හදවත රැක දෙන මිරිස් සතු රෝග පාලනය් කිරීමේ ගුණ 15 ක්

health tips

ආහාරයක් කියන්නේ අපේ කුස පමණක් පුරවන දෙයක් නෙවෙයි. මේ ආහාර ආමාශයට ලැබුණු පසුව අපිට ප්‍රබෝධය සහ සතුට කියන දේ ඇති වෙන්නට ඕන. එවිට තමයි එය හොඳින් ජීර්ණය කරලා එහි පෝෂණ ශරීරයට අවශෝෂණය  කරගෙන අපිව නීරෝගිව තබන්නේ. ඉතින් මිරිස් කියන්නේ ආහාරවල සැර ඇති කරන්නට යොදන දෙයක් වුණත් එය අපේ ශරීරයට අපූරු ගුණදෙන ආහාරයක්.අනාදිමත් කාලයක සිටම අපේ ආහාරවේල් සකස් කිරීමේදී මිරිස් ප්‍රධාන තැනක් ගනු ලබනවා.කටට සැරට ගන්නා ආහාර වේල කුස පිරෙන්නට වගේම හිත පිරෙන්නටත් හේතුවක්. ඉතින් සාම්ප්‍රදායිකව අපි බහුලව භාවිතා කරන මිරිස් සතුව කොතරම් ගුණ සමුදායක් ඇත්ද කියන කාරණය පිළිබඳව ඔබ කෙදිනකවත් සිතා බැලුවාද? . ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ ලෙඩ රෝග බොහොමයකට ගුණදායක දීර්ඝායුෂ ලබා ගන්නට  මිරිස් තුළ සැඟවී තියෙන අපූරු ගුණයන් පිළිබඳවයි.

මේ මිරිස් ලෙස අපි ආහාරයට ගන්නේ කැප්සිකැම් (Capsicum ) කියන කුලයට අයිති ශාකයේ ඵලය.මෙය ලෝකය පුරාම ප්‍රභේද ගණනාවකින් දැක ගන්නට පුළුවන්. ඒ ප්‍රභේදවල සැරත් එක් එක් ප්‍රභේදයෙන් ප්‍රභේදයට වෙනස් වෙනවා. මේ මිරිස් සතු රසායනික ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙහි Capsaicin කියන විශේෂ රසායනික සංඝටකයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ මිරිස් ආහාරයට ගන්නා විට එහි අඩංගු Capsaicin කියන විශේෂ රසායනික සංඝටකය මේ ට්‍රයිජිමිනල් කියන විශේෂ ස්නායුවේ අග්‍ර උද්දීපනය කරනවා.ඒවා Vanilloid Receptors (TRPV) ලෙස හඳුන්වනුවා. ඒවා තාපයට සංවේදී වන  නිසා ඒ සංවේදනයම තමයි ට්‍රයිජිමිනල් ස්නායුව හරහා මොළයට සංවේදනය කරන්නේ. ඒ නිසා අපිට දහදිය දැමීම, ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම,  හෘද ස්පන්දනය වැඩිවීම ආදී සිදුවීම් මේ සමඟම ඇති වෙනවා.

ඉතින් විවිධ වර්ණයෙන්, විවිධ හැඩයෙන්, විවිධ ප්‍රමාණයෙන් අපි ආහාරයට ගන්නා මිරිස් විටමින් C බහුල ආහාරයක්. විටමින්  C යකඩ ශරීරයට අවශෝෂණය කිරීමට බෙහෙවින් වැදගත් වන විටමිනයක්. මෙය බොහෝවිට අපිට ලබා ගන්නට පුළුවන් මිරිස් අමුවෙන් ආහාරයට ගන්නා විට. ඒ හැරුණාම විටමින් B 6, පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම්, යකඩ, ඛනිජ ආදී පෝෂකවලින් පරිපූර්ණ, තන්තු බහුල ආහාරයක් විදියටත් මිරිස් අතිශයින්ම වැදගත් වෙනවා.මිරිස් ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ප්‍රතිලාභ රාශියක්ම ලබා ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම ඖෂධ හෝ ආලේපන වශයෙන් මේ මිරිස් භාවිතයෙන් සකස් කරන ඖෂධ ශරීරයේ වේදනාවන් අඩු කර ගන්නට භාවිතා වෙනවා.

