වැඩ නොකරත් මහන්සියක් දැනෙන්නට බලපාන හේතු 8 ක්

health tips

සාමාන්‍යයෙන් අධික ලෙස මහන්සියක් දැනෙන්නේ නම් වැඩක නිරත වුණාට පස්සේ. නමුත් ඔබ සුවදායි නින්දක් ලබා ගත්තත්, වැඩ කටයුත්තක නොයෙදුණු විටත් නිතරම ශරීරයට අධික ලෙස මහන්සියක් දැනෙන්නේ නම් හෝ කුඩා වැඩක යෙදුණු පසුව ඉතා අධික ලෙස සිරුරට තෙහෙට්ටුවක් දැනෙන්නේ නම් හෝ එය නොසලකා හැරිය යුතු නැහැ. මොකද බොහෝවිට අපි ගත කරන වැරදි ජීවන රටාව නිසා නිරන්තරයෙන් එවැනි තත්ත්වයක් ඇතිවුණත් අපි නොදන්නා වෙනත් රෝග තත්ත්වයන් ශරීරයේ ඇතිවන විට එය හඟවන පූර්ව ලක්ෂණයක් ලෙසත් මේ නිතර ඇතිවන තෙහෙට්ටුව හඳුන්වන්නට පුළුවන්. අද සමාජයේ බොහෝදෙනෙක්ට තිබෙන මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සිතා එය මගහරවා ගන්නට කෝපි හෝ වෙළදපොලේ පවතින වෙනත් ශක්තිජනක පානයන් භාවිතයට හුරු වෙනවා. නමුත් එය දිගුකාලීන වෙනත් සෞඛ්‍ය ගැටළු ඇති කරන්නට හේතුවක් වෙනවා. ඒ නිසා නිතර තෙහෙට්ටුවක් ඇති වෙන්නට බලපෑ හැකි හේතු සහ එය මගහරවා ගන්නට ඔබට කළ හැකි පිළියම් පිළිබඳව  දැන සිටීම ඔබට බෙහෙවින් වැදගත් වේවි.

නිතර මහන්සිය ඇතිවෙන්නට බලපාන හේතු 

  • සිරුරේ සීනි අසමතුලිතතාවය විශේෂයෙන්ම සීනි සහ කාබෝහයිඩ්රේට් බහුල ආහාර නිතර නිතර වැඩි වශයෙන්  ආහාරයට ගැනීමෙන්  මුළු දවස පුරාම ඔබට මහන්සිය තෙහෙට්ටුව ඇති වෙන්නට පුළුවන්. සීනි කාබෝහයිඩ්රේට් වැඩිපුර ගැනීම නිසා රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යන අතර අපේ සීනි මට්ටම අඩු කරන්නට එකවරම අග්න්‍යාශයට ඉන්සියුලින් වැඩිපුර ප්‍රමාණයක් මුදාහැරීමට සිදුවෙනවා. මේ ආකාරයට රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළයාමත් පහළ යාමත් නිසා  නිතර තෙහෙට්ටු ගතියක් ඇති වෙන්නට පුළුවන්.
  • තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිතර නිතර සැලකිය යුතු හේතුවක් නොමැතිව ඔබට තෙහෙට්ටුව දැනෙන්නට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු බලපාන්නට පුළුවන්.විශේෂයෙන්ම හයිපොතයිරෝඩිසම් යන තයිරොයිඩ් ග්‍රන්ථිය අධි ක්‍රියාකාරී වීම නිසා මේ රෝගය ඇති බොහෝදෙනෙක්ට මේ ලක්ෂණය ඇති වෙන්නට පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ මිනිසාගේ ගෙල අභ්‍යන්තරයේ පිහිටා තියෙන එක් විශේෂ ග්‍රන්ථියක්. මේ තයිරොක්සීන් හෝර්මෝනය අපේ මොළයේ සිට අත් පා දක්වාම වූ සියලුම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් ඉවහල් වන හෝර්මෝනයක්.මොළයේ වර්ධනයට, ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට වගේම සෑම ඉන්ද්‍රියකම වේගය පාලනය සඳහාත් හිසකෙස් නියපොතු ආදියේ වර්ධනයටත්, අක්මාවේ, හෘදයේ නිසි ක්‍රියාකාරිත්වයටත් මේ හෝර්මෝනය ඉතා විශාල කාර්ය බාරයක් ඉටු කරනවා. මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවන විට වෙහෙස දැනීමට අමතරව, මල බද්ධය, මානසික ආතතිය, සීතල දැනීම හෘද ස්පන්දන වේගය අඩුවීම ආදී තවත් රෝග ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. එබැවින් නිතර ඇතිවන තෙහෙට්ටුව නොසලකා හරින්නට එපා.
