පිළිකා කියන රෝග තත්ත්වය පිළිබඳව අපි අද නිරන්තරයෙන් කතාබහ කරනවා. මොකද අද වෙද්දි බොහෝදෙනා පිළිකා රෝගයේ ගොදුරු බවට පත්වෙන නිසා. පිළිකාවක් ශරීරයේ වර්ධනය වන බව හඳුනා ගන්නා විට ඒ පිළිකා සෛල ශරීරයේ බොහෝසෙයින් පැතිරී ගිහින් පාලනය කළ නොහැකි මට්ටම දක්වාම. ඒ නිසා පිළිකාවක් වර්ධනය වීමේ මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීම ඒ පිළිකා සෛල මර්දනය කරන්නට බෙහෙවින් උදව් වන කාරණයක්. ඒ නිසා නිරන්තරයෙන්ම එවැනි පිළිකා තත්ත්වයන් කල්තියා හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ පිළිබඳව අපි අවදියෙන් සිටිය යුතුයි.
ඉතින් ගැබ් ගෙල පිළිකා කියන්නේ කාන්තා පාර්ශවය අතරේ බහුලවම අසන්නට දකින්නට ලැබෙන තවත් එක් පිළිකා විශේෂයක්. මේ පිළිකාව කල්තියා හඳුනා ගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කරන්නට හැකියාව පවතිනවා. ඒ නිසා අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ මේ ගැබ් ගෙල පිළිකාවක් කල්තියා හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ පිළිබඳව.
කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ් ගෙල ලෙස හඳුන්වනු ලබනවා.මේ ප්‍රදේශයේ හටගන්නා මේ පිළිකා තත්ත්වය බහුල වශයෙන් අවුරුදු 35 -50 ත් අතර කාන්තාවන් තුළ දකින්නට පුළුවන්. මේ පිළිකාව මූලික වශයෙන් ඇති වෙන්නේ ගැබ්ගෙල ආශ්‍රිතව හට ගන්නා මානව පැපිලෝමා වෛරස (Human papillomavirus or HPV ) ආසාදනය වී දීර්ඝ කාලයක් පැවතීම හේතුවෙන්. මෙය ලිංගිකව සම්ප්‍රේශනය වෙන වෛරසයක් වන අතර මේ වෛරස ආසාදනය ඇතිවූ සෑම අයෙකුටම මේ ගැබ් ගෙල පිළිකා ඇති වෙන්නේ නැහැ. එය සුව වෙන්නට ගතවන කාලය දීර්ඝවීමත් සමඟ කාන්තාවකට ගැබ් ගෙල පිළිකාවක් ඇති වෙන්නට ඉඩකඩ පවතිනවා. නමුත් මේ පිළිකාව වැළදෙන කාන්තාවන්ගෙන් 80% ක්ම පූර්ණ සුවයට පත්වෙනවා.
ගැබ් ගෙල පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අය

- බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්
- කීමෝ තෙරපි ප්‍රතිකාර සිදුකරන කාන්තාවන්
- බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පිරිමින් සමඟ ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන්
- සක්‍රීයව දුම්පානය කරන කාන්තාවන්
මෙවැනි කාන්තාවන්ගේ ප්‍රතිශක්තිය පහල අගයක් ගන්නා අතර එය මේ ගැබ් ගෙල පිළිකාවලට ඉතා පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව ඇති කරනවා.
- අඩු වයසින් ලිංගික ජීවිතය ආරම්භ කළ කාන්තාවන්
- ඒඩ්ස් රෝගය ආසාදනය වී ඇති කාන්තාවන්
- වෙනත් ලිංගික රෝග වැළදී ඇති කාන්තාවන්
රෝග ලක්ෂණ
- යටිබඩේ වේදනාව
- නමුත් මේ තත්ත්වයේදී බොහෝවිට වේදනාවක් ඇති වෙන්නේ නැහැ.
