ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යන රෝග අතුරින් පිළිකා කියන්නේ දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කර ඇති මාරාන්තික රෝගයක්. පිළිකා රෝගය සදහා මේ වන විටත් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති වීමත්, එය හදුනා ගන්නට ඉතා අපහසු වීමත් නිසා පිළිකා රෝගයෙන් මරණයට පත් වෙන පිරිස් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා කිසිදු වයද්දී වයස් භේදයකින් තොරව මේ රෝගය වැළඳෙන නිසා ඒ සම්බන්ධව අප තුල පවතින අවබෝධය දැනුවත් බව ජීවිතය ආරක්ෂා කරගන්නට අතිශයින්ම වැදගත් වෙනවා.
විශේෂයෙන්ම පිළිකාවක් කල් තියා හඳුනා නොගැනීමේ අවාසනාවන්ත තත්ත්වය නිසා ජීවිතය බේරා ගන්නට හැකියාව තියෙන රෝගියෙක්ට පවා මරණය හිමි වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාවෙන් අද අපි ඔබ සමඟ කතා කරන්නේ පිළිකාවලට පොදු ලක්ෂණ කිහිපයක් පිළිබඳව.
පිළිකාවක් කියන්නේ අපේ ශරීරයේ සෛලවල ඇති වන රෝගී තත්ත්වයක්. අපේ ශරීරයේ විවිධාකාර සෛල පවතිනවා. ඒ ඒ සෛල අනුව විවිධ පිළිකා සෛල හටගනු ලබනවා. පිලිකාවල විශේෂ ලක්ෂණ වෙන්නේ ඒ පිළිකා සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම සහ ඒවා අසාමාන්‍ය වීමත් කියන කාරණා දෙක. මෙහිදී සෛල බෙදීම අනවශ්‍ය විදිහට සිදුවීවෙනවා. ඒ නිසාම පිළිකා ඉක්මනින් ගුණනය වෙනවා. පිළිකා සෛල සාමාන්‍ය සෛල තල්ලුකර ඒවා අතරට ගොස් සාමාන්‍ය සෛල සහ පටක ආක්‍රමණය කර ඒවා විනාශ කර දමනවා.
මේ පිළිකා කල්තියා හඳුනා නොගත්තොත් ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට ඉතා ඉක්මනින් පැතිර යාමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම සමහර පිළිකා සෛල ආසන්නයේ ඇති වසා නාල වලට ගමන් කරන අතර තවත් පිළිකා සෛල ආසන්නයේ ඇති කුඩා රුධිරවාහිනී හෙවත් රුධිර කේශ කේෂනාලිකා වලට ගමන් කරනවා. ඒවා රුධිරයත් සමග ශරීරයේ අනිත් කොටස්වලට ගමන් කිරීමෙන් පිළිකාව ශරීරය පුරාම පටක ආක්‍රමණය කරමින් විනාශ කරමින් ඉතා ඉක්මනින් පැතිර යනවා. පිළිකා සෛල ඇතිවීම් සඳහා අපේ ජීවන රටාවේ වැරදි සහ ආහාර රටාවේ වැරදි මූලික හේතු වෙනවා.
පිළිකා ඇති ඇතිවීමට බලපාන හේතු
- අධික ලෙස දුම්කොළ භාවිතය
- අධිකික ලෙස මත් ද්‍රව්‍ය භාවිතය
- ලී කුඩු, ඇස්බැස්ටර්ස්, ඩයි ආදි ද්‍රව්‍ය සමඟ ගැටෙන රැකියා කටයුතු
- පරිරිසර දූෂණය ආශ්‍රිත හේතු
- ක්ෂණික සහ කෘතිම ආහාර රටාව
- දීර්ගකාලීන ආසාදන තත්ත්ව
- ප්‍රවෙණිගත තත්ත්වයන්
- ප්‍රතිශක්ති ඌණතා

දැනට හඳුනාගෙන ඇති ආකාරයට පිළිකා වර්ග සීයකට වඩා පවතිනවා. ඒවා වර්ග කර තියෙන්නෙ ඒ පිළිකාව ආරම්භ වෙන සෛල වර්ගය අනුව .අද වෙද්දි මරණ බොහොමයකට වග කියන පිළිකා වර්ග බොහොමයක්ම තියෙනවා. පිළිකා භයානක රෝගයක් බව සැබෑ නමුත් එයට අසීමාන්තිකව බියට පත් වී මරණය නියත බව සිතමින් සිටීම පිළිකාව සුව කරන්නට තියෙන ඉඩකඩ බොහෝ දුරට අඩු කරනවා නමුත් පිළිකාවක් කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගත්තොත් එය සහමුලින්ම සුව කරගන්නට හැකියාව පවතිනවා. ඒ නිසා පිළිකාවක් හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ පිළිබඳව දැනුවත්ව සිටීම ඔබට අතිශයින්ම වැදග්ත් වේවි.
