පිළිකාව කියන්නෙ අපි හැමෝම වඩාත් බියපත් වෙන වචනයක්. මොකද අපි ආදරේ කරන බොහෝ දෙනෙක් මේ මාරාන්තික රෝග තත්ත්වය නිසා අකාලයේ ජීවිතයෙන් සමුගන්නා නිසා සහ මේ රෝගයට තවමත් සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති නිසාවෙන්. නමුත් පිළිකාවක් හඳුනා ගන්නට ගතවෙන කාලය එය සුව කිරීම හෝ නොකිරීම කියන දේ තීරණය වෙනවා. මුල්කාලීනව හඳුනාගත්තොත් එය සුව කරගන්නට බොහෝ දුරට හැකියාව ලැබෙනවා. ඉතින් අපි ඔබ සමග කතා කරන්නේ අත දරුවාගේ පටන් මහල්ලා දක්වාම වැඩි දෙනෙකුට ජීවිතය අහිමි කරන තවත් එක් පිළිකාවක් ගැන. ඒ කාන්තාවන්ට බහුලව වැළඳෙන ගැබ්ගෙල පිළිකා පිළිබඳව.
අපේ රටේ කාන්තාවන්ට වැළඳෙන ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව බහුලතම පිළිකාව විදිහටයි සැලකෙන්නේ. පිළිකා නිසා අපේ රටේ සිදුවන මරණවලින් විශේෂයෙන්ම කාන්තා මරණවලින් ගැබ්ගෙල පිළිකා හේතුවෙන් සිදුවන මරණ දෙවැනි වෙන්නේ පියයුරු පිළිකා මරණවලට පමණයි. ඒ නිසා මේ පිළිබඳව කාන්තා ඔබ දැනුවත් විය යුතුමයි.
මුලින්ම සඳහන් කරන්නට ඕන මේ ගැබ්ගෙල පිළිකාව වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක් විදිහට සැලකෙන නිසා ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කාන්තා ඔබ තුළ ඇති දැනුමවත්භාවය පමණයි.

ලෝකය පුරාම ගැබ්ගෙල පිළිකාවට වැඩි වශයෙන් ගොදුරු වෙන්නේ අවුරුදු 35 – 45 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් . මේ බරපතළ සෞඛ්‍ය ගැටළුව ඇති කරන වෛරසය විදිහට හදුනාගෙන ඇත්තේ හියුමන් පැපිලෝමා වෛරසය. මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයක්.
මේ වෛරසය පුද්ගලයකුගේ ශරීරයට ඇතිළු වූ සැණින් හානියක් සිදු වෙන්නේ නැහැ. මේ වෛරසය ඇතුළු වූ අයගෙන් දහයෙන් නවයකටම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. මොකද බොහෝ වෙලාවට මේ වෛරසය මිනිස් ශරීරයට ඇතුළුවීමෙන් පසු වසර දෙකකට ආසන්න කාලයකදී ශරීරයෙන් ඉවත් වෙලා යනවා. නමුත් ඇතැම් අයගේ ශරීරයේ මේ වෛරසය දිගුකාලීනව රැඳී තිබුණොත් එය පිළිකා ඇති වෙන්නට හේතුවක් වෙනවා. මානව පැපිලෝමා වෛරසයේ ප්‍රභේද අතරින් ගැබ් ගෙල පිලිකා ඇති කරන්නේ HP 16, 18 යනාදිය.
ගැබ්ගෙල පිළිකාවක් ඇති වෙන්නට බලපාන හේතු
බහු ලිංගික සේවනය
පවුලෙ අයට ගැබ්ගෙල පිළිකා වැළඳී තිබීම
ක්ලැමීඩියා ආසාදන ආදි ලිංගාශ්‍රිත රෝග තත්ත්වයන්
දුම් පානය
අඩු වයසින් ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කිරීම
ප්‍රතිශක්තිකරණ ඌනතා රෝග තත්ත්ව
ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කරන සාධක
HIV රෝගය
එච් අයි වී රෝගීන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම නිසා ගැබ්ගෙල පිළිකාව ඇතිවීමේ අවදානම වැඩි වෙන්නට පුළුවන්.
දුම් පානය
පහල සමාජ හා ආර්ථික පසුබිම්වල ස්ත්‍රීන්ගේ ලිංගික පද්ධතියේ සනීපාරක්ෂාව අඩුවීම
කීමෝ තෙරපි ප්‍රතිකාර සිදුකරන කාන්තාවන්
බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පිරිමින් සමඟ ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන්
සක්‍රීයව දුම්පානය කරන කාන්තාවන්
මෙවැනි කාන්තාවන්ගේ ප්‍රතිශක්තිය පහළ අගයක් ගන්නා අතර එය මේ ගැබ් ගෙල පිළිකාවලට ඉතා පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව ඇති කරනවා.
