ඔබත් කැල්සියම් ඌනතාවෙන් පෙළෙන බව පෙන්නුම් කරන ලක්ෂණ 8 ක්

health tips

කැල්සියම් කියන්නේ සිරුරේ අස්ථි වල නීරෝගි බව සඳහා ඉතා වැදගත් ඛනිජ ලවණයකි. කැල්සියම් මඟින් රුධිර පීඩනය ස්ථාවර කිරීම, හෝර්මෝන ශ්‍රාවය වීම පාලනය කිරීම සහ ස්නායු සංඥා ක්‍රමවත්ව මෙහෙයවීම ආදි ක්‍රියාකාරීත්වයන් සඳහා ද ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදේ.

 සිරුරට ප්‍රමාණවත් තරමින් කැල්සියම් පෝෂණයක් නොලැබෙන විට සිරුරේ කැල්සියම් ඌනතාවයක් හටගත හැකියි. සිරුරේ කැල්සියම් ඌනතාවයක් ඇතිවුවහොත් අපේ සිරුර විසින් ඒ පිලිබඳව විවිධ සංඥා ලක්ෂණ  හරහා පෙන්නුම් කිරීමට පටන්ගනියි.බොහෝවිට කාර්යබහුලකම හා නොසැලකිල්ල නිසා මෙවැනි ලක්ෂණ ඔබට මගහැරෙන්නට පුළුවන්.එහෙත්, එය ඔබේ සෞඛ්‍යයට එතරම් හිතකර නැහැ. එම නිසා ඔබේ ශරිර්ර සෞඛ්‍ය ගැන හොඳ අවදානයකින් සිටීම ඉතා වැදගත්.

ඔබේ සිරුරේ කැල්සියම් අඩු නම් ඔබේ සිරුරේ මෙවැනි ලක්ෂණ මතුවිය හැකියි.

