ඔබේ සමට හානි කරන ගැටිති වර්ග 7 ක්

health tips

අපේ සම ආශ්‍රිතව ඇතිවන යම් යම් රෝගයන්ට අදාළ ලක්ෂණයන් අතරේ ගැටිති හෝ ගෙඩි කියන්නේ සුලබ තත්ත්වයක්. ස්පර්ශ කරද්දි හසුවන ඒ ගැටිති ඔබටත් විටෙක බියක් දනවන්නට පුළුවන්. එවැනි ගැටිත්තක් යම් භයානක රෝගයක් නිසා ඇතිවන තත්ත්වයක් ද නැත්නම් සාමාන්‍ය දෙයක් දැයි යන්න හරිහැටි නිශ්චය කරගන්නට නොහැකිව බොහෝදෙනෙක් ලතැවෙනවා. ඉතින් ඔන්න ඒ ගැටළුව සඳහා ඔබේ දැනුමට යමක් එකතු කරන්නටයි මේ සූදානම් වන්නේ. 

සමෙන් හට ගන්නා ගැටිති වඩාත් සුලබව ඇතිවන ගැටිති තත්ත්වයක් වන්නේ සමෙන් හට ගන්නා ගැටිති. විශේෂයෙන්ම සමේ තෙල් ස්වාභාවය රඳා පවත්වා ගන්නට උපකාරී වෙන ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථියෙන් ඒවා ගලා එන නාලය ආශ්‍රිත යම් අවහිරතාවයක් ඇතිවූ විට එහි ඇති ස්නේහය විශාල වෙලා එය ගෙඩියක් ගැටිත්තක් ලෙස සකස් වෙනවා. මේ ආකාරයේ ගැටිති ඇතැම්විට විශබීජයක් නිසා හෝ වෙනත් හේතුවක් නිසාවෙන් ඇති වෙන්නට පුළුවන්. එය මතුපිටට එසවුණු ස්වභාවයකින් දකින්නට පුළුවන් වගේම එහි මැද කළු පැහැයෙන් තිතක් වගේ දිස්වන අවස්ථාවත් දකින්නට පුළුවන්. එයින් පෙන්නුම් කරන්නේ අවහිර වූ ස්ථානයයි. 

කොහොමනමුත් මේ ගැටිති අපේ ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති වෙන්නට පුළුවන්. හිසේ, අතේ,පාදයේ ආදී ඕනෑම ස්ථානයක ඇතිවෙන ඒ ගැටිති පිළිකා බවට පත්වීමේ හැකියාව ඉතාම අවමයි. නමුත් දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට මෙයට විශබීජයක් ඇතුළු වුණොත් පැසවන්නට පුළුවන්. එවැනි අවස්ථාවක ශල්‍ය කර්මයක් මගින් සුව කිරීම තරමක් අපහසුයි. ඒ නිසා එවැනි ගැටිත්තක් කුඩා අවදියේදීම ඉවත් කිරීමයි වඩා සුදුසු. 

ඒ හැරුණාම මේ ගෙඩි හෝ ගැටිති ශරීරයේ එකවර විශාල ගණනකින් ඇති වෙන්නත් පුළුවන්. මොකද ශරීරයේ ස්නේහය ශ්‍රාවී ග්‍රන්ථි විශාල සංඛ්‍යාවක් අපේ ශරීරයේ පවතින නිසා. විශේෂයෙන්ම බෙල්ලේ පිටුපස හා බෙල්ල වටේ, යටිබඩ ප්‍රදේශයේ ආදී ස්ථානවල එවැනි ග්‍රන්ථි විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒවායින් ඇතිවන ගැටිති පැසවීමත් සැරව පිටවූ පසු නැවත ඇතිවීමත් සිදු වෙනවා. නමුත් එවැනි තත්ත්වයක් ශල්‍ය කර්මයක් මගින් සුවකරන්නට නොහැකියි. ඒ නිසා ඖෂධ ලබාදීම මගින් ඒවා සුව කරගන්නට හැකියාව පවතිනවා. නමුත් කාලයක් ගතවීමෙන් පසුව නැවත මේ ගැටිති ඇතිවෙන්නට හැකියාව පවතිනවා.

තෙල්  ගෙඩි  තෙල් ගෙඩි උදරයේ වගේම අතේ හටගන්නට පුළුවන්. එය බොහෝවිට එක් ගෙඩියක් හෝ ඊට වඩා ඇතිවෙන්නටත් පුළුවන්. නමුත් මේ ගෙඩි පිළිකාවක් බවට පත්වීමේ ඉඩකඩ ඉතා අවමයි. ඇතැම්විට පිට ප්‍රදේශයේ හෝ කලවා ප්‍රදේශයේ ඉතා විශාල තෙල් ගෙඩි පවතිනවා නම් එවැනි ගෙඩියක් පිළිකාවක් වන්නට කලාතුරකින් ඉඩකඩක් පවතින්නට පුළුවන්. නමුත් තෙල් ගෙඩි සාමාන්‍යයෙන් බියවිය යුතු ගෙඩි  වන්නේ නැහැ.

පියයුරු ගැටිති පියයුරු ගැටිති බොහෝවිට පිළිකාවක ලක්ෂණයක් වන්නට ඇති ඉඩකඩ වැඩියි. ඒ වගේම පියයුරු පිළිකාවක්  හඳුනා ගැනීමේ එක් ලක්ෂණයක් ලෙසත් මෙය වැදගත් වෙනවා.එය තෙල් ගෙඩියක් නම් බියවීමට අවශ්‍ය නැතත්  යම්විටෙක ඒ ගැටිත්ත පිළිකාවක පෙර නිමිත්තක් වන්නට ඉඩකඩ වැඩියි. ඒ නිසා එවැනි අවස්ථාවක අනිවාරයෙන්ම වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතුමයි.