  • සුවදායි නින්දක් නොලැබීම නීරෝගී ජීවිතයක් සඳහා පුද්ගලයෙකු දිනකට පැය 8 ක තරම් නින්දක් ලබාගත යුතු වෙනවා.නමුත් ඇතැම්විටෙක ඔබ කොතරම් වේලාවක් නිදාගත්තත් එය සුවදායි නින්දක් නොවන්නට ඉඩකඩ පවතිනවා. සුවදායි නින්ද යන්නෙන් අදහස් වන්නේ නින්දේ ප්‍රමාණයටත් වඩා නින්දේ ගුණාත්මකභාවයයි.මේ නින්දේ ගුණාත්මකභාවය නැතිවෙන්නට ගන්නා අහාර මද බව, මානසික ආතතිය,  ප්‍රමාදවී නින්දට යාම, මත්ද්‍රව්‍ය භාවිතය, තරබාරුව ආදී හේතු ගණනාවක්ම  බලපාන්නට පුළුවන්. ඒ නිසා සුවදායි නින්දක් ලබා ගන්නට අපි නිතරම උනන්දුවිය යුතුයි. අධ්‍යයනයන කීපයකින්ම සොයාගෙන ඇති ආකාරයට ප්‍රමාණවත් නින්දක් නොලැබීම මහන්සිය තෙහෙට්ටුව ඇතිවෙන්නට වගේම අලසව දවස ගත කරන්නටත් හේතුවක්.
  • ක්‍රියාශීලී නොවන ජීවන රටාව වර්තමානය වෙද්දි බොහෝදෙනෙක් ශරීරය මහන්සි වෙන ආකාරයේ කටයුතුවලින් ඈත්වෙලා. වාහනයකින් කාර්යාලයට ගොස් දවස පුරාම පුටුවක වාඩිවී රැකියා කටයුතුවල නිරත වී  නැවත වාහනයෙන් නිවසට පැමිණීමත්  රාත්‍රී කාලයේ සැහැල්ලු ලෙස අසුන් ගෙන රූපවාහිනිය නැරඹීමත් හෝ දුරකථනය භාවිතා කිරීමත් අද බොහෝදෙනෙකුගේ සාමාන්‍ය ජීවන රටාව බවට පත්ව අවසන්. මේ ක්‍රියාශීලි නොමැති ජීවන රටාව  කාලයක් තිස්සේ ගත කිරීම නිසා  විවිධ ආකාරයේ සෞඛ්‍යමය ගැටළු ඇති වෙනවා. අද බහුලව අසන්නට ලැබෙන බෝ නොවන රෝග බොහොමයකට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ද අද බොහෝදෙනා ගෙවන උදාසීන ජීවන රටාවයි. නමුත් අපේ ශරීරය ස්වභාවයෙන්ම සකස්ව ඇත්තේ ක්‍රියාශීලීවීම සඳහා. ඔබ ක්‍රියාශීලි බවින් ඈත්වන විට  මානසික ආතතිය, සිරුරේ  බර වැඩිවීම,දවස පුරාම මහන්සිය හා තෙහෙට්ටුවක් දැනීම ඇති වන්නට පුළුවන්. මේ තත්ත්වයන් මගහරවා ගන්නට දිනපතාම ශාරීරික ව්‍යායාම්වල යෙදීම වැදගත්. ක්‍රියාශීලි ජීවන රටාවත් ව්‍යායාම්වල නිරතවීමත් සමඟ අසාමාන්‍ය ලෙස ශරීරයට නිතර දැනෙන මහන්සිය හා තෙහෙට්ටු ගතිය මගහරවා ගන්නට පුළුවන්.
