවසට දෙපාරක් හැපීමෙන් සිදුවෙන දේවල් 20 ක්

health tips

හෙළ අපේ සංස්කෘතිය තුළ බුලත්වලට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. සෑම සුබ කටයුත්තක් සඳහා බුලත් අපි භාවිතයට ගන්නවා වගේම ප්‍රධාන ආහාරයෙන් පසුව එදා ගැමියන් සැපූ බුලත් විට ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නත් මහඟු සේවයක් ඉටු කළා. ඒ විතරක් නෙවෙයි දනට, පිරිතට, බණට, මගුලට මරණෙට මුල්තැන ගත් දැහැත් වට්ටිය අද සමාජයෙන් දුරස්ව ගිහින්. බුලත් කොළයේ පැත්ත මාරු කරමින් මගුලට මරණෙට තබන බුලත් කොළය විටෙක අපූරු සන්නිවේදන මාර්ගයක්. ඒ වගේමයි බුලත් එක්කාසු කරගෙන සකසා ගන්නා බුලත් විට එදා හෙළයාගේ ආහාර අතර ප්‍රමුඛ දෙයක් වුණත් එදා ඔවුන් අනුභව කළ බුලත් විට සහ අද අපේ උදවිය අනුභව කරන බුලත් විට අතරේ වෙනස්කම් බොහොමයක් දකින්නට ලැබෙනවා. අපි හැමෝම දන්නවා අද මුඛ පිළිකාවලට මූලිකම හේතුවක් වෙලා තියෙන්නේ බුලත් විට කියන කාරණාව. නමුත් එදා බුලත් විට ආහාරයට ගත්තු ඒ හෙළ ජනයාට එවන් රෝගාබාධ නොවැළදුණේ කොහොමද. හෙළ රජදරුවන් පවා අනුභව කළ බුලත් අපිට අගුණ වෙන්නේ කොහොමද?.

එදා එළිමහන් සිරකරුවෙක්ව සිටි  රොබට් නොක්ස් පවා බුලත් ඖෂධීය ආහාරයක් ලෙස පරිභෝජනය කර ඇති බව සඳහන් වෙනවා. හෙළදීපය ඉංග්‍රීසීන්ට යටත් වෙනතුරුම ඖෂයක් ලෙස භාවිතයට ගත් බුලත් ඉංග්‍රීසීන්ගේ යටත්  විජිතයක් ලෙස ශ්‍රී  ලංකාව පත්වූ විට බුලත් සමඟ ආහාරයට ගන්නට දුම්කොළ  එකතුවීමත් සමඟ  බුලත් විට මිනිසාට අහිතකර ආහාරයක් බවට පත්වුණා. ඒ අනුව පිළිකාකාරක වන්නේ දුම්කොළ මිස බුලත් කොළය නොවෙයි. බුලත් වල ඇත්තේ පිළිකා නාශක ගුණයක්. ඉතින් අද අපි ආහාරයට බියවෙන බුලත්වල සැඟවුණු ගුණ ගැනයි අද අපි ඔබ සමඟ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.

බුලත්වල ඇස්පාටික් අම්ලය,ලයිසීන්, ග්ලූටමික් අම්ලය, ප්‍රෝලීන්, අයිසෝලියුසීන්, ,මෙතියොනින්,  රියෝනින් යන ඇමයිනෝ අම්ල, පොස්පරස්, පොටෑසියම්,කැල්සියම්, මැග්නීසියම්, කොපර්, සින්ක් සහ යකඩත් අඩංගු වෙනවා.

නිසි ආකාරයෙන් බුලත් සැපීමෙන් ලැබෙන ප්‍රතිලාභ වගේම තමයි අනිසි ආකාරයෙන් බුලත් විට අනුභවයෙන් ලැබෙන හානියත්. ඒ අනුව හුණු සහ දුම්කොළ එකතු කර නොගෙන දේශීය කුළුබඩු එකතු කරගෙන සකස් කරගත් බුලත් ශරීරයට අහිතකර නොවන බව සඳහන් වෙනවා.  බුලත්වල නියම ගුණ ලබා ගන්නට එදා අපේ  ගැමියන් විට සකස් කරගත්තේ එනසාල්, සාදික්කා, ඉඟුරු පියලි, කරාබු නැටි, කපු කිණිස්ස ඇට, කයිප්පු ආදී ඖෂධ භාවිතයෙන්. ඒ බුලත් හපය හොඳින් සපා වරක් දෙවරක් කෙළ ඉවත දැමීමෙන් බුලත්වල ගුණ ලබා ගන්නට හැකියි. නමුත් බුලත් හපය දවස පුරාම මුඛයේ රඳවා තබා ගැනීම නම් කොහෙත්ම සුදුසු නැහැ. ඒ නිසා දුම්කොළ රහිත බුලත් විටක් වුණත් දවසට දෙවරක් තුන්වරක්  හැපීම ප්‍රමාණවත්.