ඇස් කෙළවරේ හට ගන්නා ගෙඩි එවැනි ගෙඩියක් බොහෝදුරට සමෙන් ඇතිවන මුලින් සඳහන් කළ ආකාරයේ ගෙඩියක් වෙන්නේ නැහැ. ඒවා ජන්මයෙන්ම ඇතිවන තත්ත්වයන් . ශරීරය සකස් වෙද්දි ඒ ඒ සෛලවලින් මේ ගෙඩි ඇති වෙනවා. මේවා පිළිකා බවට පත්වීමේ හැකියාව අඩුයි. නමුත් කුඩා ගෙඩිය අවදියේදී මේ ගෙඩි ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර ගැනීමයි වැදගත් වෙන්නේ.

හිසේ ඇතිවන ගෙඩි හිසේ ඇතිවන ගෙඩි ස්නේහ ග්‍රන්ථි ආශ්‍රිත ශ්‍රාවයන් පිට කිරීම අවහිරවීමෙන් හෝ තෙල් ගෙඩියක් ලෙසත් ඇති වන්නට පුළුවන්. නමුත් බාහිරින් එය නිශ්චය කරන්නට බැහැ.  එය ඇතැම් විට අභ්‍යන්තරයේ කොටස් සමඟ සම්බන්ධ වී පවතින්නටත් හැකි නිසාවෙන්.

අතේ මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන ගැටිති මෙවැනි ගැටිති අත පහළට නවන විට ඉතා හොඳින් දැක ගන්නට හැකි වුණත් අත ඉහළට නවන විට ගැටිත්ත ගිලී යාමක් වන්නටත් පුළුවන්. මෙය ඉතරම් බියවිය යුතු තත්ත්වයක් නොවෙයි. නමුත් මෙවැනි ගැටිති ඉතා සුලබයි. මේ ගැටිත්ත මැණික් කටුව නැවෙන සම්බන්ධක ප්‍රදේශය හා සම්බන්ධවෙලා පවතින්නේ. මේ ගෙඩි ඇතිවෙන්නේ මැණික් කටුව හොඳින් නවන්නට හේතුවන ජෙල් කොටසක් දුර්වල ස්ථානයකින් පිට පැනීමක් නිසාවෙන් ගෙඩියක් ලෙස මතුවීමෙන්. මේ ගෙඩි හිරිවට්ටවා ඉවත් කිරීමකට වඩා සාර්ථක වන්නේ සිහි නැතිකර ශල්‍ය කර්මයකින් ඉවත් කිරීම. එමගින් නැවත ඒ ගෙඩිය ඇතිවීමක් වන්නේ නැහැ. මේ ගෙඩි බොහෝවිට පිළිකාවක් බවට පත්වීමේ අවදානම ඉතාම අඩුයි.

ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවට යා යුතු අවදානම් ගැටිති සම්බන්ධ ලක්ෂණ 

  • අලුතක  යම් ගැටිත්තක් ඇතිවූ විට 
  • ගැටිත්ත හෝ ගෙඩිය ඇල්ලු විට එහි ගැස්මක් ඇතිවිට 

මෙවැනි තත්ත්වයකදී බොහෝවිට එහි ඇත්තේ රුධිර වාහිනී ගොන්නක්. එහි ධමනි හෝ ශිරා ගුලියක් තිබෙන්නට පුළුවන්. ඒ වගේම එවැනි ගෙඩියක් ඉතා පහසුවෙන් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන්නටත් අපහසුයි. ඒ නිසා වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂණ කරවා ගෙන ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. 

  • ගැටිත්ත විශාල ගෙඩියක් දක්වා ක්‍රමයෙන් විශාල වන විට ගෙඩියක් හෝ ගැටිත්තක් යම්විටෙක ක්‍රමයෙන් විශාල වන්නේ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. එය බොහෝවිට පිළිකාවක් වන්නට ඉඩකඩ පවතින නිසා.
  • ශල්‍ය කර්මයකින් ගැටිත්ත හෝ ගෙඩිය ඉවත් කළත් ඒ ස්ථානයේ නැවත ගැටිත්තක් හෝ ගෙඩියක් හට ගන්නා විට මේ අවස්ථාවේදීත් අනිවාරයෙන්ම වෛද්‍යවයෙක් හමුවෙන්නට අවශ්‍යයි. එය නිසි පරිදි ඉවත් නොවීම මත හෝ පිළිකාවක් නිසාවෙන් නැවත ඒ ගැටිති හට ගන්නට පුළුවන් නිසාවෙන්.
  • පැහැය අඩුවෙමින් යන උපන් ලපයක් ඇති විට 
  • ගැටිති කසන්නට ගැනීම හෝ රුධිරය ගලන විට 
  • වේදනාවක් නොමැතිව හදිසියේ වේදනාවක් හට ගන්නා විට  

ඉතින් ඒ ලක්ෂණ ඇතිවිට එය සාමාන්‍ය තත්ත්වයක් හෝ තෙල් ගෙඩියක් ලෙස සිතා වෛද්‍යවරයෙකු හමුවීම පමා කරන්නට එපා. මොකද වේදනාවක් සහිත හෝ රහිත ගැටිත්තක් ගෙඩියක් වුණත් ඇතැම්විට අපි නොසිතන ආකාරයේ පිළිකාවක් විය හැකි නිසාවෙන්. එබැවින් තමා විසින්ම එය තීරණය නොකර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂාවන් හා අදාල ප්‍රතිකාර ලබාගන්න.