තරුණ වියේ සහ මැදිවියේ බොහෝ දෙනෙක් විවිධ වූ ස්නායු රෝගවලින් අද වෙද්දි පීඩා විඳිනවා. ඒ අතරින් බහුල වශයෙන්ම අංශභාගය, ඩිමෙන්ෂියා, පාකින්සන් ආදී රෝග බොහොමයක් ගැන අපිට අසන්නට ලැබෙනවා. ස්නායු රෝගයක් ඇති වුණාම ඒවා කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම දිගු කාලීනව වඩාත් බරපතළ තත්ත්වයන්ට පත්වීමේ අවදානම අඩු කරනවා. නමුත් රෝගයක් ඇති වුණාම ප්‍රතිකාර ගන්නවා වෙනුවට රෝග ඇතිවීම වළක්වා ගැනීම වඩාත් උචිතයි. ඉතින් මෙවැනි ස්නායු රෝගවලින් වැළකිලා ඉන්න අපිට උදව් වෙන අපූරු ස්වභාවික පැළෑටියක් තියෙනවා. ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි අපි හැමෝම දන්නා ගොටුකොළ .
මේ ගොටුකොළ ශාකයේ පත්‍ර අපේ මොළයේ හැඩයට සමානත්වයක් ගන්න නිසා අපේ ස්නායු පද්ධතියට, මොළයේ ක්‍රියාකාරීත්වයට, මතක ශක්තිය වර්ධනයට වඩාත් සුදුසුම ආහාරයක් විදියට තමයි සැලකෙන්නේ. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක හොඳින් වැවෙන ගොටුකොළවල උද්භිද විද්‍යාත්මක නාමය වෙන්නේ Centella Asiatica . අපේ ආහාර ලැයිස්තුවෙත් ගොටුකොළ කියන්නෙ නැතිවම බැරි පලාවක්. ගොටුකොළවල විවිද ප්‍රභේද තියෙනවා මහ ගොටුකොළ, පෝච්චි ගොටුකොළ වෙද ගොටුකොළ ආදී වශයෙන්.
මේ ගොටුකොළ ශාකය සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවලට අනුව අපේ ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල මේවායේ අඩංගු වෙනවා. ඒ වගේම 1% ක් පමණ ප්‍රමාණයක් saponin කියන රසායනික සංඝටකයත් මෙහි අන්තර්ගත වෙනවා. ඒ නිසා තමයි ගොටුකොළවලට තිත්ත රස ස්වභාවයක් එකතු වෙලා තියෙන්නේ. මේ රසායනිකය තමයි අපේ ශරීරයේ කොලෙස්ටරෝල් ලිපිඩ ප්‍රමාණය හොඳින් යාමනය කරන්නට උදව් වෙන්නේ.

ගොටුකොළවල අඩංගු වෙන තවත් සංඝටකයක් තමයි salicylic acid කියන්නේ. ඒවා අපේ සම, හිසකෙස්වල නිරෝගී බව සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා, ගොටුකොළ කියන්නේ යකඩ බහුලවම අඩංගු වෙන ආහාරයක්. ඒ විතරක් නෙවෙයි ස්නායු පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා උදව් වන පොටෑසියම් සහ සෝඩියම් විශාල ප්‍රමාණයක් ද මේවායේ අඩංගුයි. ඒ වගේම අස්ථිවල නිරෝගීතාවයට උපකාරීවන මැග්නීසියම් වගේම ascobic acid එහෙම නැත්නම් විටමින් සී ද මේවායේ අඩංගු වෙනවා. ගොටුකොළ පත්‍රවලටත් වඩා ගොටුකොළ මුල් කැල්සියම් සහ පොටෑසියම්වලින් බහුලයි.
ගොටුකොළ කොළ කැඳ වශයෙන්, සම්බෝල වශයෙන්, පානයක් වශයෙන් ආදී විවිධ ආකාරයට ආහාරයට එකතු කරගන්න පුලුවන්. නමුත් කැඳ වශයෙන් පිළියෙල කර ගන්නවාට වඩා සෑම විටම ගොටුකොළ අමුවෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් එහි අඩංගු පෝෂණය නොඅඩුව ලබා ගන්නට හැකියාව ලැබෙනවා .
ගොටුකොළ අනුභවයෙන් ලැබෙන වාසි
- ස්නායු පද්ධතිය ආරක්ෂා කරනවා.
- ආසාත්මිකතාවලින් ආරක්ෂාව සලසනවා.
- මානසික ආතතිය දුරු කරනවා.
- ඇතිවිය හැකි පිළිකා සෛල විනාශ කිරීම සහ හටගෙන ඇති පිළිකා සෛල මර්දනය කිරීමට උපකාරී වෙනවා.
