අපිට වගේම ගහකොළවලටත් සතා සීපාවටත් ජලය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි කාටවත් ජලය නැතුව ජීවත් වෙන්න බැහැ. ඒ වගේම තමයි අපි පානයට ගන්නා ජලය ඉතාම පිරිසිදු හොඳ තත්වයේ ඒවා වීමත් ප්‍රමාණවත් පරිදි දෛනිකව අවශ්‍ය ජලය ප්‍රමාණය ශරීරයට ලබා ගැනීමත් අනිවාර්ය කාරණාවක් .
දෛනිකව ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කරන්නට හැකි නම් එයින් අපිට රෝග බොහොමයක් වැළඳීමේ අවදානම අඩු කරගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ජලය පානය කිරීමෙන් අපට බොහෝ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.
රෝග රාශියක්ම වැලඳීමේ අවදානම අඩු කරනවා. විශේෂයෙන්ම ශරීරයේ සැඟවිලා තියෙන විශබීජ සියල්ලම ඉවත් කරන්නත් අපි පානය කරන ජලය අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජලය හරියාකාරව භාවිතයට ගත්තොත් මේ වාසි අපිට නොඅඩුව ලබාගන්න පුළුවන්.

සමේ ගැටලු සියල්ලක්ම නිරාකරණය කරනවා.දිනකට වතුර වීදුරු 11 ක් පමණ පානය කිරීමෙන් ශරීර අභ්‍යන්තරය පිරිසුදු වෙන නිසා අපේ ශරීරයට පිටතින් පැමිණෙන බැක්ටීරියා ආසාදන සමග ජලය ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා සම විතරක් නෙවෙයි ශරීරයත් විශබීජවලින් ආරක්ෂා වෙනවා. සමේ තෙතමනය රැකීම සමේ පැහැපත් බව වැඩි කිරීමටත් ජලය උදව් වෙනවා.
දේහයේ ක්‍රියාශීලී බව වර්ධනය කරනවා.ශරීරය විජලනය නොවී පවත්වා ගන්නට ජලය පානය අත්‍යවශ්‍යයි. ජලය ශරීරයේ වියළි බව නැතිකර කම්මැලි බව දුරු කරල මනසට උත්තේජනයක් ලබා දෙනවා. විශේෂයෙන්ම උදෑසන හිස් බඩට ජලය පානය කරන්නට පුළුවන් නම් එය මුළු දවසම ක්‍රියාශීලීව ගත කරන්නට උපකාරී වෙනවා.
ශරීර බර අඩු කරනවා.බොහෝ දෙනෙක් පීඩා විඳින ස්ථුලභාවයෙන් මිදෙන්න වැඩිපුර ජලය පානය කරන එක හරිම වැදගත්.
අස්ථි රෝග වැළැක්වීමේ හැකියාවෙන් සමන්විතයි.විශේෂයෙන්ම අස්ථිවල 25% ක්ම පවතින්නේ ජලය නිසා එහි නිසි ක්‍රියාකාරිත්වය සඳහා ජලය ප්‍රමාණවත්ව පානයට ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.
කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, දියවැඩියාව ආදී බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා.විශේෂයෙන්ම මෙවැනි රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නට ජලය අවශ්‍ය පරිදි පානය කිරීම අතිශයින්ම වැදගත්.
හෝමෝන ගැටලු ඇතිවීමෙන් මතුවන ආතතිය හා පාලනය කරන්නත් ජලය සුදුසුම පානයක්.ශරීරයේ උෂ්ණත්වය අඩු කිරීමට දායක වෙනවා.කාන්තාවන්ගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි නිසා ගර්භාෂයේ දරුවන් පිළිසිඳ ගැනීමේ ගැටළු පවා ඇති වෙන්න පුළුවන්. එනිසා දෛනිකව අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත්ව ලබා ගැනීමෙන් ශරීරය සිසිල්ව තියාගන්න පුළුවන්.
යෝග්‍යතාවය වැඩිදියුණු වෙනවා.ව්‍යායාම අපේ ශරීරයේ ජලය බැහැර කරනවා. විශේෂයෙන්ම ව්‍යායාම් කරද්දී ජලය පානයෙන් මුළු ශරීරයම සිසිල් වෙනවා. එයින් ශාරීරික යෝග්‍යතාවය රැකගන්නට හැකියාව තියෙනවා.
මෙවැනි සුවිශේෂී වාසි ලබා දෙන ජලය පානය කිරීමට නියමිත වේලාවක් නියමිත ජල පරිමාවක් තියෙනවා. ඒ නිසා ජලය පානය කිරීමේදී මෙන්න මේ කරුණු ගැනත් සැලකිලිමත් වුණොත් ඔබට ඔබේ ශරීරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගෙන නිරෝගීව ජීවත් වෙන්නට හැකියාව ලැබෙනවා.
උදෑසන හිස්බඩ පිරිසුදු වතුර පානයට ගන්න.රාත්‍රී කාලයේම ශරීරයේ විසින් සිරුරේ තිබුණු ජලය ප්‍රයෝජනයට ගෙන ඇති නිසා උදෑසන අවදි වෙද්දි ශරීරයේ ජල මට්ටම බොහෝ සෙයින් අඩු වෙලා තියෙනවා. රාත්‍රියට යාමට පෙර වගේම උදෑසන අවදි වූ විගස පිරිසුදු වතුර වීදුරුවක් පානයට ගැනීම වැදගත් වෙන්නේ ඒ නිසාමයි.
