කම්මුල් එල්ලා වැටීම වළකන ක්‍රම 11 ක්

health tips

අපි හැමෝම ලස්සනට ඉන්නට කැමතියි. ඕනෑම කෙනෙකුගේ ඇස් මුලින්ම යන්නේ මුහුණ වෙතට. මුහුණේ ඇති පිරුණු කම්මුල් යුවතියකගේ සුන්දරත්වය වැඩි කරවන බව නොරහසක්. නමුත් එල්ලා වැටුණු කම්මුල් ඒ සුන්දරත්වයට බාධා කරමින් වයස්ගත පෙනුමක් ලබාදෙනවා. වයසට යාමත් සමඟ අපේ සමත් වියපත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. සම එල්ලා වැටීම නතර කළ නොහැකි වුණත් කම්මුල් එල්ලා වැටීම අඩු කර ප්‍රමාද කරගන්නට  අපිට පුළුවන්. කම්මුල් එල්ලා වැටෙන්නට බලපාන හේතු පිළිබඳව දැනුවත්ව සිටීම වගේම ඒ සඳහා කළ හැකි ක්‍රමවේද පිළිබඳව දැනුවත්ව සිටීමත් ඉතා වැදගත්.

කම්මුල් එල්ලා වැටීමට බලපාන හේතු 

දුරකථනය නිතර භාවිතා කිරීම  අද ලොකු කුඩා සැමදෙනාටම දුරකථනය නැතුවම බැරි උපාංගයක් වෙලා. ස්මාට් දුරකථනය හෝ ටැබ් නිතර භාවිතා කිරීම ඔබගේ කම්මුල් එල්ලා වැටීමට හේතු වෙනවා.නිතරම ඉලෙක්ට්‍රොනික් උපකරණ දෙස බලා සිටීමෙන් ඇස්වලට වගේම මුහුණේ සමටත් ඉතා හානිකර බලපෑමක් ඇතිවෙනවා. එය සම රැලි වැටීමටත් හේතුවක්.

මේද සහිත ආහාර සම්පූර්ණයෙන්ම නතර කිරීම බර අඩු කරගන්නට මේදමය ආහාර අඩු කිරීම යහපත් වුණත් ඒවා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීම මගින් සමේ සෛලවල ඇදෙන සුළු බව ආරක්ෂා කිරීමට උපකාරී වන ඔමේගා 3 ඔමේගා 6 වැනි මේද අම්ල ශරීරයට ලැබෙන්නේ නැතිව යනවා.එය කම්මුල් එල්ලා වැටීමට හේතු වෙනවා.

ඊස්ට්‍රජන් හෝර්මෝන හිඟය සමේ ඇදෙන සුළු බව සඳහා අවශ්‍ය කරන ඉලාස්ටින් හා කොලජන් නිපදවන්නට ඊස්ට්‍රජන් හෝර්මෝනය අවශ්‍ය  වෙනවා.ඇතැම් විට ඊස්ට්‍රජන් හෝර්මෝනය ශරීරයේ අඩුවීම නිසා කම්මුල් එල්ලා වැටීමට සම සුදුමැලිවීමට වගේම සම රැලි වැටීමටත් බලපානු ලබනවා.

වේගයෙන් බර අඩුකර ගැනීම බර අඩුකර ගැනීම එකවර නොව ක්‍රමයෙන් සැලසුම් කිරීමයි සෞඛ්‍යාරක්ෂිත වන්නේ.නමුත් එකවරම ආහාර පාලනය කිරීමෙන් බර අඩුවීම නිසා සිරුරට අවශ්‍ය මේදය විටමින් ආදිය අඩුවීමෙන් සම එල්ලා වැටීමට පුළුවන්.

අධික සීනි පරිභෝජනය සීනි අණුවල අස්ථි තුළ ඇති කොලජන් සහ ඉලාස්ටින් අකර්මණ්‍ය කිරීමට හැකියාව ඇති නිසා පරිභෝජනය කරන සීනි  ප්‍රමාණය වැඩිවෙන විට එය සම එල්ලා වැටීමට හේතු වෙනවා.

වැඩි කාලයක් හිරු එළියට නිරාවරණය වීම විශේෂයෙන්ම UVA  නමින් හැඳින්වෙන විකිරණ සමට ඉතාම අන්තරායකර වෙනවා.සමේ ගැඹුරටම ගමන් කර හානි සිදු කිරීමට සමත් වන අතර ඇතුල් සම 70% පමණ කොලජන්වලින් සමන්විත අතර UVA  කිරණ මේවා විනාශ කර දමන්නට සමත්වීමෙන් සමට බලපෑම් ඇතිවෙනවා.

දත්වල ඇති විකෘතිතා නළ දත් ඇතුළු අක්‍රමවත් ලෙස පිහිටි දත් නිසා මුහුණේ සම ඇදීමකට ලක් වෙනවා.ඒ නිසා ආහාර සැපීමේ රටාවත් වෙනස් වෙනවා.ඒ සඳහා වැඩි වෙහෙසක් දරන්නට සිදුවීම නිසා මුහුණේ සමේ මාංශපේශී එල්ලා වැටීම සිදු වෙනවා.