- ස්වසන පද්ධතිය ආශ්‍රිත සෛල අධිවර්ධනය වීම වළක්වා ගැනීමට උදවු වෙනවා. එ නිසාම ඉස්සර අපේ මුතුන්මිත්තන් දරුවන්ට පවා ගොටුකොළ යුෂ පානය කිරීමට ලබා දුන්නා.
- මළබද්ධය දුරු කරනවා.
- හිසකෙස් සහ සම නිරෝගී කරනවා.
- ඇස්වල පෙනීමේ ආබාධ දුරු කරනවා.
- රුධිරය පිරිසිදු කරනවා.
- ස්නායු ආබාධවලින් ආරක්ෂාව සලසනවා.
- රක්තහීනතාව නැති කරනවා.
- මතක ශක්තිය වර්ධනය කරනවා.
- පීනස් රෝගීන්ට ගුණදායකයි.
- අධි රැධිර පීඩනයට ගුණදායකයි.
- සම පැහැපත් කිරීමට උපකාරී වෙනවා.
- තරුණ බව රැක දෙනවා.
- අමිලපිත්ත රෝගය සුවපත් කිරීමේ හැකියාවෙන් යුක්තයි.
- කටහඬ මිහිරි කරනවා.
- අක්මාව ආරක්ෂා කරනවා.
- හදවත රැක දෙනවා.
- කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් අඩු කිරීමට උදව් වෙනවා.
- තුවාල සුවවීම වේගවත් කරනවා.
- වකුගඩු ආරක්ෂා කරනවා.
- ක්ෂය රෝගීන්ට ගුණදායකයි.
- ආහාර රුචිය වඩවනවා.
- මව්කිරි වර්ධනය කරනවා.
- අතීසාරයට ගුණදායකයි.
- ලාදුරු සඳහා හිතකරයි.
- මුත්‍රා මාර්ගයේ ආසාදන, උපදංශය, රක්තවාතය ඇතුළු රෝග සඳහා ගුණදායකයි.
- ඇදුම, දද කුෂ්ඨ සහ අර්ශස් ආදී රෝගවලට හිතකරයි.
- අක්මා රෝගවලට ගුණදායකයි.
- දියවැඩියාවට හිතකරයි.
- ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
වයස්ගත වීමත් සමඟ ඇතිවන මතක ශක්තිය හීන වීම, උන්මාදය, මානසික රෝග ඇතුළු ස්නායු රෝග සඳහා ඉතාම ගුණදායකයි.මේ සඳහා දිනපතාම ගොටුකොළ යුෂ මේස හැඳි දෙකකට එළගි තෙල් මේස හැදි දෙකක් මිශ්‍රකර ආහාරයට ගැනීම ගුණදායකයි.
සෙම් රෝග සඳහා වගේම මතක ශක්තිය වර්ධනය සඳහා ගොටුකොළ රතු ළූණු ගෙඩි කිහිපයක් සමග කොටා මිරිකා යුෂ කෝප්පයක් පානයට ලබාදීම ඉතාම ගුණදායකයි.
ගොටුකොළ යුෂ ඉඟුරු සුදුළූණු කොටා පොට්ටනියක් සේ සකස් කර නළල බෙල්ල අවට තැබීමෙන් සොටු දියර ගැලීම නතර කරගන්න පුළුවන්.
කුඩා දරුවන් සඳහා ගොටුකොළ දඩු සමග වලගසාල් තම්බා පානයට ලබාදීම ඉතාමත් ගුණදායකයි.
අලුතින් තුවාලයක් ඇති වුණු අවස්ථාවකදී ගොටුකොළ ඇල්දියෙන් අඹරා තුවාලය මත ආලේප කිරීමෙන් ඒවා ඉක්මනින් සුව කරගන්න හැකියාව ලැබෙනවා. සැරව සහිත තුවාලයක් නම් ගොටුකොළ තල තෙලින් අඹරා ආලේප කිරීමෙන් සුවය සලසා ගත හැකියි.
සතියකට දින කිහිපයක් හෝ මේ ආකාරයට ගොටුකොළ යුෂ පානයට ගැනීම හෝ ගොටුකොළ සම්බෝලයක් ලෙස සාදා ආහාරයට ගැනීමත් ඉතාම ගුණදායකයි. මේ ගොටුකොළ යුෂ මී පැණි සමඟ ලබාගැනීම හෝ කිතුල් හකුරු සමඟ ලබා ගැනීමත් ශරීරයට ඉතාම ගුණදායකයි. ගොටුකොළ ස්නායු රෝග ඇතුළු රෝග රැසකින් අපිට ආරක්ෂාව ලබාදෙන නිසා සමස්ත ශරීර සෞඛ්‍යයටම ගොටුකොළ ඉතාම සුදුසු පලාවක්.
ඉතින් දීර්ඝායුෂ ලබා දෙන රෝග නිවාරණයට උදව් වෙන අපූරු ඔසුවක් වෙන ගොටුකොළ නිතර ඔබේ ආහාරයටත් එකතු කර ගන්න උනන්දු වෙන්න .