බුලත් සැපීමෙන් ලැබෙන ප්‍රයෝජන 

  • මුඛය පිරිසිදු වෙනවා.
  • උගුරේ ලෙඩරෝග සමනය වෙනවා.
  • මුක්ත ඛණ්ඩක ඉවත් කරමින් පිළිකා සෛල විනාශ කරනවා.
  • හෘදය වස්තුව ආරක්ෂා කරනවා.
  • ස්නායු උත්තේජනය කරනවා.
  • දියවැඩියාව වළක්වනවා.
  • ආහාර රුචිය වර්ධනය කරනවා.
  • රුධිර කැටි ඇතිවීම වළක්වනවා.
  • ප්‍රතිශක්තිය ඉහළ නංවනවා.
  • දේහ උෂ්ණත්වය පාලනය කරනවා.
  • විෂබීජ නාශනයට උදව් වෙනවා.
  • අක්මාව නීරෝගී කරනවා.
  • මානසික පීඩනය අඩු කරනවා.
  • දත් ශක්තිමත් කරමින් විදුරුමස් රෝග දුරු කරනවා.
  • කොලෙස්ටරෝල් පාලනය කරනවා.
  • මුඛය සුවඳවත්ව තබනවා.
  • දීලීර මර්දනය කරනවා.
  • ආහාර මාර්ගය ආරක්ෂා කරනවා.
  • මුත්‍රා  ආබාධ සුව කරනවා.

බුලත් විට දේහයට අහිතකර වෙන්නේ හුණු සහ දුම්කොළ එයට එකතු කිරීම නිසාවෙන්. දුම්කොළවල පිළිකාකාරක නයිට්‍රො සංයෝග බොහොමයක් අඩංගු වෙනවා. එවැනි පිළිකා ඇති කරන සංයෝග අතරට නයිට්‍රෝයෝ පිපෙරතීන්, නයිට්‍රෝසෝ නිකොටීන්, නයිට්‍රෝසෝ ප්රෝලීන්, නයිට්‍රෝසෝ ඩයෙතැනොනලැමීන් යන සංයෝග ඇතුළත්. දුම්කොළ හැරුණාම පුවක්වල ඍජු පිළිකාකාරක සංයෝග අඩංගු වෙන්නේ නැහැ. 

මුඛ පිළිකා ඇතිවෙන්නට හේතුවෙන්නේ බුලත් විටකට දුම්කොළ සහ හුණු ඇතුළත් වීමෙන් පමණයි. නමුත් පුවක්වල අඩංගු ඇරිකොලින්, ගුවාකොලින් ආදිය ඍජු පිළිකාකාරක නොවුණත් එම නයිට්‍රෝසෝ ඇමීන් ඇතිවිට ඒවා එම  සංයෝගවල ක්‍රියාකාරිත්වය වැඩි කරන්නට දායක වෙනවා. එදා සිංහලයා පුවක් අනුභව කළත් එයින් පිළිකා ඇති නොවුණේ බුලත්වල අඩංගු පිළිකා නාශක ගුණය නිසාවෙන්. ඒ වගේම හුණුවලට ඍජු පිළිකාකාරක අඩංගු නැතත් ඒවායේ ඇති විකිරණශීලීතාව බුලත්විට දුම්කොළ සමඟ සැපීමේදී නිපදවන නයිට්‍රෝසෝ ඇමීන සමඟ එකතු වීමෙන් පිළිකාකාරක බව වැඩි වෙනවා.

අද අපේ ජනතාවගේ බුලත් විට සකස් වෙලා තියෙන්නේ බුලත්, පුවක්, හුණු දුම්කොළ යන අමුද්‍රව්‍ය හතරෙන් පමණක් නිසා එය සෞඛ්‍යාරක්ෂිත බුලත් විටක් ලෙස සලකන්නට බැහැ. බුලත් විට සෞඛ්‍යාරක්ෂිතව දේහයට ඵල ප්‍රයෝජනය ලැබෙන ලෙස ගන්නේ නම් එය දිව්‍ය  ඖෂධයක් බව විවිධ පොතපතේ සඳහන් වෙනවා. ඒ වගේම ගලගණ්ඩ, තාලු රෝග, දන්ත රෝග, ගල රෝග, ශ්වසාදී කළු රෝග , රක්තපිත්තය, මුර්ජාව ආදී රෝග ඇතිවිටෙක මේ බුලත් විට සැපීම නුසුදුසු බව සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි කුසගින්නේ පෙළෙන විට, පිපාසයෙන් පෙළෙන විට වගේම විරේක බෙහෙත් පානය කළ විටෙකත් බුලත් සැපීම හොඳ දෙයක් නොවන බවයි සඳහන් වෙන්නේ. 

කොහොමනමුත් දිනෙන් දින වැඩිවෙන මුඛ පිළිකා රෝගීන් ගැන අසද්දි කළ යුතු හොඳම දේ වන්නේ ඔබ හැකි ඉක්මනින් දුම්කොළ භාවිතයට තිත තැබිය යුතු බවයි. ඒ වගේම ඖෂධීය ගුණයෙන් සපිරි විටක් සැපීමත් විටවල හපය නොගිලීමත්, විට සැපීමෙන් අනතුරුව මුඛය හොඳින් සෝදා දැමීමත් ඒ අතරේ සිහියේ තබා ගත යුතු කරුණු වෙනවා.