පීනස සුව කරන ගොටුකොළ සතු ගුණ 15 ක්

health tips

බොහොමයක් දෙනා ආහාරයට ගන්නා ඖෂධීය ගුණයෙන් අනූන පළා වර්ගයක් ලෙස ගොටුකොළ හදුනා ගත හැකිය . සංස්කෘත භාෂාවෙහි දිව්‍ය මහා ඕෂධී යනුවෙන් හදුන්වනු ලබන මෙම ඖෂධීය පළා වර්ගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවේදී ද විවිධ ඖෂධ නිපදවීමට බහුලව භාවිත කරනු ලැබේ .Centella asiatica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් මෙම පළා වර්ගය හදුන්වන අතර යකඩ බහුලවම අඩංගු වන පළා වර්ගය ගොටුකොළ වේ. බහු වාර්ෂික වැල් පැළෑටියක් වන මෙය නිවර්තන කලාපීය රටවල වැඩි වශයෙන් දැකගත හැකිය. එනම්  ගොටුකොළවල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. 

  • ප්‍රෝටීන් 
  • විටමින් 
  • කැල්සියම් 
  • පොස්පරස් 
  • යකඩ 
  • කැරටීන්

යනාදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධානවේ. කුඩා දරුවන්ගේ බෝහෝමයක් රෝග සදහා ඔසුවක් වන මෙය පිළිකා නසන ඔසුවක් ද වේ. එමෙන්ම බුද්ධිය වර්ධනය කරන ඖෂධයක් වේ .ගොටුකොළ දිනපතා ආහාරයට එක් කර ගැනීම යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමට බෙහෙවින් ඉවහල්වේ. 

ගොටුකොළවල ඖෂධීය ගුණ භාවිතය 

හිසරදය සදහා ඔසුවක් වේ .ගොටුකොළ ,උදුපියළිය, තල,බෙහෙත් එඩරු ඇට,උක් හකුරු ,කට්ට පොල් යනාදී ඖෂධ සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන පොට්ටනි බැද වන්ඩුවේ තම්බා නළල හිස ආශ්‍රිත ප්‍රදේශ හොඳින් තැවීම මගින් හිසරදය සමනය කරගත හැකිය. 

කුඩා දරුවන්ගේ ලේ අතීසාරය සදහා ඖෂධයක් වේ.මේ සදහා ගොටුකොළ යුෂවලට දුරු කුඩු හා සීනි මිශ්‍ර කර පෙවිය යුතුය .එමගින් එම රෝගී තත්වය සමනය කර ගත හැකිය. 

ශ්‍රාවයන් ගලන තුවාල සුවපත් කරයි .ගොටුකොළ දඩු සහ මුල හොඳින් අඹරා එම මිශ්‍රණය තල තෙල් වලින් අඹරා බැදීමෙන් ඉක්මනින් එම තුවාල සුවපත් කර ගත හැකිය . 

අර්ශස් රෝගය සදහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ .ගොටුකොළ ,රතු ලූණු ,කොහිල අල යනාදී ඖෂධීය ද්‍රව්‍ය හොඳින් කොටා ලබා ගන්නා යුෂවලට සහල් ,මුං ඇට එකතු කර කැද සකස් කර ගෙන උදෑසන හිස්බඩ පානය කිරීම මේ සදහා ගුණදායකවේ . 

අම්ලපිත්ත රෝගය සදහා ඔසුවක් වේ .මෙම රෝගී තත්වය ඇති පුද්ගලයන්ට තේ ආදිය පානය කිරීම උචිත නොවේ .ඊට හේතුව තේ ආදී පාන වර්ග මෙම රෝගය වැඩි කිරීම සදහා හේතූ වීමයි .එබැවින් මේ සදහා ගොටුකොළ පානය භාවිත කළ හැකිය. සෝදා පවනේ වියළා ගත් ගොටුකොළ තේ කුඩු ලෙස කුඩු කර තේ ලෙසම පානය කළ හැකිය . 

ළදරුවන්ගේ පණු රෝග සුවපත් කරයි .ගොටුකොළ ශාකයේ නැටි වලගසාල් සමග තම්බා පානය කිරීමට දීමේන් ළදරුවන්ගේ පණු රෝග සුවපත් කර ගත හැකිය . 