අඩු නින්ද සාමාන්‍යයෙන් පැය 8 ක නින්දක් ලැබීම ශරීරයේ නීරෝගි පැවැත්මට හිතකර වෙනවා. නිසි පරිදි නින්ද නොලැබීම සම එල්ලා වැටීමට හේතු වෙනවා. විශේෂයෙන්ම සම අලුත්වැඩියා කිරීම ආදිය රාත්‍රී කාලයේදී සිදුවන නිසා ප්‍රමාණවත් නින්දක් ලැබීම අත්‍යවශ්‍යයි.

ව්‍යායාම් පිණිස දිවීම වැඩිහිටි වයසේ පසුවන අයෙක් එළිමහනේ දිවීමේදී නොනවත්වා සිරුර සෙලවීම හිරු එළියට නිරාවරණය ආදිය නිසා කම්මුල් එල්ලා වැටෙන්නට පුළුවන්.

  • දියවැඩියා රෝගය 
  • මානසික ආතතිය 
  • සිගරැට් දුම  සහ වායු දූෂණය 

කම්මුල් එල්ලා වැටීම වළක්වා ගන්නට අනුගමනය කළ හැකි  ක්‍රමවේද 

පොල්තෙල් සමේ සෛල පුනර්ජීවනය කරන අතර පොල්තෙල්වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් සමට හානි කරන සහ වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරන ෆ්‍රී රැඩිකල්ස් ඉවත් කරනවා. ඒ නිසා නින්දට යාමට පෙර කම්මුල් මත පොල්තෙල් ස්වල්පයක් ආලේප කර ඉහළට රවුම් චලිතයකින් මිනිත්තු 5-10 ක් සම්බාහනය කරන්න.

විටමින් E සමේ නීරෝගී බවට වගේම දීප්තියටත් විටමින් E  අත්‍යවශ්‍යයි.සෑම දිනකම රාත්‍රී නින්දට යාමට පෙර විටමින් E කරල්වලින් ලබාගත් ඔයිල් සමේ ආලේප කර විනාඩි 5-10 ක් සම්බාහනය කරන්න.

ආමන්ඩ් තෙල් විටමින් E වලින් පොහොසත් ආමන්ඩ් ඔයිල් සමේ ව්දනාවන් අඩුකර සම තද කිරීමට උපකාරී වෙනවා.ස්නානය කිරීමට පෙර ආමන්ඩ් තෙල් ආලේප කර විනාඩි 20 පමණ සම්බාහනය කරන්න.

ව්‍යායාම  අපේ ශරීරයේ අනෙකුත් අවයවයන්වල ක්‍රියාකාරිත්වය වැඩි කර ගන්නට වගේම මුහුණේ සම වියපත්වීම රැලි වැටීම එල්ලා වැටීම පාලනය කර ගන්නටත් ව්‍යායාම සිදු කළ හැකියි. එමගින් සම වියපත්වීම පමා කරමින් මුහුණේ ලේ ගමනාගමනය වැඩි කර පෙනුම ඉස්මතු කරනු ලබනවා.

  • දෙඅත්ල එකිනෙක හොඳින් අතුල්ලා රත්වූ පසුව මුහුණ හොඳින් තවා ගන්න.
  • හොඳින් හුස්මක් ගෙන දෙතොල් ඕ හැඩයට සකසා දබර ඇඟිල්ල තොල් මත තෙරපන්න. එයින් මුහුණේ ලේ ගමනාගමනය හොඳින් සිදු වෙනවා.
  • කට ඕ හැඩයට තබාගෙන උල් වූ කට මුහුණ දෙපැත්තට කරන්න.දිනකට වාර 5 ක් කිරීම ප්‍රමාණවත්.
  • හොඳින් හුස්මක් ගෙන මුඛයේ වාතය පුරවා ගෙන මහපට ඇඟිලි දෙකෙන් නාස්පුඩු වසා දෙඅත්ල නළල මතට ගන්න.නිකට පපුවේ ගෑවෙන ලෙස පහත් කරන්න. මෙය වාර 7 ක් කිරීම ප්‍රමාණවත්.
  • කම්මුල් හකුලවා තොල් ඕ හැඩයට ගෙන තොල් සෙමෙන් ක්‍රියා කරවන්න.
  • සමේ කොලජන් ප්‍රමාණය වැඩි කරන එළවලු පලතුරු වර්ග ආහාරයට එකතු කර ගැනීම.
  • ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතය සහ ඩිජිටල් තිර දෙස බලා සිටීම අඩු කිරීම 
  • අධික සීනි සහිත ආහාරවලින් වැළකීම 
  • හිරු එළියට නිරාවරණය වීමේදී සමට සුදුසු Sun cream එකක් භාවිතා කිරීම 
  • වැඩිහිටි පුද්ගලයන් දිවීම හැර වෙනත් ව්‍යායාම්වල නිරතවීම කම්මුල් එල්ලා වැටීම වළක්වා ගන්නට උපකාරී වෙනවා.
  • සාමාන්‍යයෙන් දිනකට පැය 8 ක නින්දක් ලබා ගැනීම 
  • වැඩිපුර ජලය පානය කිරීම.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 35 පසු වූ විට වියපත් වන එල්ලා වැටෙන සම නිසා කනස්සල්ලෙන් පසුවන ඔබටත් සම වියපත් වීම පාලනය කරගන්නට පමා කරගන්නට බලාපොරොත්තු වන ඔබටත් මේ උපදෙස් ඉතා වැදගත් වෙන බව නිසැකයි.