කකුල් නොකපා දියවැඩියාව සුව කිරීමේ හැකියාවක් ඇති කහට ගෙඩි සතු ගුණ 19 ක්

health tips

අද වෙද්දී දරුවන්ගේ වගේම දරුවන්ගේ පෝෂණ මට්ටම ගැන දෙවරක් සිතන්නට සිද්ධ වෙලා තියෙනවා . ඔබේ දරුවන් මන්දපෝෂණයෙන් ආරක්ෂා කරගන්නට ගුණදායක ආහාර පාන ලබා දෙන්නට වැඩිහිටියන් විදිහට ඔබ බරපතල ගැටළුවකට මුහුණ දීල ඇති දරා ගන්නට බැරි ජීවන බරත් එක්ක. 

කොහොම වුණත් එදා සාගතය ඉවසාගන්න බැරි අවස්ථාවලදී වැඩිහිටි උදවිය  දරුවන්ගේ කුසගිනි නිවන්නට තම්බා  ලුණු සමඟ ලබාදුන් අපූරු ආහාරයක් තමයි කහට ගෙඩි.  අද අපිට මේවා නිකම්ම නිකම් කැළෑ ගෙඩි  විතරක් වෙච්ච නිසා වෙන්න ඇති පෝෂණ ඌණතා ඇතුළු නොයෙකුත් රෝග ගැන අපිට වැඩි වශයෙන් කතා කරන්නට සිදුව තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න අපි අද කියන්න යන්නේ ලෙඩ රෝග බොහොමයකටම ගුණදායක රසවත් ආහාරයක් වටිනා කියන ඖෂධයක් වන කහට ගෙඩි  ගැන.

 ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සහ තැනිතලා ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව හොඳින්ම වැවෙන මේ ශාකය දැඩි නියඟ කාලයන්වලටත් හොඳින් ඔරොත්තු දෙනවා.  මේ ගසේ ඝනකම් පොත්ත අළු දුඹුරු පාටකින් යුක්තයි. තරමක් විශාල පත්‍ර සෙන්ටි මීටර් තිහක් දක්වා වර්ධනය පෙන්වනවා. මේ අඳුරු කොළ පැහැති පත්‍ර තලය දිලිසෙන සුළුයි. මේවායේ විශාල මල් පොකුරු වශයෙන් තමයි හටගන්නේ. මල් පිපෙන කාලයේදී කොළ හැලිලා යනවා.

 ගැමියන් මේ මල් පිපෙන අවස්ථාවේ පවතින ළපටි කහට ගෙඩි රසවත් ව්‍යංජනයක් සහ මැල්ලුමක් විදිහට සකස් කර ආහාරයට ගන්නවා. මේ කහට ගෙඩි රසවත් ආහාරයක්. ඒ  විතරක් නෙවෙයි අපේ මුතුන් මිත්තන් මේවායේ කොළ, පොතු, ගෙඩි විතරක් නෙවෙයි අරටුවත් ආහාර ඖෂධ විදිහට වගේම එදිනෙදා කටයුතු සඳහාත් භාවිතා කළා . ඒ වගේම  ගින්නට ඔරොත්තු දෙන ශාකයක් වන නිසා තුවක්කුවල බඳ සෑදීමට මේ කහට ලී භාවිතා කර තියෙනවා. ඉතින් මේ අපූරු කැළෑ ආහාරය අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේ සහ අන්දමන් දූපත්වලත් දකින්නට ලැබෙනවා.  

විශේෂයෙන්ම කාන්තා රෝග සඳහාත්  දරු ප්‍රසූතියේදීත්  වටිනා කියන ප්‍රයෝජන රාශියක් සඳහා මේ ශාකය උදව් වෙනවා. මොකද ඈත අතීතයේ අපේ රටේ වින්නඹු චිකිත්සාවක් තිබුණා. එදා දරුවන් ප්‍රසූත කරන්නට අද වගේ රෝහල් තිබුණේ නැහැ. ඉතින් මේ කර්තව්‍යයේ දී මේ කහට ශාකය නැතුවම බැරි බෙහෙත් ගහක් විදිහට වැදගත් වුණා.

 දරු ප්‍රසූතියෙන් පසුව මව ස්නානය කරවන ලද්දේ කහට ගහේ පොතු තම්බා ගත් වතුරෙන්. ඒ වගේම දරුවන් ලැබීමේදී තුවාල වුණු ස්ථානවල වේදනාව නැති  කරල ලිහිල් වුණ යෝනිය  නැවත යථා තත්ත්වයට පත් කළේ සහ ඒ සමඟම ඇතිවන පැසවීම හා රුධිරය ගැලීම් ඒ අවට වන සංකූලතාවයන් දුරු කළේ ද මේ කහට ශාකයේ පොතු තම්බා ගත් ජලය මගින්මයි . ඒ වගේම මේ කහට මල් තම්බා ගත් වතුර දරුවන් වැදූ මවට ශක්තිජනක පානයක් විදිහට ලබා දෙන්නත් එකල අපේ මුතුන් මිත්තන් කටයුතු කළා. 

