තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් වැඩෙන බව කල්තියා හඳුනා ගත හැකි ලක්ෂණ 16 ක්

health tips

නොසීතු විරූ විදියට අපිට විවිධ ලෙඩරෝග  ඇතිවෙනවා.ඒවා අතුරින් බරපතල රෝග  තත්ත්වයන් අපිට ජීවිතය  පවා අහිමි කරනවා. ඒ අතුරින්  ඕනෑම අවයවයක  හටගන්නා   පිළිකා කියන්නේ  මාරාන්තික  තත්ත්වයක්.  තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකා තත්ත්වයන් අද  සමාජයේ බහුලයි. පුරුෂ  පාර්ශවයටත්  වඩා  කාන්තාවන් අතර  බහුල තයිරොයිඩ් ග්‍රන්ථියේ  පිළිකා  ගැනයි අද අපි  කතා  කරන්නේ .

අන්තරසර්ග  පද්ධතියේ හෝර්මෝන  නිපදවන වැදගත් ග්‍රන්ථියක් තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය. මේ ග්‍රන්ථිය මොළයේ ඇති හයිපොතැලමස සහ පිටියුටරිය කියන ග්‍රන්ථියේ පාලනය යටතේ තමයි පවතින්නේ.බෙල්ලේ ඉදිරිපස උගුරු ඇටයට පහළින් ස්වරාලයට ඉදිරිපසබෙල්ලේ පහළ  කොටසේ ඇති මේ  ග්‍රන්ථිය තයිරොක්සීන් කියන හෝර්මෝනය ශ්‍රාවය කරනු ලබනවා. මේ තයිරොක්සීන් හෝර්මෝනය අපේ ශරීරයේ ලොකු කුඩා සෑම අවයවයකම නිසියාකාර පැවැත්මට සහ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් වැදගත් වෙනවා. තයිරොක්සීන් හෝර්මෝනය අඩුවෙන් ශ්‍රාවය හෝ වැඩිපුර ශ්‍රාවය කියන තත්ත්වයන් දෙකම අපේ ශරීරයේ පැවැත්මට අහිතකර ලෙස බලපාන්නට පුළුවන්. 

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළුවලදී මූලිකවම මේ ග්‍රන්ථියේ ඉදිමීමක්  දකින්නට  ලැබෙනවා. තයිරොක්සීන් හෝර්මෝනය ශ්‍රාවයේ අඩු වැඩිවීම් හෝ  තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ගෙඩි නිසාවෙන් වගේම  පිළිකා නිසාත් මේ ලක්ෂණය දකින්නට  ලැබෙනවා. මේ ලක්ෂණය  හැරුණාම තයිරොයිඩ්  පිළිකාවක්  හඳුනා ගන්නට උපකාරී  වෙන  තවත්  ලක්ෂණ කිහිපයක්ම තියෙනවා.ඒවා  ගැන දැනුවත්වීම මේ රෝගය සුවපත් කරගනන්ට  අතිශයින්ම  වැද්ගත් .

වයස අවුරුදු 30  ඉක්මවූ අය සහ වයස්ගත වූ පුද්ගලයන් අතර මේ පිළිකා බහුලව දකින්නට පුළුවන්. ඒ හැරුණාම ඕනෑම වයසක පසුවන අයෙකුට වගේම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමදෙනෙක්ටම ඇති වෙන්නට පුළුවන්. නමුත් පිරිමින්ට වඩා මේ පිළිකා කාන්තාවන් අතර ඇතිවීමේ  බහුල බවක් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම වසරකට මුළු ලෝකයේම ජනගහණයෙන් ලක්ෂ 3 ක් පමණ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා හඳුනාගන්නට ලැබෙනවා.

මුල සිට හඳුනා ගෙන ප්‍රතිකාර  කිරීමෙන් සුබදායක ප්‍රතිඵලයක්  ලැබෙන මේ පිළිකාව ආකාර  කිහිපයකින්  හඳුනා ගන්නට පුළුවන් .

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා වර්ග 

පැපිලරි තයිරොඩ් පිළිකා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව බහුලව දකින්නට ලැබෙන මේ පිළික විශේෂය බහුලවම වයස අවුරුදු 30-50 අතර පුද්ගලයන් අතර බහුලයි. මෙය ඇතිවන්නේ තයිරොයිඩ් හෝර්මෝන් නිෂ්පාදනය කර ගබඩා කරන ෆොලිකුලර් කියන සෛල මගින්.මෙය සෙමෙන් වර්ධනය වී වසා ගැටිති දක්වාම ගමන් කළ හැකි පිළිකා විශේෂයක්. 

