වයසට යනකොට නිතර හැදෙන සන්ධි වේදනාව සුව කරන දොඹ ඇට ආලේපය

health tips

මධ්‍යස්ථ ප්‍රමාණයෙන් වැඩෙන දේශීය සදාහරිත ශාකයක් වශයෙන් දොඹ ශාකය හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් මෙම ශාකය මීටර් විස්සක් පමණ උසට වැඩෙන අතර සෙන්ටි මීටර් 50ක පමණ විශ්කම්භයකින් යුක්ත වේ. මෙම ශාකයේ පත්‍ර සරල සම්මුඛ වන අතර මතුපිට ඉතා සිනිඳු බවින් යුක්ත වේ. එමෙන්ම මෙම පත්‍ර තරමක විශාලත්වයෙන් යුක්ත වන අතර දිගින් සෙන්ටිමීටර් 20 ක් හා පළලින් සෙන්ටිමීටර් 12ක් පමණ වේ. පුෂ්ප මංජරියක් ආකාරයට සැකසෙන අතර එම මල් සුදු පැහැයෙන් යුක්ත වේ. ඉතා අලංකාරවත් සුවඳවත් මලක් වන මෙය මී මැස්සන් ආකර්ශණය කර ගැනීමට පවා සමත් වේ. දොඹ ගෙඩි කොළ හා කහ පැහැයෙන් යුක්ත වන අතර තන්තු සහිත ගෝලයක් වැනිය. මෙහි විශේෂත්වය වන්නේ එක් දොඹ ගෙඩියක් තුළ එක් විශාල බීජයක් පමණක් හට ගැනීමයි. ඖෂධීය ගුණයෙන් අනූන මෙම දොඹ ශාකය ශරීරයේ හටගන්නා බොහෝ ලෙඩ රෝග වලට ඖෂධ සැකසීමේ දී භාවිත කරයි. විශේෂයෙන් දොඹ ශාකයෙ කොල, මුල්, පොතු, මල්, ඇට, මද, මැලියම් හා තෙල් යන කොටස් ඖෂධ සැකසීම සඳහා භාවිත කරයි. එවැනි කොටස් භාවිතා කරමින් සකස් කර ගන්නා ඖෂධවලින් මිනිස් ශරීරයට පහත ආකාරයේ ගුණ කර්ම රැසක් ලබාගත හැකිය. 

  • මලභේදක ගුණය 
  • මුත්‍රා කාරක ගුණය 
  • රෝචක ගුණය 
  • අධිමානහර ගුණය 
  • ධාතු ඌෂ්ණාහර ගුණය 
  • වනරෝපන ගුණය 
  • කෘමි නාශක ගුණය 
  • පෙනහැල්ලට හිතකර ගුණය ආදී වශයෙන් ශරීරයට හිතකර ගුණ කර්ම රැසක් දොඹ ඖෂධයෙන් ලබාගත හැකිය. 

ඖෂධයක් ආකාරයට දොඹ භාවිතයෙන් සිරුරට හිතකර ප්‍රතිඵල බොහෝමයක් අත්පත් කරගත හැකිය. 

ඇස් වලට ගුණදායක වේ. විශේෂයෙන් ඇස් වලට වැළඳෙන අභිෂ්‍යන්දන නම් අක්ෂි රෝගය සඳහා දොඹ කොල සත්කාරය අතිශයින්ම යෝග්‍ය වේ. මේ සඳහා දොඹ කොළ තැම්බූ ජලයෙන් ඇස් සේදීම හෝ දොඹමල් පොඟවා තැම්බූ වතුරෙන් ඇස් සේදීම වඩාත් උචිත වේ. මීට අමතරව ඇසෙහි කුඩා යමක් ඇනුනු විට හා ඇසට රොඩ්ඩක් ගිය පසු දොඹ දලු, බෝඹු දලු හා පඹ දලු යන තුන් වර්ගය තම්බා එම ජලයෙන් ඇස් සේදීමෙන් ඇස් වලට සුවයක් ලබාගත හැකිය. මේ ආකාරයට ඇස් ආශ්‍රිතව ඇතිවන ගැටලුකාරී තත්වයන් වලදී දොඹ ශාකය ඖෂධයක් ලෙස භාවිතයට ගත හැකිය. 