- ඔසප් කාල දෙකක් අතර කාලයේදී යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස රුධිරය වහනය වීම
- ලිංගික සංසර්ගයට පසුව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
- ආර්තවභාවය සිදුවූ කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
- යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්‍රාවයක් පිටවීම
පැප් ටෙස්ට් (PAP test )

යම් කාන්තාවකට ගැබ් ගෙල පිළිකා අවදානමක් ඇත්දැයි දැන ගන්නට සිදු කළ හැකි මේ පරීක්ෂාව මගින් පූර්ව පිළිකා අවධිය හඳුනා ගන්නට පුළුවන්. මෙය වයස 35 ට වැඩි ලිංගික ක්‍රියා සිදු කළ කාන්තාවකට සිදු කර්ගත හැකි වේදනාවෙන් තොර පරීක්ෂණයක්. ඒ වගේම වයස අවුරුදු 35 ට අඩු විවාහක කාන්තාවක් නම් එවැනි අයෙකුටත් වසර 5 ට වරක් මේ පැප් පරීක්ෂාව සිදු කර ගන්නට පුළුවන්.මේ පරීක්ෂාව රජයේ රෝහල්වලින් නොමිලේ කරගන්නට හැකි අතර පෞද්ගලික රෝහල්වලින් ගෙවීම කර සිදු කරවා ගන්නට පුළුවන්.
ගැබ් ගෙල පිළිකා වළක්වා ගන්නට අනුගමනය කළ යුතු උපදෙස් එන්නත් ලබාදීම ගැබ් ගෙල පිළිකාවට එරෙහිව අවුරුදු 10-11 අතර ගැහැණු දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදෙන අතර එය මේ පිළිකා තත්ත්වය ඇතිවීම වළක්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ වගේම ගැබ් ගෙල පිළිකා ඇතිවිමේ අවදානම ඇති වයස් කාණ්ඩයේ ඇති කාන්තාවන්වටත් මේ එන්නත පෞද්ගලිකව ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා.නමුත් වඩාත් සාර්ථක ලෙස මේ පිළිකාවෙන් ආරක්ෂාව ලබා ගන්නට නම් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට පෙර මේ එන්නත් ලබාගත යුතු වෙනවා.
- අඩු වයසින් ලිංගික සබඳතාව පැවැත්වීමෙන් වැළකීම
- අනාරක්ෂිත ලිංගික ඇසුරකදී උපත් පාලනය කොපු භාවිතා කිරීම
ඒ හැරුණාම ලිංගික ඇසුර විශ්වාසවන්ත සහකරුවෙකු සමඟ පමණක් පැවැත්වීම වගේම වසර 5 ට වරක් පැප් පරීක්ෂණය සිදු කිරීම මගින් මේ ගැබ් ගෙල පිළිකා ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.
මේ පිළිකා තත්ත්වය අදියර කිහිපයක් ඔස්සේ ක්‍රමයෙන් වර්ධනය වීම නිසා වඩාත් භයානක තත්ත්වයන් ඇති කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ පිළිකාව යෝනි මාර්ගය, ගුද මාර්ගය, මුත්‍රාශය, වකුගඩු වගේම මොළය දක්වා පවා පැතිර යන්නට පුළුවන්. නමුත් ඉහත සඳහන් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වුණොත් මුල් අවදියේදීම මේ පිළිකාව හඳුනා ගැනීමට හැකිවීමෙන් ඉතාම සාර්ථක ලෙස එය පාලනය කර ගන්නට වගේම පූර්ණ ලෙස සුව කරගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ නිසා කාන්තා ඔබට සිදු කළ හැකි වඩාත් සුදුසුම ක්‍රියාව වෙන්නේ වසර 5 ට වරක් පැප් පරීක්ශාව කරවා ගැනීමයි. එමගින් ඔබගේ ගැබ් ගෙලේ පිළිකා සෛල වර්ධනය වීමක් සිදු වන්නේ ද යන්න තහවුරු කරගෙන ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්.