මහ බඩවැලේ පිළිකාවක් හැදීගෙන එන විට බඩේ සහ මලපහ වල ඇතිවෙන වෙනස්කම් 14 ක්

health tips

අපට ඕනෑම වයසකදී අපේ ශරීරයේ  ඕනෑම ස්ථානයක පිළිකාවක් ඇති වෙන්නට පුළුවන්. එය හඳුනා ගැනීම  සඳහා ගතවන කාලය අනුව එය සුව කර ගැනීමේ අවස්ථාව නැතිවී යන්නට පුළුවන්. පිළිකා වැනි භයානක රෝගයක්  මුල් කාලීනවම හඳුනා ගැනීම එය බොහෝදුරට පාලනය කරගන්නට හෝ සම්පූර්ණයෙන්ම සුවකර ගන්නට හැකියාව තියෙනවා. නමුත් කාලයක් ගතවීමේදී එය දේහය පුරා ව්‍යාප්ත වීමෙන් වඩා බරපතල ගැටළුවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. පිළිකා නිසාවෙන් දිනකට සැලකිය යුතු මරණ ගණනක් වාර්තා  වෙනවා. ඒ නිසා  පිළිකාවක්  හටගෙන  ඇතිද යන්න දැන ගන්නට අදාල ලක්ෂණ පිළිබඳව අපි දැනුවත් සිටිය යුතු වෙනවා.

අද අපි කතා  කරන්නේ මහ බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා  සම්බන්ධව. මොකද මහ අන්ත්‍රයේ පිළිකා සිව්වන තැන තමයි පවතින්නේ. පිළිකාවලින් සිදුවෙන මරන සැලකිල්ලට ගත් විට මහ අන්ත්‍රයේ පිළිකා නිසා  ඇතිවන මරණ  දෙවන ස්ථානයේ පසු වෙනවා. නමුත් සෑම පිළිකාවකින්ම රෝගියෙක් මිය යන්නේ නැහැ. නමුත් මහ අන්ත්‍රයේ පිළිකාවක් සඳහා නිසි පරිදි ප්‍රතිකාර නොකළොත් එය මරණය කරා  ඒ රෝගීයාව ගෙන යාමේ ඉහළ අවදානමක් පවතිනවා. ඒ වගේම මේ පිළිකාව මුල් අවස්ථාවේදී හඳුනා ගන්නට පහසු පිළිකා  රෝගයක්. ඇතැම්විට පිළිකාව හට ගන්නට පෙර සිටම වුණත් එය දැන කියා  ගන්නට පවා ඉඩකඩ තියෙනවා. ඒ නිසා  මේ පිළිකා කලින් දැන ගැනීම මත සුවකර ගන්නට හැකියාව තියෙනවා.

මහ අන්ත්‍රය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස . මහ බඩවැල සතු කාර්යබාරය වෙන්නේ ජීර්ණය අවසන් වුණු ආහාර කොටස් තවදුරටත් ජීර්ණය කර ඒ ආහාර කොටස් (මලපහ ) ගබඩා කර තැබීම සහ ජලය උරා ගැනීම. 

අන්ත්‍රවල පිළිකා  ඇති වෙන්නේ ඇයි 

මේ සඳහා නිශ්චිත හේතුවක් සඳහන් කරන්නට නොහැකි වුණත් ඒ සඳහා  යම් යම් හේතු බලපෑ හැකි බව සඳහන් වෙනවා. 

  • ජානමය හේතු තමන්ගේ පවුලේ අයෙකුට හෝ සමීප ඥාතියෙකුට අඩු වයසින් (35-40 )  මහා අන්ත්‍රයේ පිළිකා පියයුරු හෝ ඩිම්බකෝෂවල පිළිකා  තත්ත්වයක්  වැලදී ඇත්නම් එවැනි පවුල් පසුබිමක ඉන්නා  අයෙකුට මහා  අන්ත්‍රයේ පිළිකාවක් ඇතිවීමේ  හැකියාවක් පවතිනවා.
  • ක්‍රියාශීලී නොවන ජීවන රටාවක් ගත කිරීම 
  • තරබාරුව 
  • දියවැඩියාව 
  • දුම්පානය 
  • අධික ලෙස මත්පැන් පානය 
  • කෙඳි අඩු ආහාර නිතර ගැනීම 

මහ බඩවැලේ පිළිකාවක් හඳුනා ගන්නේ කොහොමද 

මහ බඩවැලේ පිළිකා තත්ත්වයකදී  ඒ පිළිකාව වර්ධනය වන ස්ථානය අනුව දකින්නට ලැබෙන ලක්ෂණ වෙනස් වෙනවා. විශේෂයෙන්ම දකුණු පස ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්ත්වයකදී රෝග ලක්ෂණ පහළවීම ඉතාම අවමයි. එවැනි අවස්ථාවකදී මෙවැනි ලක්ෂණ කිහිපයක් ඇති වෙන්නට පුළුවන්.

  • ආහාර අරුචිය 
  • රක්තහීනතාවය (ඇනීමියාව )
  • මලපහ සමඟ ලේ පිටවීම

මහ අන්ත්‍රයේ  වම්  පස පිළිකාවක්  හඳුනා ගැනීමේදී පහත  ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.

