ගුද මාර්ගයේ පිළිකාවක් ඇති බව හඟවන රෝග ලක්ෂණ 15 ක්

health tips

පිළිකා කියන්නේ අද වෙද්දි මුළු ලෝකයම වෙලා ගෙන තියෙන මාරාන්තික රෝගයක්. කුඩා දරුවාගේ පටන් මහලු වියේ පසුවන අය දක්වාම වයස්  භේදයකින් තොරව වැළදෙන්නට හැකි පිළිකාව ගැන ඇසුවත් අපිට ඇතිවන බිය සුළුපටු නැහැ. ඒ නිසාම නිරන්තරයෙන්ම අපි මේ රෝග තත්ත්වයන් පිළිබඳව දැනුවත්ව  සිටිය යුතු වෙනවා. විශේෂයෙන්ම පිළිකා ආදී තත්ත්වයන් වර්ධනය මූලික අවස්ථාවේදී හඳුනා ගැනීම බොහෝදුරට මාරාන්තික තත්ත්වයකට පත්වෙන්නට නොදී පාලනය කරගන්නට අපිට හැකියාව ලැබෙනවා. මිනිස් ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති වෙන්නට පුළුවන් මේ පිළිකා තත්ත්වයන් අතුරින් ගුද මාර්ගයේ පිළිකා පවා මාරාන්තික තත්ත්වයන් ඇති කරනු ලබනවා. නමුත් ලැජජාව නිසා බොහෝ අය එතරම් නොසලකා හරින කතා නොකරන රෝගයක්.  නමුත් පිළිකා හේතුවෙන් සිදුවන මරණවලින් ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වය සුලබයි.

ගුද මාර්ගය නැත්නම් ගුදය කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස. එයින් ජිර්ණය කරගෙන ඉතිරි වන ආහාරවල කොටස් මළපහ විදියට ශරීරයෙන් බැහැර කරනු ලබනවා.බඩවැල අවසානයේ හමුවන ගුදය සාමාන්‍යයෙන් අගලකින් හෝ අගල් එක හමාරක දිගකින් යුක්ත වෙනවා.පිළිකාමය තත්ත්වයන් මුලින්ම වර්ධනය වන්නේ ගුදයේ අභ්‍යන්තර බිත්ති  මත පිහිටා තියෙන mucosa  යන නමින් හඳුන්වන සෛලවල. ගුද මාර්ගය ආශ්‍රිත මෙවැනි පිළිකා තත්ත්වයන් ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ වුණත් ඇතිවෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා බහුල වශයෙන්ම දකින්නට තියෙන්නේ වයස අවුරුදු 50 ඉක්මවූවන් අතර.

ගුද මාර්ගයේ පිළිකා ඇතිවෙන්නට බලපාන හේතු 

ජානමය හේතු විශේෂයෙන්ම අනෙකුත් බොහෝ පිළිකා තත්ත්වයන් වගේම ගුද මාර්ගයේ පිළිකා තත්ත්වයන් ද ප්‍රවෙණිගත සාධක මත ඇතිවෙන්නට පුළුවන්.

ආහාර රටාව සෑම රෝගයකට මුල්වන හේතුවක් වන අපේ ආහාර රටාව මේ සඳහා හේතුවෙනවා. විශේෂයෙන්ම රතු මස්,සත්ත්ව මේද බහුල ආහාර,තන්තු සහිත ආහාර අඩුවෙන් ගැනීම, අධික උෂ්ණත්වයෙන් පිසින ලද Deep Frying Grilling  වගේ ආහාර බහුලව පරිභෝජනය මේ පිළිකා ඇති වෙන්නට බලපානු ලබනවා. ඒ වගේම මස් වල කටු සපාකෑම් යම් යම් ඇට වර්ග ආදිය නිසා ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශ තුවාල වී පිළිකාමය තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.

  • ක්‍රියාශීලි ජීවන රටාවෙන් ඉවත්ව අලසව ගත කරන ජීවන රටාව 
  • බඩවැල ආශ්‍රිත රෝග 
  • අධික තරබාරුව 
  • අධික මත්පැන් පානය 
  • දෙවන වර්ගයේ දියවැඩියාව 

ගුද පිළිකාවේ ලක්ෂණ 

ගුදය කැසීම දිනපතාම ගුදය අවට කැසීම ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. ඇතැම්විට එය ගුද පිළිකා ඇති කරන සෛල විකෘතිවීමක් නිසා ඇතිවන පූර්ව ලක්ෂණයක් විය හැකි නිසාවෙන්.

මලපහ කිරීමේ පුරුද්දේ වෙනසක් ඇතිවීම. විටෙක දින ගණනක් මලබද්ධය තත්ත්වය පැවතීම තවත් විටෙක මළපහ බුරුලෙන් පිටවීම මාරුවෙන් මාරුවට පවතින්නට පුළුවන්.

අක්‍රමවත් මලපහ පිටවීමමෙහිදී වැසිකිලි යාමෙන් පසුව නැවතත් උදරයේ මලපහ තිබෙන බව දැනීම මලපහවල හැඩය පටු ස්වභාවයක් ගැනීම ඇතිවෙන්නට පුළුවන්.

