ගර්භාෂය පහත්වීමේ රෝගය කල්තියා දැනගත හැකි ලක්ෂණ 14 ක්

health tips

කාන්තා රෝග පිළිබඳව කතා කරද්දි නිතර අසන්නට දකින්නට ලැබෙන තත්ත්වයක් තමයි ගර්භාෂය පහත්වීම කියන කාරණාව. මේ තත්ත්වය බහුලවම දැක ගන්නට ලැබෙන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ ආර්තවහරණය සිදුවූ කාන්තාවන් තුළ. මේ තත්ත්වය නිසා කාන්තාවන්ට එදිනෙදා ජීවිතයේ විවිධාකාරයේ ගැටළු තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. එය සැබැවින්ම ශල්‍ය කර්මයක් දක්වාම වර්ධනය වන භයානක තත්ත්වයක්. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ කාන්තාවන් බොහෝ පිරිසකට අත් විදින්නට සිදු වෙන මේ ගර්භාෂය පහත්වීම කියන තත්ත්වය පිළිබඳවයි.

ගර්භාෂය යෝනි කුහරය තුළ පිහිටා තියෙන්නේ විශේෂිත වූ ආධාරක පටක සමූහයක් මගින් අල්ලා ගැනීමෙන්.ඒ පටක ගර්භාෂය නිසි පිහිටීමේ තබා ගන්නට උදව් කරනවා. ඒ අනුව ගර්භාෂය පිහිටා තියෙන්නේ මුත්‍රාශයටත්, ගුද මාර්ගයටත් අතරමැදිව. මේ තත්ත්වයේදී සිදු වෙන්නේ මේ ආධාරක පටක දුර්වල වී ගර්භාෂය යෝනි මාර්ගය තුළින් පිටතට නෙරා පැමිණීම. ගර්භාෂයේ පමණක් නොවෙයි යෝනි මාර්ගයේ බිත්තියත් පිටතට නෙරා ඒමක් මේ තත්ත්වයේදී ඇති වෙනවා. ගර්භාෂය යෝනි මාර්ගය හරහා එළියට පැමිණීමේදී ඇතැම්විට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් පිටතට පැමිණීමට ඉඩ පවතිනවා.

මේ තත්ත්වය මාරාන්තික රෝගී තත්ත්වයක් නොවන නමුත් මේ තත්ත්වයේදී බොහෝ අපහසුතාවන් ඇති වන්නට පුළුවන්. එය එදිනෙදා කටයුතු සිදුකර ගැනීමේදී මහත් පීඩාවක් ගෙන දෙන්නට සමත් වෙනවා. 

ගර්භාෂය පහත්වීමට බලපාන හේතු 

  • වයස්ගත වීම වයස අවුරුදු 50 පමණ වන විට ආර්තවහරණය වන නිසා ඊස්ට්‍රජන් හෝර්මෝන දුර්වල වීමෙන් මාංශපේශී දුර්වලවීම සිදුවෙනවා. 
  • උපතින්ම ශ්‍රෝණිය අවට මාංශපේශී දුර්වල වීම 
  • සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ගර්භාෂයට ආධාරක ලෙස ක්‍රියා කරන පටකවලට හානි සිදුවීම 

විශේෂයෙන්ම ගැබ් ගෙල නිසි පරිදි විවර වීමට ප්‍රථම උපකරණ හෝ අඩු දමා දරුවා පිටතට ගැනීමට තැත් කිරීමේදී මේ පටක දුර්වල වෙන්නට හැකියි. ඒ වගේම දරු ප්‍රසූතියේදී යෝනී මාර්ගය හා ඒ අවට ප්‍රදේශය  ඇදී පවතින කාලයත් පටක දුර්වල කරන්නට බලපානු ලබනවා. 

  • දරුවා බිහිකිරීමට ගර්භාෂය සංකෝචනය වීමට පෙර තැටමීම 
  • ඉතා ඉක්මනින් ප්‍රසූතිකාගාරයට ඇතුළුවීමට පෙර සිදුවන දරු ප්‍රසූතිය 
  • දරු ප්‍රසූතියේදී කැපුම් නොයෙදීම හෝ කැපුම් යෙදීමට පමාවීම 

වැඩි අවදානමක් ඇති කාන්තාවන් 

  • ළඟ ළඟ දරුවන් වැඩි සංඛ්‍යාවක් බිහිකල කාන්තාවන්  
  • ප්‍රසූතියේදී සිදුවන පේශී ලිහිල්වීම නිසා සහ ගර්භණී සමයෙන් පසුව ලිහිල් වූ මාංශපේශී නැවත නිසි පරිදි ශක්තිමත් වීම් සඳහා අවශ්‍ය ව්‍යායාම් නොකළ අයට ගර්භාෂය පහත්වීමේ අවදානමක් පවතිනවා.
  • දරු ප්‍රසූතියෙන් පසුව ඉක්මනින් බර වැඩවල නිරත වූ කාන්තාවන්
  • දිගින් දිගටම බර ඉසිලීම් කරන කාන්තාවන්
  • දීර්ඝකාලීනව ඇදුම කැස්ස,මල බද්ධය  ආදී රෝගවලින් පෙළෙන කාන්තාවන්