සන්ධි වේදනා සුව කරයි. සන්ධිවල ඇතිවන වාත වේදනාවන් සහ ඉදිමුම් තත්වයන් සඳහා දොඹ ඇට හොඳින් අඹරා ආලේප කිරීම වඩාත් යෝග්‍ය වේ. 

වන හා තුවාල වලට යෝග්‍ය වේ. විශේෂයෙන් ශරීරයේ ඇතිවන වන හා තුවාල තත්ත්වයන් වලදී දොඹ මුල් තම්බා ගත් ජලයෙන් ඒවා සෝදා පිරිසුදු කරගෙන දොඹ තෙල් ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකිය. 

අතීසාරය හා අර්ශස් රෝගය සඳහා යෝග්‍ය වේ. රක්ත අතීසාරය, ප්‍රවාහිකා රෝග සහ අර්ශස් යන තත්ත්වයන් වලදී දොඹ පොතු භාවිතා කරමින් සකස් කරන කසාය පානය කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකිය. 

දියමැටියන් කෑමෙන් ඇති වූ තුවාල සුව කරයි. අධික වර්ෂාව සහිත කාලයන්වලදී කකුල් වල ඇඟිලි කරු අතර දියමැටියන් කෑමෙන් ඇති වූ වන ඇතිවේ. මේවා සුවකර ගැනීම සඳහා දොඹ ඇට පුළුස්සා එම අළු පොල්තෙල් වලින් අනා දියමැටියන් කෑ ස්ථානවල ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ලැබේ. මෙම රෝගවලට අමතරව පහත රෝග තත්ත්වයන් වලට ද  දොඹ භාවිතා කළ හැකි ඖෂධයකි. 

  • වාතරෝග නසයි. 
  • කැඩුම් බිඳුම් තත්ත්වයන් සඳහා භාවිත කරයි. 
  • කරප්පන් සුව කරයි. 
  • මලබද්ධ තත්ත්වය සුව කරයි. 
  • මුත්‍රා අඩස්සිය සුවයට යෝග්‍ය වේ. 
  • සන්ධි වේදනා සුවපත් කරයි. 
  • සෙම් රෝග නසයි. 
  • පපුවේ අමාරුව සුව කරයි. 
  • හිසේ කැක්කුමට යෝග්‍ය වේ. 
  • යනාදී වශයෙන් ඖෂධීය භාවිතයන් බොහෝමයක් පවතී. 

ඖෂධීය භාවිතයන්ට අමතරව පහත ආකාරයේ භාවිතයන් ද දොඹ ශාකයේ තිබේ. ඒවා වන්නේ, 

  • දැව ආරක්ෂකයක් ලෙස දොඹ තෙල් ආලේප කරනු ලබයි. 
  • නිවාස සැකසීම සඳහා දොඹ දැව යොදා ගනියි. 
  • නැව් හා බෝට්ටු, කරත්ත තට්ටු, සිල්පර කොටන්, කුඹ ගහ, බෝං ලීය, ආයුධවල මිටවල් සකස් කිරීම යනාදියට දොඹ දැව යොදාගනී. 
  • දොඹතෙල් සිඳීමෙන් පසු ඉතුරු වන මුරුවට පොහොර ලෙස භාවිතා කළ හැකිය. 
  • සතුන්ට ඇතිවන රෝග තත්ත්වයන් වලදී ඖෂධයක් ලෙස භාවිත කරයි. ආදී වශයෙන් දොඹ ශාකයේ ප්‍රයෝජන රැසක් ලබාගත හැකිය.