ගුද  මාර්ගයෙන් ලේ හෝ සීදම් පිටවීම මෙහිදූ ගුදයෙන් රුධිරය පිටවීම වගේම මළපහවල රුධිරය තැවරී තිබෙන්නට පුළුවන්. ගුදයෙන් රුධිරය පිටවීම රෝග තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් ඇතිවෙන්නට පුළුවන් නිසා මෙය නොසලකා හැරි යුතු තත්ත්වයක් නම් නොවෙයි.

ගුද මාර්ගය ඉදිමීම ඇතැම්විට ඉදිමීම සමඟ වේදනාවක් ද ඇති වෙන්නට හැකියාව පවතිනවා. 

  • කල් පවතින බඩේ කැක්කුම 
  • කෙටි කාලයක් තුළ බර අඩුවීම 
  • රක්තහීනතාවය 
  • කෑම අරුචිය 
  • අධික නිදිමත 
  • ක්ලාන්ත ගතිය 
  • දුම්පානය 
  • බඩ පුරවා දැමීම 
  • වමනය 
  • කොන්දේ වේදනාව 

රෝගය නීර්ණය කර ගැනීමට නම් මේ රෝග ලක්ෂණවලින් කිහිපයක් ඇති වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගත යුතු වෙනවා. එහිදී ස්කෑන් පරීක්ෂන, බාහිර පරීක්ෂාව වගේම ජෛව පටක පරීක්ෂාවත් සිදු කරනු ලබනවා. නමුත් බොහෝ අය  ගුද මාර්ගයේ පිළිකා තත්ත්වයන් අර්ශස් රෝගය සමඟ පටලවා ගන්නා ආකාරය දකින්නට පුළුවන්. ඒ නිසා මේ සඳහා සුදුසු වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් පරීක්ෂා කරවා ගැනීම. මුල් අවදියේදී මේ රෝගය හඳුනා ගැනීමෙන් බරපතල තත්ත්වයකට පත්වෙන්නට පෙර පැතිරීම අවම කරගෙන එයින් ඇතිවන සංකූලතා අවම කර ගන්නට පුළුවන්.

ගුද පිළිකාවකින් පීඩා විදින්නෙකු නම් විශේෂයෙන්ම පිළිකාව නිසා මිනිස් ශරීරයේ අධික ලෙස ශක්තිය වැය වෙනවා. පිළිකා වර්ධනය වෙද්දි ශරීරයේ පෝෂක සියල්ලම අවශෝෂණය කරගනු ලබනවා. ඒ වගේම නිතර නිතර රුධිරය පිටවීම නිසා ශරීර ශක්තිය දුර්වල වෙනවා.ඒ නිසා පිළිකා රෝගියෙක් තමන්ගේ නිසි පෝශණය පවත්වා ගෙන යාම අනිවාර්යයි. ඒ හැරුණාම කායික වගේම මානසික සහනය තුළින් රෝගය මැඩ පවත්වා ගන්නට තියෙන ඉඩකඩ වැඩි නිසා ඒ පිළිබඳව අවධානය යොමු  කළ යුතුයි.ප්‍රතිකාර ලබා ගන්නා විට නැත්නම් සැත්කමක් සිදු කිරීමේදී වුණත් නිසි පෝශණය වගේම මානසික සුවයත් ඉතාම වැදගත්.

ගුද මාර්ගයේ පිළිකා වළක්වා ගන්නට කළ හැකි දේ මේ ලක්ෂණ පිළිබඳව නිසි අවධානයක් යොමු කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් බොහෝවිට මේ පිළිකා තත්ත්වය වළක්වා ගන්නට වගේම පාලනය කර ගන්නටත් පුළුවන්. ඒ වගේම මේ පිළිකා තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නට අපිට කළ හැකි දේ බොහෝමයි.

ක්‍රියාශීලි දිවි පැවත්ම අලස ලෙස ගෙවන ඒකාකාරී ජීවන රටාවෙන්ම මිදී ක්‍රියාශීලීව ශාරීරික ව්‍යායාම් කටයුතුවලට මූලිකත්වය දෙමින් කටයුතු කිරීම ඉතා වැදගත්.

  • උසට සරිලන බරක් පවත්වා ගෙන යාම 
  • කෘතීම ආහාර, වැඩි වශයෙන් පිරිසිදු කරන ලද ආහාර අඩුවෙන් පරිභෝජනය 
  • ස්වාභාවික එළවලු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම 
  • සත්ත්ව මේද අඩංගු ආහාර අඩුවෙන් ගැනීම 
  • විටමින් A, විටමින් C, විටමින් E අඩංගු ආහාර නිතර ගැනීම 
  • දුම්පානය අත් හැරීම 
  • මත්පැන් භාවිතය අවම කිරීම 

සෑම පිළිකාවක්ම මාරාන්තික විය හැකි නමුත් අපේ ආහාර පුරුදු හා යහපත් දිවි පැවැත්ම පිළිකා මාරයා පරාජය කරන්නට හේතුවන බව මතක තබා ගන්න.