වෙනත් ලිංගික රෝග වැළදී ඇති කාන්තාවන්
ගැබ්ගෙල පිළිකාවක් හඳුනා ගත හැකි ලක්ෂණ
මුත්‍රා කිරීමේදී වේදනාවක් ඇතිවීම
යෝනියෙන් අසාමාන්‍ය ගන්ධයක් වහනය වීම
යෝනියෙන් අසාමාන්‍ය තරල පිටවීම
යටිබඩේ වේදනාව
ඔසප් කාල දෙකක් අතර කාලයේදී යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස රුධිරය වහනය වීම
ලිංගික සංසර්ගයට පසුව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
ආර්තවභාවය සිදුවූ කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
ගැබ් ගෙල පිළිකාව සඳහා ප්‍රතිකාර
මෙහිදී ප්‍රතිකාර සිදු කරනු ලබන්නේ පිළිකාව පැතිර ඇති ප්‍රමාණයන් සැලකිල්ලට ගනිමින්. මේ පිළිකාව පැතිරී ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් නම් ශල්‍යකර්මයක් මඟින් එය ඉවත් කරනු ලබනවා.
මේ පිළිකාව ගර්භාෂය දක්වා පැතිරී ඇත්නම් ගර්භාෂය ඉවත් කිරීම සිදු කරනවා. ඇතැම් අවස්ථාවලදී විකිරණ සහ කිමෝ තෙරපි ද මේ තත්ත්වයට ප්‍රතිකාර සඳහා භාවිතා කෙරෙනවා.
ගැබ්ගෙල පිළිකා අවදානම අවම කර ගැනීම සඳහා උපදෙස්
ලිංගිකව එකතු නොවූ කාන්තාවන් HPV එන්නත ලබා ගැනීම
ගැබ් ගෙල පිළිකාවට එරෙහිව අවුරුදු 10-11 අතර ගැහැණු දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදෙන අතර එය මේ පිළිකා තත්ත්වය ඇතිවීම වළක්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ වගේම ගැබ් ගෙල පිළිකා ඇතිවිමේ අවදානම ඇති වයස් කාණ්ඩයේ ඇති කාන්තාවන්වටත් මේ එන්නත පෞද්ගලිකව ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා.නමුත් වඩාත් සාර්ථක ලෙස මේ පිළිකාවෙන් ආරක්ෂාව ලබා ගන්නට නම් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට පෙර මේ එන්නත් ලබාගත යුතු වෙනවා.
අවුරුදු 35 ට වැඩි සෑම කාන්තාවක්ම අවුරුදු පහෙන් පහට පැප් පරීක්ෂණය සිදුකර ගැනීම
යම් කාන්තාවකට ගැබ් ගෙල පිළිකා අවදානමක් ඇත්දැයි දැන ගන්නට සිදු කළ හැකි මේ පරීක්ෂාව මගින් පූර්ව පිළිකා අවධිය හඳුනා ගන්නට පුළුවන්. මෙය වයස 35 ට වැඩි ලිංගික ක්‍රියා සිදු කළ කාන්තාවකට සිදු කරගත හැකි වේදනාවෙන් තොර පරීක්ෂණයක්. මේ පරීක්ෂාව රජයේ රෝහල්වලින් නොමිලේ කරගන්නට හැකි අතර පෞද්ගලික රෝහල්වලින් ගෙවීමක් කර සිදු කරවා ගන්නට පුළුවන්.
දුම් පානයෙන් වැළකීම
හොඳ සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීම
අඩු වයසින් ලිංගික සබඳතාව පැවැත්වීමෙන් වැළකීම
අනාරක්ෂිත ලිංගික ඇසුරකදී උපත් පාලනය කොපු භාවිතා කිරීම
විශේෂයෙන්ම මේ පිළිකාව යෝනි මාර්ගය, ගුද මාර්ගය, මුත්‍රාශය, වකුගඩු වගේම මොළය දක්වා පවා පැතිර යන්නට පුළුවන්. නමුත් ඉහත සඳහන් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වුණොත් මුල් අවදියේදීම මේ පිළිකාව හඳුනා ගැනීමට හැකිවීමෙන් ඉතාම සාර්ථක ලෙස එය පාලනය කර ගන්නට වගේම පූර්ණ ලෙස සුව කරගන්නටත් හැකියාව ලැබෙනවා.