විශේෂයෙන්ම දිගුකාලීනව කැස්ස ඇතිවිට උදරය තුළ පීඩනය වැඩි වී උදරයේ මාංශපේශී දුර්වල ස්ථානවලින් උදරය තුළ ඇති දේවල් පැමිණෙන්නට හැකි වෙනවා. ඒ වගේම ගර්භාෂයේ ඇතිවන ගෙඩි, ගැබ් ගෙලේ ඇතිවන ගෙඩි  හා මන්ද පෝෂණය ආදී හේතූන් ද ගර්භාෂය පහත්වීම වැඩි කරන්නට බලපානු ලබනවා.

රෝග ලක්ෂණ 

ගර්භාෂය කොතරම් පහත්වී ද යන්න සහ එය කොපමණ අවයවවලට බලපා ඇත්ද යන කාරණාවන් මත රෝග ලක්ෂණ වෙනස් වෙනවා. නමුත් පොදුවේ යම්  රෝග ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්.

  • කිසියම් බෝලයක් වැනි දෙයක් මත ඉඳ ගන්නා සේ දැනීම 
  • ගමන් කරන විට යම් දෙයක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණෙන බව දැනීම 
  • ලිංගික සම්බන්ධතා වේදනාකාරී වීම 
  • බොහෝවේලාවක් සිටගෙන සිටින විට හෝ තටමන විට යෝනි මාර්ගය හරහා ගෙඩියක් මෙන් එනු දැනීම 
  • නිතර මුත්‍රා  පිට කරන්නට අවශ්‍ය වීම 
  • කොන්දේ වේදනාව 
  • නිතර මුත්‍රා  ආසාදන ඇතිවීම
  • නොදැනීම මුත්‍රා  පිටවීම (කහින විට, සිනහසෙන විට හෝ කිවිසුම් යාමේදී )
  • යටිබඩේ බර ගතියක් දැනීම සහ අදින්නාක් වැනි වේදනාව 
  • යෝනි මාර්ගයෙන් ලේ පිටවීම 
  • ඇඟ උණු කරවා යාම
  • මුත්‍රා  පිට කිරීමේ අපහසුතාවය
  • මලපහ පිට කිරීමේ අපහසුව 
  • ගර්භාෂයේ තුවාල ඇතිවීම 

ප්‍රමාණවත් තරම් රුධිර සැපයුම නොලැබීමත් ගර්භාෂය එළියට පැමිණීමත් නිසා මෙවැනි තුවාල ඇති වෙන්නට පුළුවන්.

ප්‍රතිකාර මෙහිදී සුළු පහත්වීමක් ද නැත්නම් යෝනි මාර්ගය හරහා කොටසක් පිටතට පැමිණ තිබේද යන්න සොයාබලා ඒ සඳහා අවශ්‍ය පිළියම් යොදනු ලබනවා.මෙවැනි තත්ත්වයකදී ගර්භාෂය ඉහළට කර රඳවා තැබීම හෝ තාවකාලික ප්‍රතිකර්මයක් ලෙස වළල්ලක් දැමීම ආදී කටයුතු සිදු කරනු ලබනවා. ගර්භාෂයට ඒ දමන වළල්ල මාස තුනක කාලයක් රඳවා තබා ගන්නට පුළුවන්. ඒ හැරුණාම යම් විටෙක ගර්භාෂය ඉවත් කිරීමට සිදුවන අවස්ථාද පවතිනවා.

වළක්වා ගැනීමට කළ යුතු දේ 

  • ළඟ ළඟා දරුවන් නොලබා සිටීමට සුදුසු උපත් පාලන ක්‍රම භාවිතා කිරීම 
  • දරු ප්‍රසූතියෙන් පසුව ගර්භාෂය අවට මාංශපේශී සවිමත් කරන්නට අදාළ ව්‍යායාම් සිදු කිරීම 
  • දරු ප්‍රසූතියෙන් මාස 6 ක් වත් යනතුරු බර වැඩ නොකිරීම 

වයස අවුරුදු 50 – 60 වයසේ කාන්තාවන්ට මේ තත්ත්වය බහුලවම ඇති වුණත් තරුණ කාන්තාවන්ටත් මේ ගර්භාෂය පහත්වීමේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ තත්ත්වය බරපතල විට නොසලකා හැරීම නිසා මුත්‍රා  මාර්ගයේ හා වකුගඩුවල ගැටළු ඇතිවෙන්නට පුළුවන්.ඒ නිසා මේ සම්බන්ධව නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා.