අතේ හිරිවැටීම සුව කරන සරල පිළියම් 6 ක්

health tips

සාමාන්‍යයෙන් එක් ඉරියව්වකින් වැඩි වේලාවකින් සිටීමෙන් පසුව හෝ නින්දේදී අතක් යට වී තිබුණොත් හිරිවැටීමක් ඇති වෙනවා. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී දෑත් හිරිවැටීම හෝ යම් වැඩ කටයුත්තක් කිරීමට නොහැකිව දෑත් හා ඇඟිලි හිරිවැටීම ගණන් නොගෙන සිටීම නම් නුවණට හුරු නැහැ. ස්ත්‍රී  පුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙක්ට මේ දෑත් හිරිවැටීම ඇති වෙන්නට හැකියාව තිබුණත් වැඩි වශයෙන් ඒ තත්ත්වය මැදි වයසේ පුද්ගලයන් අතර දකින්නට පුළුවන්. එදිනෙදා කටයුතු කරගැනීමට බාධා පමුණුවන මේ තත්ත්වය වැඩි වශයෙන් කාන්තාවන් අතර දකින්නට පුළුවන්. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ අත් හිරිවැටීම සහ එය වළක්වා ගන්නට නිවසේදීම අපිට කළ හැකි ප්‍රතිකාර මොනවාද කියන කාරණාව පිළිබඳවයි.

ආයුර්වේදය තුළ වාත රෝගයක් ලෙස සලකන බටහිර වෛද්‍ය ක්‍රමය තුළ carpal tunnel syndrome නමින් හඳුන්වන මේ රෝගය මැණික් කටුව අස්ථි ප්‍රදේශයෙන් ගමන් කරන ස්නායුව හිර කිරීමෙන් පීඩාවට ලක්වීමෙන් හට ගන්නා තත්ත්වයක්. විශේෂයෙන්ම මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල යන ඇඟිලි තුනේ ක්‍රියාකාරිත්වයට එමගින් බාධා ඇති වෙනවා. එහි මූලිකව ඇතිවෙන ලක්ෂණය තමයි හිරිය කියන්නේ. මුල්කාලීනව මේ හිරි වැටීමට ප්‍රතිකාර නොකර සිටීමෙන්  අත්ලේ මාංශ පේශීවල ක්‍රියාකාරිත්වයට අඩපණ වෙනවා. එය එක්තරා විදියක භයානක තත්ත්වයක්.

අතේ හිරිය ඇති වෙන්නට බලපාන හේතු 

  • ස්ථුලතාවය ස්ථුලතාවය නිසා ස්නායු ගමන් මාර්ගය අවට පටකවල මේද තැන්පත්වීමෙන් ස්නායුව මත යම් තෙරපීමක් ඇතිවෙන්නට පුළුවන්. ඒ හේතුව මත මැණික් කටුව අස්ථි ප්‍රදේශයෙන් ගමන් කරන ස්නායුව හිර කිරීමෙන් දෑත් හිරිවැටෙන්නට පුළුවන්.
  • නිතර පරිඝනයක් භාවිතා කිරීම 
  • නිතර ලිවීම 
  • අධිකව දෑත් වෙහෙසවන ආකාරයේ රැකියාවල නිරත වීම (රෙදී සේදීම, පොල් මිරිකීම ආදී කටයුතුවල අධික ලෙස නිරත වීම) 
  • ගර්භනී අවස්ථාවලදී හෝර්මෝනවල තත්ත්වය වෙනස්වීම 
  • වැටීම් කැඩීම් ආදී අනතුරු 
  • කශේරුකාවේ ඉහල කොටසේ කැඩීම හා ස්නායු තෙරපීම් 
  • දියවැඩියා රෝගී තත්ත්වය 
  • පිළිකා හා  ගෙඩි 
  • තයිරොක්සීන් හෝමෝනවල වෙනස්කම් 
  • සන්ධිගත වාත තත්ත්වයන් ආදියට නිසි ලෙස ප්‍රතිකාර නොගැනීම 
  • දැඩි ලෙස කම්පන ඇතිවන උපකරණ භාවිතා කිරීම 

රෝග ලක්ෂණ 

  • අත මිට මොළවා යමක් කිරීමේදී වේදනාව හා හිරිය ඇතිවීම (පොල් මිරිකීම ආදියේදී )
  • එකදිගට ලිවීමේ අපහසුව 
  • අතේ ඇඟිලි වරින් වර නලියන ස්වභාවයක් ඇතිවීම 
  • අතේ අප්‍රාණික ස්වභාවයක් දැනීම 

එකවර අත හිරිවැටීම නිසා අතේ ඇති  උපකරණ බිම වැටීම. බයිසිකල් ත්‍රී රෝද රථ ආදිය එකදිගට පදවා ගැනීමට යාමේ අපහසුව ඇති වෙනවා.