පිළිකා වල පොදු ලක්ෂණ
- ශරීරය දුර්වල වීම හෝ ඉක්මනින් විඩාවට පත්වෙන වීම
- බොහෝ කල් පවතින කැස්ස හෝ කටහඬ වෙනස්ව වීම
- යෝනි මාර්ගයේ අක්‍රමවත් ලේ වහනයක් හෝ ශ්‍රාව වහනය වීමක්
- මලමුත්‍ර පිටකිරීමේ වෙනසක්
- දේහ බර අසාමාන්‍ය ලෙස අඩුවීම
- ගැටයක්, ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ ශීඝ්‍ර වර්ධනයක්
- බොහෝ කල් පවතින අජීර්ණ තත්ත්වයක්
ඒ හැරුණාම එක් එක් පිළිකාවලට විශේෂ ලක්ෂණත් පවතිනවා.
ගර්භාෂ පිලිකා
- ඔසප්වීමේදී අධික වේදනාවක් ඇතිවීම
- ආර්තවය සිදුවන කාල සීමාව අතරමැද නැවත ඔසප් වීම
ඩිම්බ කෝෂ පිළිකා
- උදරය ඉදිමීම
- අසාමාන්‍ය ලෙස මහත් වීම
- කුසගිනි ඇති නොවීම
- ආහාර රුචිය නැතිවීම
චර්ම පිළිකා
- සුව නොවන තුවාල
- සම මතුපිට නොනවත්වා රුධිරය ගලනයක් ඇතිවීම
- කුඩා ගෙඩි හටගැනීම
- නිය යට දුබුරු හෝ කළු පැහැති තිත් හට ගැනීම
අග්න්‍යාශයේ ප් පිළිකා
- එවැනි අවස්ථාවක බට කෝපි අප්‍රිය වීම සිදු වෙන්නට පුළුවන්.
ලියුකේමියාව
- පහසුවෙන් ආසාදනයට ගොදුරු වීම
- නිරන්තරයෙන් උණ වැළඳීම
උගුරේ පිලිකා
- ගිලීමේ අපහසුතා ඇතිවීම
ආමාශ පිළිකා
- ආහාර අරුචිය සහ ගිලීමේ අපහසුතා
- බඩ පුරව දැමීම, බඩ දැවිල්ල හා ආහාර ගෙන ස්වල්ප වේලාවකින් වමනය පිටවීම
- ඔක්කාරය
- රක්තහීනතාවය
- ආහාර ගත් පසු නැවත ඒවා උගුරට ඒම
- කුසගිනි නොදැනීම
- මල කළුපැහැයෙන් පිටවීම
පෙනහලු පිලිකා
- හුස්ම ගැනීමේ අපහසුතා
- මුහුණ රතු වීම සහ ඉදිමීම
වසා වාහි පිලිකා
- බෙල්ලේ, ඉකිලිවල සහ අත් යට ගෙඩි හටගැනීම
මහ බඩවැලේ පිළිකා

- මලපහ සමඟ රුධිරය පිටවීම
පියයුරු පිළිකා
- පපු ප්‍රදේශයේ ඉදිමීම් වේදනාව
- කුඩා ගැටිති හසුවීම තන් පුඩු පැතලි වීම
මොළයේ පිළිකා
- නිතර ඇතිවන හිසේ කැක්කුම
- සන්නිවේදන දුර්වලතා ඇතිවීම
- මහන්සිය හා නිදා ගැනීමේ අපහසුතාවය
- ඔක්කාරය
- උන්මාද ස්වභාවය
පිළිකා වල පොදු ලක්ෂණ වගේම ඒ ඒ පිළිකාවන්ට විශේෂ වූ ලක්ෂණ පිළිබඳ ඔබ දැනුවත්ව සිටියොත් එය ඔබට පිළිකාවලින් ආරක්ෂා වෙන්නට වගේම ඒ දරුණු තත්ත්වයට පත් නොවී පාලනයට හෝ සුව කර ගන්නටත් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මේ ලක්ෂණ පිළිබඳව ඔබ දැනුවත්ව සිටින්න.