මේ ශාකයේ ඖෂධීය වටිනාකම හැරුණාම කහට ගසේ ගෙඩි ව්‍යංඡනය හරිම රසයි හරිම ගුණයි . හොඳින් වර්ධනය වුණු කහට ගෙඩියක් ලොකු පේර ගෙඩියක ප්‍රමාණය ගන්නවා. මේ  කහට ගෙඩි ව්‍යංජනය ශ්‍රී ලංකාවට ආවේණික ආහාරයක් විදිහට සැලකුවත් විශේෂයෙන්ම සබරගමුවට ආවේණික ආහාරයක් යැයි කීම වඩාත් සුදුසුයි.

කහට ගෙඩි තරමක් තිත්තට හුරු කහට ගතියකින් යුක්ත නිසා බොහෝ දෙනෙක් ව්‍යංජනය සකසන්නට පෙර ගොරකා සමඟ කහට ගෙඩි තම්බා දිය හැර ගන්නවා. නමුත් පිසීමට පෙර මෙසේ තම්බා ගැනීමෙන් එහි රසයට සුවඳට වගේම ගුණයටත් යම් හානියක් වෙන බව කියන්නට අවශ්‍යයි.  

කහට ගෙඩි වසරේ එක්තරා කාලයකට පමණක් හටගන්නා නිසා එදිනෙදා අපේ ආහාරයට එකතු කර ගත  හැකි ආහාරයක් නෙවෙයි. ඒ වගේම තවත් අය මේවා ආහාරයට ගන්නා බව දැනුවත් නොවීමත් මේ වගේ ආහාර අප අතරින් ඈත්වෙලා යන්න හේතුවක් වී තියෙනවා.

 ඒ වගේම තමයි කහට ගෙඩි ඇඹුල රසට පිස ගන්නා  එක බොහෝ අපහසු කාර්යයක්. ඒ සඳහා විශේෂ දැනුමක් තිබිය යුතු බව තමයි අපේ ගැමියන් නම් සඳහන් කරන්නේ. 

කහට ගෙඩි ඉතා ලපටි අවධියේ දී කඩා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ කහට ගෙඩියේ උඩ ඇති මල් කොටස අතින් ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ ලැබෙන කොටසේ දෙපසම කපා ඉවත් කළ යුතුයි. එනිසා සාමාන්‍යයෙන් කහට ගෙඩි කිලෝ එකක් සුද්ද කිරීමෙන් පසුව ව්‍යංජනය සකසා ගන්නට ඉතිරිවෙන්නෙ ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක්. මේ කහට ගෙඩි තද ගතියකින් යුක්ත නිසා මේ ව්‍යංජනය සකස් කර ගැනීමේදී තරමක  වේලාවක් ලිප තබා තම්බා ගන්නට සිදු වෙනවා .

 කහට ගෙඩි ව්‍යාංජනයක් හදාගන්නෙ මෙහෙමයි.

  •  කහට ගෙඩි ග්‍රෑම් 250 
  •  රතු ළූණු  ගෙඩි 5 
  • අමුමිරිස් කරල් 2
  •  රම්පෙ 
  • කරපිංචා
  • අඹරාගත්  ඉඟුරු සුදුළූණු  තේ හැන්දක්
  •  ගොරකා කැබලි හතරක්
  •  කරදමුංගු දෙකක්
  •  කුරුඳු කැබැල්ලක්
  •  මිරිස් කුඩු තේ හැඳි දෙකක්
  •  බැදපු තුනපහ කුඩු මේස හැදි දෙකක්
  •  පොල් තෙල් මේස හැඳි තුනක්
  •  අබ තේ හැන්දක්
  •  මිටි කිරි සහ දිය කිරි
  •  අවශ්‍ය පමණට ලුණු සහ පොල් තෙල් 

ඉහත  සඳහන් කළ ආකාරයට කහට ගෙඩි සුද්ද කරගෙන  ඉක්මනින් දෙහි මිශ්‍ර වතුර භාජනයකට දමාගන්න. මොකද මේවායේ කහට  තවදුරටත් පිපුණොත් එයින් ගෙඩි තවත් තිත්ත වෙන්නට පුළුවන්. ඉන්පසු හොඳින් සෝදා ගෙන වතුර බේරෙන්නට තබන්න.

පසුව මැටි වළඳක් ලිපේ තබා තෙල් එකතු කර ගන්න. ඒ තෙල් රත් වෙද්දි අබ ඇට එකතු කරගෙන ඒවා  පුපුරන විට කරපිංචා, රම්පෙ, කරාබු නැටි, කුරුඳු, ඉඟුරු, සුදු ළූණු පේස්ට්, රතුලූනු, අමුමිරිස් තලාගත් එනසාල් ආදී සියල්ල එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න.

