අද වෙද්දි කාන්තා පුරුෂ දෙපාර්ශවයම පීඩා විදින ගැටළුවක් තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග .පුරුෂයන්ටත් වඩා මේ තත්ත්වයන් කාන්තාවන් අතර බහුලයි. ගෙල ඉදිරිපස සමනලයෙකුගේ හැඩය ගත් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය අපේ දේහයට අවශ්‍ය කරන හෝර්මෝන ශ්‍රාවය කරනු ලබනවා. ඒ නිසා මේ ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩිවීමෙන් හෝ අඩු වීමෙන් ඒ හෝර්මෝන නිකුත් කිරීමේ ගැටළු නිසා අපේ දේහයට විවිධාකාරයේ ගැටළු ඇති කරනවා. ඉතින් මේ ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිසා බොහෝඅය දීර්ඝකාලයක් තිස්සේ ඖෂධ ලබා ගන්නවා. ඉතින් මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු සඳහා අපි ගන්නා තයිරොක්සීන් ගැන අපි අනිවාර්යෙන් දැනගත යුතු කරුණු කාරණා බොහොමයක්ම තියෙනවා. ඒ නිසාවෙන් තයිරොක්සීන් ඖෂධය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්.
මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොක්සීන් කියන හෝර්මෝනය ශ්‍රාවය කරනු ලබනවා. මේ තයිරොක්සීන් හෝර්මෝනය නිෂ්පාදනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වෙන්නේ අයඩීන්. ඒ වගේම තයිරොක්සීන් ක්‍රියාකාරිත්වය සම්පූර්ණ කිරීමට සින්ක් සහ සෙලිනියම් ලවණත් වැදගත් වෙනවා.මේ තයිරොක්සීන් හෝර්මෝනය අපේ ශරීරයේ ලොකු කුඩා සෑම අවයවයකම නිසියාකාර පැවැත්මට සහ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් වැදගත් වෙනවා. තයිරොක්සීන් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය අඩුවීම හෝ තයිරොක්සීන් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය වැඩිවීම වගේම මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ඇතිවීමේ තත්ත්වයන් පවා වාර්තා වෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීමට බලපාන හේතු

- සිරුරෙන් නිපදවන ප්‍රතිදේහ මගින් තයිරොයිඩ් ග්‍රන්ථයට විරුද්ධව ක්‍රියා කිරීමෙන් ග්‍රන්ථියට හානිවීම.
- අයඩීන් වැඩි ප්‍රතිශතයකින් භාවිතා කිරීම.
- තයිරොයිඩ් ග්‍රන්ථිය ශල්‍ය ක්‍රර්මයක් මගින් ඉවත් කිරීම
තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීම අඩුවීම මත ඇතිවන රෝග ලක්ෂණ
- මන්දගාමී බව
- අලස බව
- නිතර නිදිමත ඇතිවීම
- ඉක්මනින් බර වැඩිවීම
- ඔසප් චක්‍රය අක්‍රමවත්වීම මෙහිදී රුධිර වහනය අධික වන්නට පුළුවන්. මේ තත්ත්වයන් මදසරුභාවයටත් හේතුවක් වන්නට පුළුවන්.
අඩු තයිරොක්සීන් ප්‍රමාණයක් ශරීරයේ නිපදවීමෙන් දේහයේ ඇතිවිය හැකි සංකූලතා
- රුධිර පීඩනය වැඩිවීම
- හෘද ස්පන්දනය අඩුවීම සහ ඉතා දරුණු ලෙස තයිරොක්සීන් හෝර්මෝනය මගින් හෘදවස්තුවේ පටල තුළ ජලය රැඳීම
- රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම
- ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා මතක ශක්තිය අඩුවීම
- සම වියළි වීම
- අසාමාන්‍ය හිසකෙස් හැලීයාම
තයිරොක්සීන් පෙති භාවිතය