අත්වල හිරිය සහ වේදනාව ඇතිවීම වළක්වා ගැනීමට පිලිපැදිය යුතු උපදෙස්  

  • වැඩ කටයුතු කරන විට දෑත්වලට විවේකයක් ලබා දෙන්න. විශේෂයෙන්ම සෑම පැය 2-3 ට වරක්ම දෑත්  සඳහා විවේකයක් ලබා දිය යුතු වෙනවා.
  • දෑත්වලට ව්‍යායාම් ලබාදීම ඒ අතරේ දෑත්වල මැණික් කටු සන්ධිය චලනය කිරීම මගින් මැණික් කටුවට ව්‍යායාම් ලබාදීම වගේම යතුරු පුවරුවක්  සමඟ වැඩ කරන විට අත් නැමීමකින් තොරව තබා ගෙන වැඩ කරන්නටත් වග බලා ගන්න.
  • නිවැරදි ඉරියව්වෙන් වාඩි වීම වැරදි ඉරියව්වකින් වාඩිවීම නිසා උරහිස් ආශ්‍රිත ස්නායුවලට හානිවෙන්නට පුළුවන්.  ඒ තත්ත්වය අතට වගේම මැණික් කටුවටත් අයහපත් ආකාරයට බලපානු ලබනවා.
  • මැණික් කටුව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා wrist splint වැනි මෙවලමක් පැළදීම 

අතේ හිරිය ආශ්‍රිත ගැටළුව සඳහා සරල ප්‍රතිකාර 

  • මැණික් කටුව ප්‍රදේශය අයිස්වලින් තැවීම විශේෂයෙන්ම වැඩ කටයුතු කිරීම අවසන් කිරීමෙන් පසුව අයිස් ඇට කිහිපයක් ගෙන රෙදි කෑල්ලකින් ඔතා විනාඩි 5-10 ක් පමණ මැණික් කටුව හා ඒ වටා මාංශපේශී තවන්න.එය වේදනාව අඩු කරගෙන සහනයක් ලබා ගන්නට උපකාරී වෙනවා.
  • නික කොළ බෙලි කොළ, සුදු ළූණු  රතු ළූණු, එඩරු කොළ අමු ඉඟුරු ආදී සියල්ල එකට කොටා ගෙන පොට්ටනියක් ලෙස සකසා ගන්න. එය හුමාලයෙන් තම්බා වාත තෙලක් ආලේප කිරීමෙන් පසුව අත්ල ආශ්‍රිත වේදනාව සහ හිරිය ඇති ප්‍රදේශය තවා ගන්න.
  • මුරුංග පොතු, කුරුඳු කොළ,නික කොළ, තෙල් එරඩු කොළ, සුදු ළූණු එකට කොටා පොට්ටනි බැද හුමාලයෙන් තම්බා තැවීම 
  • දෙහි කොළ, දෙහි පොතු කොටා පොට්ටනි ලෙස සකස් කර වණ්ඩුවේ තම්බා තැවීම 
  • කුරුඳු පොතු, දේවදාර හා බැබිල මුල් තැම්බූ ජලය මඳ උණුසුම් මට්ටමින් ගෙන අත්ල ඒ ජලයේ ගිල්වා තබා ගැනීම 
  • ඒ හැරුණාම ස්නායු සෞඛ්‍යා යහපත්ව පවත්වා ගන්නට උපකාරී වෙන විටමින් බී බහුල කජු, රට කජු, සෝයා, ධාන්‍ය වර්ග, කුරක්කන්, බණ්ඩක්කා, කොළ පැහැ එළවලු සහ කහ පැහැති එළවලු වර්ග ආහාරයට එකතු කර ගන්නටත් මතක තබා ගන්න.

මේ සරල ප්‍රතිකර්ම මගින් යම් සහනයක් ලැබී පසුව  නැවත නැවත දෑත හිරිවැටීම් තත්ත්වයන් ඇති වෙන්නේ නම් එය සුළුවට ගෙන ප්‍රතිකාර ලබා නොගෙන සිටීම සුදුසු නැහැ. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ඒ  සඳහා සුළු  ශල්‍ය කර්මයක් කරන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ විවිධ තෙල් වර්ග ආලේප කර සම්බාහනය, තැවීම් ආදිය මගින් මේ රෝග තත්ත්වය නිට්ටාවට සුවකර ගන්නට හැකියාව පවතිනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් ඔබත් පීඩා විදින අයෙක් නම් එය සුළුවට නොගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.