ඇනප්ලාස්ටික් තයිරොයිඩ් පිළිකා ප්‍රතිකාර කිරීමට බොහෝ අපහසු ඉතාමත් වේගයෙන් පැතිරෙන පිළිකා විශේෂයෙක්. ඒ නිසාවෙන් ශරීරයේ අනෙක් කොටස්වලටත් ඉතාමත් වේගයෙන් පැතිරීමේ හැකියාව පවතිනවා.

මෙඩුලරි පිළිකා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත දුර්ලභ පිළිකා විශේෂයක් වන මෙය වසා ගැටිති දක්වා පැතිර යන්නට පුළුවන්.තයිරොයිඩ්  රෝගියෙකුට  පිළිකාවක්  ඇතිවීමේ හැකියාවක්  පවතින්නේ  5% ක වගේ රෝගීන්  ප්‍රමාණයකට නිසා තයිරොයිඩ්  රෝගීන් අනිසි ලෙස බියවෙන්නට වුවමනා නැහැ. නමුත්  මේ  ගැන අවධානයෙන්  සහ  දැනුවත් බවකින් පසුවීම ඔබේ නිරෝගී  බවට  වැදගත්.

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇති වෙන්නට බලපාන හේතු 

  • ජානමය සාධක 
  • විකිරණවලට ඍජුවම නිරාවරණය වීම 
  • ලුණු (අයඩීන් ) ප්‍රමාණයට වඩා හෝ අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම 
  • සීනි සහ පිෂ්ඨය අධික ලෙස ලබා ගැනීම 
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ වෙනත් රෝග 
  • ප්‍රතිශක්තිකරණ  පද්ධතියේ  වෙනස්කම් 
  • පිළිකා  නොවන  ගෙඩි වර්ග (ඇඩිනීමාස් )
  • ඇතැම් පිළිකාවලට  ප්‍රතිකාර කිරීම් 
  • හෝර්මෝන අධික ලෙස නිපදවෙන  රෝග 

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක රෝග ලක්ෂණ 

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකාවක් වර්ධනය වීමේදී මුල් අවධියේදී රෝග ලක්ෂණ කිසිවක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ පිළිකාව වර්ධනය වන විට යම් යම් රෝග ලක්ෂණ හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම වේදනාවක් ද ඇතිවෙන්නට පුළුවන්.

බෙල්ලේ ගැටිත්තක් ඇතිවීම (මෙය බොහෝවිට වේදනාවෙන් තොර ගැටිත්තක් හෝ ගෙඩියක් වීම විශේෂයි. කෙළ  ගිලින විට ඒ  ගෙඩිය ඉහළ පහළ යාමක්  දකින්න පුළුවන්.)

  • තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම නිසා බෙල්ල ඉදිමුණු ස්වභාවයක් දැක ගන්නට ලැබීම
  • බෙල්ල දෙපස ඇති කුද්දැටි විශාල වීම
  • බෙල්ලේ කටු අනිනවා සේ දැනෙන වේදනාව 
  • ගිලීමේ අපහසුතාවය බෙල්ලේ තද ගතිය 
  • හුස්ම ගැනීමේ අපහසුතාවය  
  • උදෑසන උගුර පාදන විට රුධිරය ස්වල්පයක් පැමිණීම  
  • නිතර ඇතිවන කැස්ස 
  • පිළිකාව අභ්‍යන්තරයට වර්ධනය වීමකදී ක්ෂණිකව කටහඩ වෙනස්වීමක් ඇතිවීම

නිශ්චිතව පිළිකාවක් තයිරොයිඩ් ග්‍රන්ථියේ  වර්ධනය වන බව දැන ගන්නට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මගින් හැකියාව ලැබෙනවා. එමගින් ග්‍රන්ථිය ප්‍රමාණාත්මකව විශාලවීමක් ඇත්ද යන්න වගේම යම් ගැටිත්තක් දැක ගත හැකිද එය පිළිකාවක් ද යන්න පරීක්ෂා කර ගන්නට පුළුවන්. 

ඒ හැරුණාම මස් FNAC පරීක්ෂාව මගින් ග්‍රන්ථියේ සෛල කිහිපයක් ස්රින්ජරයක් ආධාරයෙන් ගෙන පිළිකා තත්ත්වයක් ද යන්න පරීක්ෂා කරනු ලබනවා. ඒ අනුව බොහෝවිට මෙවැනි තත්ත්වයදී තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්නට සිදු වෙනවා.

රෝගීයාගේ  පමා නොවීම සහ නිසි වෛද්‍ය  උපදෙස්  ලබාගනිමින් ස්ථුලතාවය  පාලනය කරගෙන විකිරණවලට  වැඩි  වශයෙන් නිරාවරණය නොවී සිටීමෙන් තයිරොයිඩ් ආශ්‍රිත  රෝගීන්ට මේ පිළිකා අවදානම  බොහෝදුරට  අඩුකර ගන්නට පුළුවන්.