 මේ සියල්ල හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ මිරිස් කුඩු එකතු කර තව විනාඩි භාගයක් පමණ තෙම්පරාදු කර ගෙන බැදපු තුනපහ කුඩු සහ ගොරකා ලුණු ආදිය සමඟ කහට ගෙඩි ටික එකතු කරන්න. ඉන්පසු විනාඩි 40 ක් පමණ දියකිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කර තැම්බෙන්නට හරින්න. ඉන්පසු මිටිකිරි එකතු කර තවත් විනාඩි 5ක් 10 ක් තබා ලිපෙන් ඉවත් කරගන්න .

 මේ කහට ගෙඩි ව්‍යංජනය බත් එක්ක, ඉඳි ආප්ප එක්ක, රොටී පාන් වගේ දේවල් එක්කත් රසවිඳින්නට ඔයාට පුළුවන්. ඉතින් මේ කහට ගෙඩි ව්‍යංජනය රසවත්ව සකස් කර ගත්තොත් හැමදාටම මේවා ආහාරයට ගන්නට ඇත්නම් කියලා ඔබට හිතෙයි. 

 කහට ගෙඩි ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් පහත ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්

  • හදවතට හිතකර නිසා හදවත් රෝගවලින් රැකවරණය ලබා දෙයි. 
  • ආමාශයේ හටගන්නා තුවාල සුවකර අම්ලපිත්ත රෝගීන්ට සහනය සලසයි.
  • දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.
  • පරම රෝගවලට ගුණදායකයි
  • රක්තහීනතාවයට ගුණදායකයි .
  • වාත රෝගවලින් ආරක්ෂාව සලසනවා. 
  • සම පැහැපත් කර නිරෝගී සමක් උරුම කරදෙයි. 
  • ලේ අර්ශස් රෝගයට ගුණදායකයි.
  • පිළිකා රෝගවලින් ආරක්ෂාව සලසයි.
  • කෘෂ ශරීර ඇති අයට ගුණදායකයි. 
  • ශරීර ශක්තිය වර්ධනය කරයි. 

රෝග සඳහා කහට ගෙඩි භාවිතා කරන හැටි 

  • දියවැඩියා රෝගීන්ගේ සුව නොවන  ඔඩු දුවන  තුවාල සඳහා දියවැඩියා රෝගීය නිසා සුව නොවන තුවාල තත්ත්වයන් සඳහා එදා අතීතයේදී බහුලව භාවිතා කරපු මේ ශාකය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ සඳහා කහට ගසේ පොතු හා දළු තම්බා ගත් වතුරෙන් තුවාලය සේදීම ප්‍රමාණවත්. 
  • සුව නොවන කැස්ස සඳහා මේ සඳහා කහට ගසේ මල් භාවිතයට ගැනෙනවා. කහට මල් පොතු කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මී පැණි සමග පානය සුදුසුයි.
  • චර්ම රෝග සඳහා කහට පොතු තම්බා ගත් වතුරෙන් ඇඟ සේදීමෙන් සමේ රළු ගතිය නැති කරගන්නට වගේම විවිධ චර්ම රෝගවලින් ආරක්ෂාවීමටත් ඉතාම වැදගත්.
  • කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදර සහ රක්ත ප්‍රදර රෝග සඳහා කහට ගසේ පොතු චූර්ණය මදටිය 6 – 12 අතර ප්‍රමාණයක් ගිතෙල් මී පැනි සමග ලබාදීමෙන් ගුණ ලැබෙනවා. 
  • රුධිර ගලනය නැවැත්වීම සඳහා හදිසි අනතුරුවලදී රුධිරය ගලන තුවාලයකට කහට ගසේ දළු කොටා තුවාලය මත තැබීමෙන් ඉතා ඉක්මනින් රුධිර වහනය නතර කර ගන්නට පුළුවන්.
  • යටිපතුල් තුවාල වූ විට මේ සඳහා කහට පොතු තම්බා බැඳීම සිදු කරනවා. 
  • දියවැඩියා රෝගය සඳහා කහට ගසේ කොළ සහ පොතු තම්බා ගත් ජලය පානය  කිරීම සුදුසුයි. 
  • දත් මුල් දියවීම සඳහා කහට පොතු තම්බා ගත් ජලයෙන් මුඛය සේදීමෙන් මේ තත්ත්වය සුව කරගන්නට පුළුවන්.
  • දුර්වල ශරීරයක් ඇති අයට සහ වැටීම් තැළීම් නිසා තෙහෙට්ටුවට පත් දරුවන් සඳහා කහට ගසේ මල් තම්බා සීනි දමා පානය කිරීමෙන් සහනය සලසා ගන්න  පුළුවන්.

වකුගඩු රෝගවලින් පෙළෙන අයට සහ මුත්‍රා දැවිල්ල ආදී රෝග තත්ත්වයන් ඇති අයට එතරම් හිතකර නොවන නිසා  එවැනි අය මේ ශාකය ඖෂධයක් වශයෙන් හෝ  ආහාරයක් වශයෙන් භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.