දිනකට වතුර වීදුරු 8-12 අතර ප්‍රමාණයක් පානයට ගන්න.සාමාන්‍යයෙන් සුදු පැහැයට හුරුව මුත්‍රා පිට වෙනවා නම් එයින් හැඟවෙන්නේ ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානයට ගන්නා බවයි. මුත්‍රාවල වර්ණය කහ පැහැයක් ගන්නවා නම් ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
කුඩා ප්‍රමාණවලින් ජලය පානයට ගන්නවා වෙනුවට වරකට ජලය වීදුරුවක් පානයට ගන්න.වරින් වර කුඩා ප්‍රමාණවලින් ජලය පානය කිරීම වෙනුවට වරකට ජලය වීදුරුවක් පානයට ගන්න පුළුවන් නම් එය හදවතේ ආතතිය අඩු කරන්නට උදව්වක් වෙනවා. නමුත් එක හුස්මට විශාල වතුර ප්‍රමාණයක් පානයට ගන්නට එපා.
උණුසුම් කාලවලදී වැඩිපුර ජලය පානය කරන්න. සීතල දේශගුණය ජීවත් වෙන කෙනෙකුට වඩා උණුසුම් දේශගුණ තත්ත්වයකදී පානය කළ යුතු ජල පරිමාව වැඩි කිරීම අනිවාර්ය වෙනවා.
ව්‍යායාම් කිරීමෙන් පසුව වැඩි ජල ප්‍රමාණයක් පානයට ගන්න.
කාමර උෂ්ණත්වයේ පවතින ජලය පානයට ගන්න.ඒ හැරුනහම උණුකර නිවාගත් හෝ මඳ උණුසුම් ජලය පානයට ගැනීමත් ඉතාම සුදුසුයි.
අසනීප අවස්ථාවකදී වැඩිපුර ජලය පානය කරන්න.අසනීප අවස්ථාවකදී විවිධ ආසාදනවලින් වැළකිලා ඉක්මනින් සුවය ගන්නට නම් ශරීරය විජලනයට පත්වීම වළක්වා ගන්නට නම් අනිවාර්යයෙන්ම ජලය පානය කළ යුතු වෙනවා.
ගර්භනී කාන්තාවන් හෝ කිරි දෙන මවක් නම් ඔබ වැඩිපුර ජලය පානයට ගන්න.සාමාන්‍යයෙන් කාන්තාවක් පානය කරන ජලය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ අවස්ථාවල පසුවන කාන්තාවන් විසින් ලබා ගත යුතු බවයි අධ්‍යනයන් වලින් තහවුරු කරගෙන ඇත්තේ. එය මවගේ වගේම දරුවාගේ නිරෝගී බවට අතිශයින්ම වැදගත් වෙනවා.
නිතරම පෙරන ලද ජලය පානයට ගන්න.ජලයේ ඇති නොයෙකුත් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට හැකියාවක් තියෙන ජල පෙරනයක් තෝරාගෙන ඒවායෙන් පෙරාගත් පිරිසුදු ජලය පානයට හැමවිටම උත්සාහ ගන්න.
පිපාසය එනතුරු නොසිට ජලය පානයට ගන්න.ශරීරයට අවශ්‍ය තරම් ජලය නොලැබෙන විට එය අපිට විවිධ සංඥා මගින් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම සමේ වියළි බව මෙයට හොඳම හේතුවක්. ඒ වගේම මලබද්ධය වගේ තත්වයන්වලින් පීඩාවට පත් වෙනවා නම් එවිට ඔබ ජලය පානය කිරීමේ අඩුවක් ඇති බව තමයි පෙන්නුම් කරන්නේ.ඒ නිසා පිපාසයක් එනතුරු නොසිට ජලය පානයට ගන්න.

ආහාර ගත් විගස ජලය පානය කරන්න එපා.මෙයින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන ශක්තිය විනාශ වීමක් සිද්ධ වෙනවා. එය නොයෙක් වාත රෝග, ආම්ලික ගැටළු ඇති කරන්නටත් හේතුවක්.
හිටගෙන ජලය පානයට ගන්න එපා.ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට හිටගෙන ජලය පානය කරනවාට වඩා හිඳගෙන ජලය පානය කිරීම වඩාත් සුදුසුයි.
- සෑම පැයකට වරක්ම කෝප්පයක්වත් පානය කිරීමේ පුරුද්දක් ඇතිකර ගන්න.
- ආහාර වේලකට පසු, නින්දට පෙර වැඩිපුර වතුර පානය නොකරන්න.
- දිවා කාලයේ විටින් විට ජලය පානය කරමින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගන්න උත්සාහ ගන්න .
වකුගඩු ආශ්‍රිත රෝගවලින් පෙළෙන පුද්ගලයන් වගේම වෙනත් අභ්‍යන්තර රෝග තත්ත්වයන් නිසා ජලය පානය කිරීම පාලනය කළ යුතු බවට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති විටෙක හැරුනහම අන් සියලුම අවස්ථාවල දී අවශ්‍ය කරන තරම් ජලය පානයට ගැනීමට උනන්දු වීමෙන් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්.