ධාරණ ශක්තිය වර්ධනය කරයි .ගොටුකොළ රාත්තලක්( 500g)ගෙන එයට එළකිරි බෝතල් දෙකක් දමා හොඳින් තම්බා පවනේ වියළා තේ කුඩු මෙන් සකස් කර ගෙන ගිතෙල් සමග මිශ්‍ර කර උදෑසන සහ සවස කලං එක බැගින් අනුභව කීරීමට ලබා දිය යුතුය .එමගින් දරුවන්ට ධාරණ ශක්තිය මනාව වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ . 

පීනස සදහා භාවිත කරනු ලබන ඖෂධයක් වේ. පීනිසය සුවපත් කර ගැනීම සදහා ,ගොටුකොළ දඩු,වලගසාල් ,සුදු ලූණු ,ඉගුරු පියළි  යනාදී ඖෂධ කලං තුන බැගින් සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන වතුර පත අටක් මිශ්‍ර කර පත එකක් වන සේ සිදුවා එයට සීනි ,මී පැණි මිශ්‍ර කර උදෑසන සහ සවස පානය කිරීම වඩාත් ගුණදායක වේ . 

උදෑසන කිවිසුම් යාම සහිත පීනිස සදහා ,ගොටුකොළ දඩු ,වලගසාල් ,අරළු සිවිය යනාදිය කලං තුන බැගින් ගෙන පත අට එකට සිදුවා උදෑසන සහ සවස පානය කිරීමෙන් සුවය ලබා ගත හැකිය . 

ලේ පීනිස සදහා ,ගොටුකොළ කොළ කළං හයක් ,තිත්පිලි, වලගසාල් ,ඉගුරු පියළි කලං දෙකක් යනාදී ඖෂධ ගෙන පත අට එකට සිදුවා සීනි සහ මීපැණි දමා උදෑසන සහ සවස පානය කිරීම වඩාත් ගුණදායක වේ . 

කැස්ස ඇති රෝගීන් ට ඔසුවක් වේ.කැස්ස ඇති පුද්ගලයන් ට ගොටුකොළ ‍රතු ළූණූ සමග ආහාරයට ගැනීම  ගුණදායක වේ. 

ගොටුකොළ ඉතාමත් ශක්තිජනක ආහාරයක් වේ .මෙම ඖෂධීය ශාකය මානසික පීඩනයන් සමනය කිරීම සදහා අගනා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඉන් එම පුද්ගලයාට සුවදායක නින්දක් ලබා දීම සදහා ද ගොටුකොළ හේතු වන බව පර්‍යේෂණ මගින් සොයා ගෙන තිබේ.

නව යොවුන් විය සුරකිනු ලබයි.නැවුම් ගොටුකොළ යුෂ එළකිරි සමග පානය කිරීම ගුණදායකවේ. 

උණ ,පාචනය, අතීසාරය සදහා ඔසුවක් වේ . මේ සදහා වැල්මී හා ගොටුකොළ කෂාය ඉතා ගුණදායක ඖෂධයක් වේ . 

මීට අමතරව ඇස්වල පෙනීම වර්ධනය කරන සම පැහැපත් කීරීම සදහා ද බලපානු ලබන ඖෂධයක් වේ .කිරි දෙන මව්වරුන් ගේ කිරි වර්ධනය කිරීමටත්, පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩි කිරීමටත් ,ශරීරයේ ඇති වන ඉදිමුම් පාලනය කිරීමටත් ,ස්නායු දුර්වලතා මගහරවා ගැනීමටත් ,රුධිරය පිරිසිදු කිරීමටත් ,ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කීරීමටත් , කුඩා දරුවන්ගේ කටහඩෙහි මිහිරි බව රැක ගැනීම සදහා ත් උපකාරී වන ඖෂධයක් වේ .

ඖෂධීය ගුණ රැසක් පිරි ගොටුකොළ අප ප්‍රධාන වශයෙන් සම්බෝල ලෙස සකස් කර හෝ කැද ලෙස සකස් කර ආහාරයට ගනු ලැබේ. මෙම ඖෂධීය පළා වර්ගය ඔබේ ආහාරයට එක් කර ගන්නේ නම් ඉන් ඔබටත් බෝහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකියාව තිබේ.