  • නීරක්තිය මිනිසාගේ රුධිරයේ රතු රුධිරාණු  ප්‍රමාණය අඩුවී යාම සාමාන්‍ය කාර්යයක නිරත වුණත් වෙහෙසක් දැනෙන්නට හේතුවෙනවා. විශේෂයෙන්ම රුධිරයේ ඇති රතු රුධිරාණු මගින් අපේ ශරීරයේ ලේවල ජීව ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඔක්සිජන් පෙනහළුවල සිට අනෙකුත් සියළුම අවයවයන් කරා ගෙනයාමට උදව් වෙනවා. මේ රතු රුධිරාණු අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීමෙන්  සෛලවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම නිසි පරිදි සිදු වන්නේ නැහැ. කාලයක් තිස්සේ මේ රක්තහීනතාවය පැවතීම නිසා දවස පුරාම මහන්සිය සහ  තෙහෙට්ටු ගතිය දැනෙන්නට පුළුවන්. විශේෂයෙන් පුරුෂයන්ට වඩා කාන්තාවන්ට මේ තත්ත්වය බහුලව ඇති වන්නට පුළුවන්. රක්තහීනතාවය නිසා ඇතිවන මහන්සිය නැති කරගන්නට නම් යකඩ, ෆෝලේට්, විටමින් B 12  බහුලව අඩංගු ආහාර ආහාරවේලට එකතු කර ගැනීම වැදගත්.
  • මානසික ආතතිය සාමාන්‍ය මානසික ආතතිය දවස පුරා යම් අයෙකුට තෙහෙට්ටුව ඇති කරන්නේ නැහැ. අධික ලෙස මානසික ආතතියෙන් පෙළෙන අයෙක්ට නිතර තෙහෙට්ටුව හා මහන්සිය ඇති වෙන්නට පුළුවන්. භාවනා කිරීමට වගේම යෝගා ව්‍යායාම්වල නිරතවීම මගින් මානසික ආතතිය හේතුවෙන් ඇතිවන තෙහෙට්ටුව මගහරවා ගන්නට පුළුවන්.
  • සිරුරට ප්‍රමාණවත් ප්‍රෝටීන් නොලැබීම ප්‍රෝටීන් මගින් අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කරමින් බර අඩු කිරීමටත් මහන්සිය හා තෙහෙට්ටුව නැති කිරීමටත් උපකාරී වෙනවා. ඒ නිසා විටෙක ඔබේ  සිරුරට ප්‍රෝටීන් ප්‍රමාණවත් පරිදි නොලැබෙන්නේ නම් එය මුළු දවස පුරාම තෙහෙට්ටුවක් දැනෙන්නට හේතුවක්.
  • ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම ප්‍රමාණවත් තරම් ජලය ශරීරයට ලැබුණු විට මහන්සිය තෙහෙට්ටුව ඉතා ඉක්මනින් පහව යන අතර ඉතා ප්‍රබෝධමත්ව දවස ගත කරන්නටත් හැකියාව ලැබෙනවා.ඉතින් අසාමාන්‍ය විදියට නිරන්තරයෙන් වෙහෙසක් ඔබට දැනෙන්නේ නම් මේ හේතු සාධකවලින් එකක බලපෑමක් වන්නට පුළුවන්. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නීරෝගී ජීවිතයක් ගත කරන්නට ඔබට මේ කාරණා බෙහෙවින් උපකාරී වේවි.