කරකැවිල්ල ඇති වෙන්න බලපාන හේතු 22 ක්

health tips

කරකැවිල්ල නැත්නම් ක්ලාන්තය කියන තත්ත්වය බොහෝ අයට ඇතිවෙන්නට හැකි තත්ත්වයක්. මෙය යම් විටෙක යම් රෝගයක ලක්ෂණයක් ලෙස අපිට බොහෝවිට හඳුනා ගන්නට පුළුවන්. නමුත් කරකැවිල්ල හේතු බොහොමයක් නිසාවෙන් ඇති වන්නට පුළුවන්. විශේෂයෙන් කාන්තා පිරිමි භේදයකින් තොරව මේ තත්ත්වය ඇතිවුණත් බහුලවම එය දකින්නට ලැබෙන්නේ මැදිවයසේ පසුවන අයට. එනම් වයස අවුරුදු 40-50 ඉක්මවූ අයට. ඒ හැරුණාම තරුණ වයසේ පසුවන අයටත් කලාතුරකින් මේ ක්ලාන්තය විවිධ හේතු නිසාවෙන් ඇති වන්නට පුළුවන්. ඉතින් තරමක් භයානක මේ කරකැවිල්ල පිළිබඳවයි අද අප ඔබ සමඟ කතා කරන්නේ.

ක්ලාන්තයේදී මෙන් කරකැවිල්ලකදී සිහි මුර්ජාවීමක් සිදු වන්නේ නැහැ.කරකැවිල්ලේදී සිහි මුර්ජා නොවී වටපිට භ්‍රමණය වීමක් සිද්ධ වෙනවා.කරකැවිල්ල මූලික වශයෙන් ඇතිවෙන්නේ ශරීරයේ සමතුලිතතාවය බිඳවැටීම නිසාවෙන්. අපේ ශරීරයේ සමතුලිතතාවය පවත්වා ගෙනයාම සඳහා මූලික වෙන්නේ අපේ කන. බාහිර කන, කන් බෙරය සහ ඇතුල් කන කියන කොටස්වලින් අපේ ශරීරයේ සමතුලිතතාවය පවත්වා ගන්නට උපකාරී වෙන්නේ ඇතුල් කන කොටස. කන හැරුණාම ඇස සහ සන්ධිවලින් ඇතිවන සංඥා අපේ සමබරතාවයට අවශ්‍ය වෙනවා.ඒ නිසා කනට යම් දෝෂයක් ඇතිවුණොත් අනෙක් ඉන්ද්‍රියන්ට වඩා අපේ සමබරතාවයට බලපෑම් ඇතිවෙනවා.

මේ කරකැවිල්ල යම් අයෙකුට උදෑසන නැගිටින විටදී ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම සිටගෙන සිටින විටක, විවිධ පැතිවලට හැරෙන විටත් මේ කරකැවිල්ල ඇතිවෙන්නට පුළුවන්. සිටගෙන සිටින විට යම් කෙනෙක් තල්ලු කරන ස්වභාවයක් දැනීම සහ ඇතැම් විට ඇද වැටීමත් වන්නට පුළුවන්.