  • මලපහ පිටවීම අක්‍රමවත් වීම මෙය මහ බඩවැලේ වම් පස පිළිකාවකදී හඳුනා ගත හැකි මූලිකම ලක්ෂණයක්. මෙහිදී සාමාන්‍යයෙන් වෙනදා මලපහ  එක්වරක් පිට කළ අයෙකුට එය දෙතුන් වරක් සිදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවසකට වරක් මලපහ පිට කිරීම සාමාන්‍ය  ලෙස සිදු වුණු අයෙකුට මලපහ පිට කිරීම දින 2 ට වරක් සිදුවීම ආදී මලබද්ධය තත්ත්වයක් වුණත් ඇති වෙන්නට පුළුවන්. ඒ අනුව මෙසේ මලපහ පිටවීමේ වෙනසක් ඇතිවීම මෙවැනි පිළිකා තත්ත්වයකදී සිදු විය හැකියි.
  • මලපහ සමඟ ලේ පිටවීමමෙය වේදනාවක් රහිතව සිදුවන රුධිර ගලනයක්. මලපහ පිට කරනවිට ඇතැම් අවස්ථාවල මේ රුධිරය පිටවෙන්නට පුළුවන්. එය දිනකට වරක් සතියකට වරක් හෝ මාසයකට වරක් සිදුවෙන්නටත් පුළුවන්. 
  • බඩේ කැක්කුම
  • බඩ පුරවා දැමීම 
  • බඩවැල් අවහිරවීමක් සිදුවුණොත්  ආහාර ගත්විට බඩ පිපුමක් ඇති වෙන්නට පුළුවන්.

ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාවක් වර්ධනය වීමේදී පහත ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.

  • උදරයේ පහළ කොටසේ වේදනාව 
  • මලපහ පිට කළත් එය නැවත  පිට කරන්නට අවශ්‍ය යැයි දැනීම 
  • මලපහ පිට කිරීම අවශ්‍ය  වුණත් මලපහ පිට නොවීම හෝ ස්වල්පයක් පමණක් පිටවීම 
  • මලපහ සමඟ සෙම වැනි දේවල් පිටවීම 

ඒ හැරුණාම පොදුවේ පහත ලක්ෂණ මේ මහ බඩවැලේ පිළිකා හේතුවෙන් ඇති වෙන්නට පුළුවන්.

• වරින්වර වැසිකිලියාමේ අවශ්‍යතාවය ඇතිවීම කාලයක් තිස්සේ පවතින කොන්දේ කැක්කුම

• බඩවැලේ තදවීම 

• වමනය 

මෙය බොහෝවිට සම්පූර්ණයෙන්ම බඩවැල් අවහිරවීමකදී හදිසියේ ඇතිවන තත්ත්වයක්  ලෙස හට ගන්නවා.මෙහිදී ඔබ වැඩි වශයෙන් සැලකිලිමත් විය යුත්තේ සාමාන්‍ය  ක්‍රමයට වඩා  වෙනසක් ඒ දේවල්වලදී සිදුවීම .නමුත් එයින් ඔබට නිශ්චිතවම පිළිකාවක් කියලා සිතන්නට බැහැ.  ඒ නිසා  මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුත්තේ වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයන්. මොකද අවුරුදු 40 න් පසුව මේ  වෙනස්කම සාමාන්‍යයෙන් ඇති වෙන්නට හැකියාව තියෙන නිසා. ඒ වගේම මේ වෙනස්කම්  දීර්ඝ කාලයක් දකින්නට ලැබුණොත් එය සැලකිලිමත් විය යුතු තත්ත්වයක් වෙනවා.

මේ පිළිකාවේ ඇති භයානකම තත්ත්වය වන්නේ ඉහත සඳහන් කළ කිසිදු රෝග ලක්ෂණයක් බාහිරට නොපෙන්වා අවුරුදු 5-10 ක් තරම් කාලයක් තිස්සේ පිළිකාව මහ බඩවැලේ වර්ධනය වීමයි. එවැනි රෝගීන් බොහොමයක් සමාජයේ සිටින නිසා ඔවුන් නිරන්තරයෙන්ම පෙර හඳුනා ගැනීමේ පරීක්ෂණ වෙත යොමු වීම මගින් මේ පිළිකාව කල්තියා හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාර්ථක ලෙස සුවකරන්නට හැකියාව පවතිනවා.

මෙවැනි පිළිකාවක් හඳුනා ගත්විට මූලිකම ප්‍රතිකාර ක්‍රමය වෙන්නේ පිළිකාව ආශ්‍රිත කොටස් ඉවත් කර නැවත බඩවැල සම්බන්ධ කිරීම. එය සාමාන්‍ය ජීවිතයට  ගැටළුවක්  වෙන්නේ නැහැ.මොකද මහ බඩවැල සැලකිය යුතු දිගකින් සමන්විත නිසා. නමුත් ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකාවකදී නම් එය තරමක් බරපතල වෙනවා. ඒ නිසා  ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය  නම් විකිරණ ඇල්ලීමක් සිදුකර  පිළිකාව සමඟ ගුද මාර්ගය ඉවත් කරන්නට සිදු වෙනවා. ඒ වගේම ඒ ශල්‍ය  කර්මය සිදු කිරීමෙන් පසුව ඒ සඳහා වූ ඖෂධ ලබාදීමක් ද සිදු කරනවා.

සෑම පිළිකාවක්ම භයානකයි. එය මරණය කරා අපිව ගෙන යන්නට විශාල අවදානමක්  නිර්මාණය කරනවා.ඒ නිසා  ඔබට මෙවැනි ලක්ෂණ ඇත්නම් පමා  නොවී වෛද්‍යවරයෙකු හමුවට ගොස් අදාල ප්‍රතිකාර ලබා ගන්න.