මිරිස් ආහාරයට එක්කර ගැනීමේ වාසි 

  • මුඛයේ උණුසුම රැඳෙන නිසා ආහාර ගත් බව හැඟීමෙන් සතුට ඇති කරයි 
  • හෘද ස්පන්දනය වැඩිවීමෙන් ආහාරය ජීර්ණය වේගවත් කරයි 
  • හදවතේ සෞඛ්‍යමත් බව පවත්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙයි 
  • පිළිකා ඇති කරන්නට හේතුවන සාධක අවම කරමින් ආරක්ෂාව සලසාලයි 
  • ස්ථුලතාවය අඩු කරන්නට උපකාර කරයි 
  • රුධිර පීඩනය යාමනය කරයි 
  • ග්ලූකෝස් යාමනයට උපකාරී වෙයි 

Vanilloid Receptors (TRPV1 ) කියන විශේෂිත රසායනික සංඝටකය මගින් ඇඩිපොනෙක්ටින් කියන විශේෂිත හෝර්මෝනයක් ශ්‍රාවය කරන්නට උපකාරී කරනවා.මේ හෝර්මෝනය අක්මාව තුළ ඉන්සියුලින් පරිවෘත්තීය  කෙරෙහි උපකාර කරනවා.

  • ලිපිඩ යාමනය කරන නිසා අක්මාවේ තෙල් තැන්පත්වීම පාලනයට උදව් කරයි 
  • විශබීජ නැසීමේ හැකියාවෙන් සමන්විතයි 
  • ප්‍රදාහ තත්ත්වයන් අඩු කරයි 
  • ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයන් සමනය කරයි 
  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි 
  • අස්ථි සහ දත් නීරෝගීව සහ ශක්තිමත්ව තබා ගන්නට උපකාරී වෙයි 
  • දීර්ඝායුෂ ලබා ගැනීමට උපකාරී වෙයි 

මිරිස් පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වෙන්නට පටන් ගන්නේ මේ මිරිස් සතු විශේෂ ගුණය නිසාවෙන්. ඒ සඳහා මූලික වුණු සමීක්ෂණ දෙකක් පිළිබඳව අපි අවධානය යොමු කරමු.

පළමු සමීක්ෂණය 2015 දී British Medical Journal මගින් සිදු කළ පරීක්ෂණය සඳහා 50 000 ගේ දත්ත භාවිතා කර තියෙනවා. ඒ දත්ත ලබාගෙන ඇත්තේ china kadoorie bio Bank මගින්.මේ සමීක්ෂණය මගින් මිරිස් අනුභවයෙන් මිනිසෙකුගේ ආයු  කාලය 14% කින් වැඩි වන බව තහවුරු කරගෙන තියෙනවා.

දෙවන සමීක්ෂණය 2017 දී American – National health Nutrition and Examination survey යටතේ සිදුකළ ඒ සමීක්ෂණය සඳහා මිනිසුන් 16 000ක් ප්‍රමාණයක් සහභාගී කරවා ගෙන තියෙනවා. මේ සමීක්ෂණයෙන් තහවුරු කරගෙන ඇත්තේ මිරිස් ආහාරයට ගැනීමෙන් මිනිසුන්ගේ ආයු කාලය 12% කින් වර්ධනය  ගන්නට හැකිවන බවයි . 

නමුත් මේ පර්යේෂණ දෙකේම යම්යම් අඩුපාඩු සහ දත්තවල දුර්වලතා ඇති නිසා මේ සමීක්ෂණ දෙකම විවේචනයට  වුණා. නමුත් ඉන්පසුව මිරිස් ආහාරයට ගැනීමෙන් මිනිසාගේ ආයූ කාලය වැඩිවීම සම්බන්ධව තවත් බොහෝ පරීක්ෂණය සිදු කෙරෙන්නට පටන් ගත්තා. සමීක්ෂණ වාර්තා කොහොමවුණත් මේ මිරිස් ආහාරයට ගැනීමේ වාසිදායක තත්ත්වයන් පිළිබඳව විමසා බැලීමේදී සහ මිරිස්වල ඉතිහාසය සහ අතීත ජනතාවගේ ආයු කාලය දෙස බැලුවාම මේ මිරිස් පුද්ගලයෙකුගේ ආයු කාලය වැඩිකරගන්නට බෙහෙවින් උදව් වන බව නම් සත්‍යයක්.

ඉතින් අද බොහෝදෙනා අමිල පිත්ත රෝගය, ආමාශගත දැවිල්ල ආදී තත්ත්වයන් ඇතිවන බව කියමින් මිරිස් පරිභෝජනය අවම කරන්නට උපදෙස් ලබාදෙනවා. දරුවන්ට මිරිස් ආහාරයට එකතු නොකරන්නටත් බොහෝ මව්වරුන්  උනන්දු වෙනවා. නමුත් ඕනෑම ආහාරයක් පමණ ඉක්මවා අධික ලෙස පරිභෝජනයෙන් යම් යම් අපහසුතා වගේම රෝග ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා නියමිත ප්‍රමාණයට අපේ ශරීරයට ඒවා එකතු කර ගන්නට වගබලා යුතුයි. ඉතින් මිරිස් කියන්නේ අපේ ආහාරවලට එකතු කළ යුතු පෝෂණ ගුණයන් රාශියකින් සමන්විත රසකාරයක්. ඒ නිසා මිරිස් කියන්නේ ලොකු පොඩි සැමදෙනාම ගත යුතු ආහාරයක්.