කරකැවිල්ල ඇති වෙන්නට බලපාන හේතු 

  • උගුර කන නාසය ආශ්‍රිතව යම් දෝෂයක් පැවතීම විශේෂයෙන්ම කන පැසවීමකදී  හෝ වෙනත් කනේ ආබාධයක් ඇති අවස්ථාවක කරකැවිල්ල ඇති වෙන්නට පුළුවන්.
  • සෙම්ප්‍රතිශ්‍යාව ආදී තත්ත්වයන් 
  • ස්නායු ආබාධ විශේෂයෙන්ම මධ්‍ය ස්නායු පද්ධතියේ යම් දෝෂයන් හේතුවෙන් ශරීරයේ අසමතුලිතතාවය ඇතිව කරකැවිල්ල ඇති වන්නට හැකියාව තියෙනවා.
  • වයස්ගතවීම වයස්ගතවීම සමඟ හෘදය පවා ක්‍රමයෙන් දුර්වල වන්නට පුළුවන්.ඒ නිසා හදවතේ සිට කනට ගමන් කරන රුධිර ප්‍රමාණය අඩුවීමෙන් කරකැවිල්ල ඇති වන්නට පුළුවන්.
  • බෙල්ලේ, කොඳු නාරටියේ ඇටවල යම් යම් දෝෂ තත්ත්වයන් 
  • නිතර වාඩි වී සිටීම 
  • වයස්ගතවීමත් සමඟ හෝ අපි සිදු කරන රැකියාවේ ස්වභාවය අනුව දවසේ වැඩි කාලයක් වාඩිවී සිටිනවා. එවන් අවස්ථාවක පාදයේ ශිරාවල රුධිරය එකතු වී තිබෙන්නට පුළුවන්. ඒ නිසා හිසට ගමන් කරන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් කරකැවිල්ල ඇති වෙන්නට පුළුවන් .
  • තද සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පසුව කනට විෂබීජයක් ඇතුල් වී තරලය පැසවීමෙන් ඇතිවන ලැබිරින්තයිටිස් තත්ත්වය 
  • මැදිවියේ කාන්තාවන්ට ඇතිවන මානසික ආතතිය 
  • දූවිලි, සුරතල් සතුන්ගේ ලෝම  මල් රේණු හෝ වෙනත් ආසාත්මිකතා ඇතුළු කන ආශ්‍රිතව මේ අසාත්මිකතා ඇතුලු වුණොත් එය කරකැවිල්ල හා හිසරදය ඇති කරන්නට හේතුවක් වෙනවා.
  • ශරීරයේ සීනි මට්ටම පහළ බැසීම 
  • හෘදවාහිනී හා සම්බන්ධ ව්‍යායාම් හා ක්‍රීඩාවල දීර්ඝ කාලයක් නිරතවීමෙන් හෘද පොම්පය මන්දගාමී වීම 
  • 8 වැනි කපාල ස්නායුවේ ඇතිවන ගෙඩියක්
  • රුධිර පීඩනයේ හදිසි පහළ බැසීමක් 
  • විජලනය
  • කුඩා මොළයට ගමන් කරන නහර බෙල්ලේ කශේරුකා අතර තෙරපීම  
  • අධික ලෙස මහන්සිවීම 
  • දින කිහිපයක් නිදි වැරීම 
  • හිස එකවරම හැරවීමකදී 
  • එකවර තිගැස්සී නැගිටීම 
  • රාත්‍රියේදී සීතල ජලය ස්නානය 
  • විශේෂයෙන්ම අධික ලෙස මහන්සි වී දින කිහිපයක් නිදිවරා ඇති විටෙක මැදියම් රැයේ සීතල ජලය ස්නානය කළොත් පසුදින කරකැවිල්ල ඇති වෙන්නට පුළුවන්.
  • දිවුල් කිරි, මී කිරි තැඹිලි, අච්චාරු, කිරිබත්, ආදී ආහාර ගැනීම නිසා ද ඇතැම් අයට කරකැවිලි ගතියක් ඇති වෙන්නට පුළුවන්.

කරකැවිල්ලක් ඇතිවිටෙක එය ඉක්මනින් සමනයට අනුගමනය කළ යුතු පියවර 

  • මුලින්ම දෑස් පියා ගන්න.
  • ඉරියව් වෙනස් නොකර සිටින ස්ථානයේම ඒ අයුරින් සිටින්න.
  • වතුර පානය නොකළ යුතුයි.
  • හිස නොසෙල්වන පරිදි තබා ගන්න. 

වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා 

කරකැවිල්ල සමඟ පහත ලක්ෂණ පවතින විටකදී එය සුළුවට නොසලකා වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි.

  • වැඩි උෂ්ණත්වය 
  • හිසරදය 
  • බෙල්ලේ තද ගතිය 
  • නොනවතින වමනය 
  • හුස්ම ගැනීම අපහසුවීම 
  • අත් පා චලනය අපහසුවීම 
  • වෙනදා ඇතිවන කරකැවිල්ලට වඩා වෙනස් ආකාරයේ කරකැවිල්ලක් ඇතිවීම 
  • ඇසීම හෝ පෙනීම අඩුවීම 
  • අභ්‍යන්තර කනේ දැවිල්ල 
  • දහදිය අධික ලෙස දැමීම හා කකුල් ආදියේ වෙව්ලීම 

නිතර කරකැවිල්ල ඇතිවන අයෙක් පිළිපැදිය යුතු කරුණු 

  • ලුණු භාවිතය අඩු කරන්න 
  • කැෆේන් අඩංගු පානයන් භාවිතය අවම කරන්න 
  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න 
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න 

නමුත් දිනකට ජලය ලීටර් 2 ක් තරම් පානය කිරීමෙන් පසුවත් කරකැවිල්ල ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

  • විටමින් C අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට ලබා ගන්න. ඒ සඳහා නැවුම් එළවලු වගේම පලතුරුත් ආහාරයට ගන්න. පලතුරු අතරින් පැගිරි කුලයේ පලතුරුවල විටමින් C බහුලයි.
  • සුදු ළූණු ආහාරයට නිතර එකතු කර ගන්න.
  • කොත්තමල්ලි මේස හැදි 4 ක් වතුර කෝපයකට දමා පැයක් තිබෙන්නට හැර  උදෑසන පානය කරන්න.
  • සුවදායි නින්දක් ලබා ගන්න 
  • යෝගා ව්‍යායාම් හෝ භාවනාවල නිරත වන්න. හිස හොඳින්ම සම්බාහනය කරන්න.

ඉතින් නිතර ඇතිවන කරකැවිල්ල සැලකිල්ලකට ලක් නොකර සිටියොත් ඇතැම් විට ඒ ඔබේ සෞඛ්‍යට විශාල තර්ජනයක් වන්නටත් පුළුවන්. ඒ නිසාවෙන් කරකැවිල්ලක් ඇතිවූ විට  පිළිබඳව තරමක් සැලකිලිමත් වන්නට මතක තබා ගන්න.