දේහයේ තයිරොක්සින් හෝර්මෝනය අඩුවීම නිසා එයට ප්‍රතිකාර වශයෙන් තයිරොක්සීන් ගන්නට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. හෝර්මෝනයක් වන මෙය දිනපතා ගැනීම ඉතා වැදගත්.
පුද්ගලයෙකුට ලබාදිය යුතු තයිරොක්සින් මාත්‍රාව තීරණය කරන්නේ TSH කියන රුධිර පරීක්ෂාව අනුව සහ දේහයේ බර අනුවයි. ඒ නිසා ඔබ විසින් ඒ ගනු ලබන තයිරොක්සීන් ප්‍රමාණය අඩු හෝ වැඩිකර ගැනීම සුදුසු නැහැ. මොකද ඒ තයිරොක්සීන් හෝර්මෝනය වැඩිවීම හෝ අඩුවීම යන තත්ත්වයන් දෙකම ශරීරයට හානිදායක ගෙන දෙන නිසා. ඒ නිසා මෙහි මාත්‍රාව වෙනස් කළ යුතු වෙන්නේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණයි.
- මේ හෝර්මෝනය උදෑසන හිස්බඩ ලබාගත යුතුයි.ආමාශයේ ආහාර පවතින අවස්ථාවක් මේ හෝර්මෝනය ලබාගත්තොත් එය දේහය අවශෝෂණය කර ගැනීම නතර වෙන්නට හේතු වෙනවා.
- මේ හෝර්මෝනය ලබාගෙන විනාඩි 30 ක් හෝ පැයක කාලයක් ගතවීමෙන් පසුව උදෑසන ආහාරය ගැනීමයි වඩාත් සුදුසු.
- යම්විටෙක තයිරොක්සීන් පෙත්ත ලබා ගැනීම අමතක වුණොත් ආහාරවේලකින් පසුව පැය 4 ක් පමණ ගතවීමෙන් පසුවයි මෙය ලබාගත යුත්තේ.
- මේ හෝර්මෝන පෙති හිරු එළිය නොවදින ස්ථානයක ගබඩා කර තබා ගැනීමත් මෙහිදී ඉතා වැදගත් වෙනවා.
තයිරොක්සින්වල අතුරු ආබාධ
බොහෝ අයට ඒ තයිරොක්සීන් හෝර්මෝනය ජීවිත කාලය පුරාම ලබා ගන්නට සිදු වෙනවා. ඒ වගේ අවස්ථාවල බොහෝදෙනෙක් මෙහි අතුරු ආබාධ ගැන විමසිලිමත් වෙනවා. නමුත් මෙය ඖෂධයක් නොව අපේ සිරුරට අත්‍යවශ්‍ය හෝර්මෝනයක් බව මතකයේ තබා ගන්න. ඒ නිසා යම්විටෙක අතුරු ආබාධයක් ඇති වෙන්නේ එය අඩුවෙන් හෝ අධිකව දේහයට ලැබුණොත් පමණයි.ඒ වගේම අවස්ථාවල,
- අස්ථි දුර්වල වීම
- හෘදයේ ක්‍රියාකාරිත්වය වැඩිවීම
- හදවත වේගයෙන් ගැහීම
- අසාමාන්‍ය ලෙස දහදිය දැමීම
- නින්ද නොයාම
- අසනීප බවක් දැනීම
- හිසරදය
- කිරීටක හෘද රෝග නිසා ඇතිවන පපුවේ කැක්කුම
- වෙව්ලීම
- සම රතුවීම
- මාංශපේශී දුර්වල වීම
- කෙණ්ඩා පෙරලීම
- ආදී බලපෑම් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. නමුත් එය නිසි මාත්‍රාවෙන් ලබා ගැනීම ගැටළුවක් වෙන්නෙ නැහැ.
තයිරොක්සීන් සමඟ වෙනත් ඖෂධ ගැනීම සුදුසු ද?

විශේෂයෙන්ම ගර්භණී සමයේදී භාවිතා කරන යකඩ පෙති සහ කැල්සියම් පෙති තයිරොක්සින් හෝර්මෝනය සමඟම ඒ මොහොතේම ලබා ගැනීම සුදුසු නැහැ. මේ ඖෂධ සමඟ ලබා ගන්නා තයිරොක්සීන් හෝර්මෝනය දේහයට උරා ගන්නේ නැහැ. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව මේ ඖෂධ සහ තයිරොක්සීන් හෝර්මෝනය ලබා ගන්නට කටයුතු කරන්න.
මේ හෝර්මෝනය ලබා ගන්නා දරු ප්‍රසූතියට සූදානම් තරුණ කාන්තාවන් දරු පිළිසිද ගැනීමට පෙරත් පසුත් තයිරොක්සීන් හෝර්මෝනය නිසි මට්ටමක පවතින්නේ ද යන්න පරීක්ෂා කරවා ගත යුතුයි. TSH රුධිර පරීක්ෂණය මගින් එය 2.5 මිලිග්‍රේට්ස් ගණනට වඩා අඩුවෙන් තබා ගැනීම ඉතාමත් වැදගත්. මුල් කාලයේදී දරුවාගේ දේහයෙන් තයිරොක්සීන් නිපදවන්නේ නැහැ. ඒ නිසා ඒ හෝර්මෝනය දරුවා බලාපොරොත්තු වෙන්නේ මවගෙන්. මවට යම් තයිරොක්සීන් ඌණතාවයක් ඇත්නම් එය දරුවාගේ වර්ධනයට බලපෑමක් වෙනවා. ඒ නිසා තරුණ කාන්තාවන් තයිරොක්සීන් හෝර්මෝනය නිසි පරිදි ලබා ගැනීම ඉතාම වැදගත් .ඒ වගේම පිළිසිද ගැනීමත් සිදුව ඇත්නම් ඔබේ තයිරොක්සීන් හෝර්මෝනය 30% ක් වෛද්‍ය උපදෙස් මත වැඩිපුර දිගටම ලබා ගැනීම අනිවාර්යයි.