  • සිරුරේ වැඩි ප්‍රමාණයක් කැල්සියම් තැන්පත් වී ඇත්තේ අස්ථි වල සහ දත් වලයි. ඒ හේතුවෙන් කැල්සියම් ඌනතතාවයක් ඇතිවීමෙන් දැඩි ලෙස අපහසුතාවට ලක්වන්නේත් අස්ථි සහ දත් ය. කැල්සියම් හීනවීම නිසා ඔබේ දත් දෙපළ කහ පැහැයට හැරීම මෙන්ම දත් දිරා යාම ,දත් මුල් දුර්වල වීම, දත් පළුදු වී පහසුවෙන් කැඩී යාමට පටන්ගැනීම වැනි සහ දත් කැක්කුම් හටගැනීමට පටන්ගනියි.කුඩා දරුවන් තුළ දත් වර්ධනය වීම ආශ්‍රිත නොයෙකුත් ගැටලු බාධා ඇතිවිය හැකියි.
  • කැල්සියම් ඌනතා ලක්ෂණ පෙන්නුම් කරන තවත් ශරීරාංගයක් වන්නේ නියපොතුය. අස්ථි වලට මෙන්ම ඔබේ නියපොතු වල ශක්තිමත්බව සහ අඛණ්ඩ නිරෝගි බව ආරක්ෂා වීමට ද කැල්සියම් අවශ්‍ය වේ. සිරුරේ කැල්සියම් ඌනතාවයක් ඇතිවිට නියපොතු දැඩිලෙස වියළියාමට පටන්ගැනීම, දුර්වල වීම, නියපොතු කැඩීයාම හා පළුදු වීමට පටන්ගැනීම වැනි හානි ඇතිවිය හැකියි. දුර්වල වූ නියපොතු වල ඝනකම අඩු නිසා ඒවා ඉතා සුලු බලපෑමකින් වුවත් කැඩී යාම සිදුවිය හැකියි. මේ නිසා දෛනික කටයුතු සිදුකිරීමේදි ඔබේ නියපොතු දැඩි ලෙස පරිහානියට ලක්වීම සිදුවිය හැකියි.
  • හිසකෙස් වඩාත් රළු වේ. පෙර මෙන් නොව නැවත වර්ධනය වීමේ වේගය ඉතා මන්දගාමී බවක් පෙන්වයි.
  • මාංශ පේශී චලන හා ක්‍රියාකාරීත්වයන්ට බාධා ඇතිවේ. කලවා, බත් කෙණ්ඩ, බාහු සහ අත් යට රාත්‍රී කාලයේදි මස් පිඬු පෙරළීම් වේදනා හටගැනීම කැල්සියම් ඌනතාවය හටගැනීමේ පූර්ව ලක්ෂණ පහළ වීමකි. එහා මෙහා ඇවිදීමේදි සහ කටයුතු වල නිරත වීමේදී  මස් පිඬු වේදනා-කැක්කුම් දැනීමට පටන්ගැනීම සමඟ මස් පිඬු පෙරළීම වැනි පීඩාකාරි ස්වභාවයන් ඇතිවිය හැකියි. කාලයක් පුරාවට මේ තත්වය පැවතුනහොත් එය (මාංශ පේශීන් ) ගැස්ම හෙවත් ස්පැස්ම් වැනි උත්සන්න තත්වයකට පවා පත්වීමට හැකියාව පවතියි.
  • කැල්සියම් අඩුකම පුද්ගලයා තුළ තදබල තෙහෙට්‍ටුකර ගතියක් ඇතිකළ හැකියි.අධික තෙහෙට්‍ටුව සමඟ ඉසකරකැවිල්ල (‍තෝන්තුගතිය) හා ව්‍යාකූලගතිය දැනෙන්නට පටන්ගත හැකියි. ඔබට අධික තෙහෙට්‍ටුවක් , උදාසීන ගතියක්, ශක්තිය නොමැති අප්‍රාණික බවක් හෝ නිරන්තරයෙන් මන්දගාමී ගතියක් දැනේ නම් ඔබ සිදුකල යුත්තේ ශක්තිජනක පාන ලබාගැනීම නොව සමබල පෝෂණයකින් අනූන ආහාර රටාවකට යොමුවීම බව මතකතබාගන්න.එය ඔබේ සෞඛ්‍යය ගැටලුවට ඇති හොඳම විසඳුමකි.
  • කැල්සියම් ඌනතාවෙන් පෙළෙන්නන් පහසුවෙන්ම අස්ථි ආබාධ හා අනතුරු වලට ලක්වීමේ අවදානම වැඩිය (විශේෂයෙන්ම අස්ථි බිඳුම් වැනි ගැටලු). ඊට හේතුව කැල්සියම් හිඟකම නිසා අස්ථි වල ශක්තිය පිරිහී ඒවා දුර්වල වී ගොස් තිබීමය.
  • කාන්තාවන් තුළ කැල්සියම් ඌනතාව ඇතිවීම බරපතල තත්වයේ පූර්ව ඔසප් සින්ඩ්‍රෝම (Pre-menstrual syndrome) ලක්ෂණ මතුවීමට හේතුවේ.
  • කැල්සියම් ඌනතාව මානසික අවපීඩනය හෙවත් විෂාදයීය ලක්ෂණ වර්ධනය වීම කෙරෙහි සම්බන්ධතා පෙන්නුම් කරන බව ඇතැම් අධ්‍යයන මඟින් සොයාගෙන තිබේ. මනෝභාවයන් නිසි පරිදි පාලනය වීම සඳහා කැල්සියම් අත්‍යවශ්‍ය සාධකයක් බව සඳහන් වෙනවා.කැල්සියම් යන මූලද්‍රව්‍ය කෙනෙක්ව සන්සුන් සහ සැහැල්ලු කරවිය හැකි ගුණ අඩංගු ශමනකයක් එහෙමත් නැතිනම් ස්වභාවික වේදනානාශකයක් ලෙසත් හැඳින්වෙනවා. ඔබේ සිරුරට අඩුවෙන් කැල්සියම් ලැබෙන තරමට ඔබව මානසික අවපීඩනයට පත්විම සහ මනස වියවුල් වී අපහසුකාරී බවක් දැනීම සිදුවිය හැකියි.
  • *සෑම වැඩිහිටි පුද්ගලයෙකුම දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 1000 ක් පරිභෝජනයට ගත යුතුයි. තද කොළ පැහැති එළවලු සහ පලා වර්ග ඔබේ ආහාර වේලට එක්කරගන්න. කැල්සියම් බහුල වෙනත් ආහාර වර්ග මේද සහිත මාලු (සැමන්, සාඩින්, මැකරල් සහ ටූනා වැනි), චීස්, එළකිරි, සෝයා බෝංචි, ආමන්ඩ් ඇට, තල ඇට වැනි ආහාර ද අනුභවයට ගන්න.
  • තවත් වැදගත් කරුණක් නම් සිරුරට හොඳින් කැල්සියම් අවශෝෂණය වීමට නම් විටමින් D පෝෂණය අත්‍යවශ්‍ය වීමයි. එම නිසා විටමින් D බහුල ආහාර පාන පරිභෝජනය වැඩිකරන්න. බිත්තර කහ මද, බෙල්ලන්, ඉස්සන්, හතු  සහ ඕට්ස්, සීරියල් වැනි ධාන්‍ය වර්ග සහ දොඩම් යුෂ වැනි ආහාර වල විටමින් D පදාර්ථ බහුලව අඩංගුවේ

ඔබේ සිරුරේත් මෙවැනි රෝග ලක්ෂණ දෙකක් හෝ ඊට වඩා මතුවී තිබේ නම්, වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.කැල්සියම් මට්ටම් අඩුබව සනාථ වුවහොත් ආහාර පාන හරහා එම අවශ්‍යතාව සපුරාගැනීමට වැඩි අවධානයක් ලබාදෙන්න.