හදිස්සියේ සිහිසුන් උන කෙනෙකුගේ නැවත සිහිය ලබා ගැනීමට කර යුතු දේවල් 8 ක්

health tips

කාලීන වශයෙන් වර්තමාන ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා තෙල් පෝලිම්වල මිය යන මිනිසුන් හා රෝගී තත්ත්වයන්ට ගොදුරැ වන්නන් පිළිබද නිතර ඇසීමට ලැබෙයි. එවැනි අවස්ථාවක රෝගීන්ගේ ජීවිතය බේරා ගැනීමට කළ හැකි මූලික කාර්යභාරය හා අනුගමනය කළ යුතු පියවර පිළිබද මෙන් ම කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය පිළිබද දැනුවත් වීම වැදගත් ය. එමෙන් ම හදිසි අවස්ථාවක කළ යුතු කාර්යයන් හා දැනුවත් කළ යුත්තන් පිළිබද අවබෝධය ද අවශ්‍යය වේ. 

හෘද ස්පන්දනය නතර වූ කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී සෑම තත්පරයක්ම වැදගත් වේ. ක්ෂණිකව කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය පිළිබද අවබෝධයක් ඇති උදවිය සමාජයේ වැඩි වන තරමට බේරා ගත හැකි ජීවිත ගණන ද වැඩි වන බව බ්‍රිතාන්‍ය හෘද පදනමේ සහකාර වෛද්‍ය අධ්‍යක්‍ෂ, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෝන්යා බාබු-නාරායන් පැවසී ය. ඒ අනුව කෘත්‍රිම ශ්වසනය ලබා දීම සම්බන්ධයෙන් සියලු පුද්ගලයන් දැනුවත් වීම වැදගත් ය.

රෝගියකු රෝහලකට, වෛද්‍යවරයකු වෙතට යොමු කරන තුරු ඔහුගේ ජීවිතය රැක ගැනීමට කළ යුතු කාර්යයන් රැසක් පවතී. 

01. රෝගියාට හොඳින් වාතාශ්‍රය ලබා දීම. රෝගී පුද්ගලයා හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනිතලා බිමකට ගෙන ගොස් හාන්සි කරවා පිරිසිදු වාතාශ්‍රය ලබා දෙන්න. 

02. රෝගියා හුස්ම ගන්නේදැයි විමසිලිමත් වන්න. රෝගියාගේ පපු ප්‍රදේශය නිරාවරණය කර හුස්ම ගන්නේද නැතිද  යන්න පරීක්ෂා කරන්න. අනතුරුව කම්මුල සහ කන රෝගියාගේ මුඛය සහ නාසය ළඟට ගෙන ගොස් පපුව දෙස බලා සිටීමෙන් රෝගියා හුස්ම ගන්නේ ද නැති ද යන්න පියවර තුනකින් දැනගත හැකිය.

එහිදී පපුව උස් පහත් වීමෙන් හුස්ම වැටෙන බව පෙනෙන අතර කම්මුලට හුස්ම ගන්න බව දැනෙයි. හුස්ම ගන්න හඬ කනට ඇහෙයි. 

03. කතා කර බැලීම.රෝගියා සමග කතා කර බලන්න. ඔහුගේ ශරීරයට තට්ටු කරමින් උස් හඬින් කතා කිරීමට උත්සහ කරන්න. 

04. තව කෙනෙක්ගෙන් උදව් ඉල්ලීම.මෙම අවස්ථාවේ තනිව මෙම කාර්යය කිරීම අපහසු බැවින් අන් අයගෙන් ද උදව් උපකාර ලබා ගැනීමට සිදු වේ. රෝගියාව වාහනයට නැංවීමට, පාරෙන් ඉවත් කරගැනීමට හා රෝහල වෙත රැගෙන යාමටත් අනිකුත් මූලික කටයුතු සදහා ද වෙනත් අයගේ උදව් අවශ්‍යය වේ. 

05  1990 ට දුරකතන ඇමතුමක් ලබා දීම.1990 සුව සැරිය ගිලන් රථයේ පළපුරුදු අය සිටින නිසා සුවසැරිය සේවාව ලබා ගැනීම යෝග්‍ය වේ. සුව සැරිය සම්බන්ධ කරගත නොහැකි නම් වෙනත් වාහනයකට කතා කර රෝහල වෙත රැගෙන යා හැකිය. මෙවැනි හදිසි අවස්ථාවන්හි මෙම තොරතුරැ පිළිබද දැනුවත් වීම වැදගත් ය.

06. නාඩි වැටීම පරික්ෂාව (හෘද ස්පන්දනය) හෘද ස්පන්දන වේගය මැනිය හැකි ආකාරය මෙවැනි අවස්ථාවක රෝගියාගේ හෘදය ක්‍රියා කරන්නේ ද යන්න පිළිබද සැලකිලිමත් වීම වැදගත් ය. සරල පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් හෘද ස්පන්දන වේගය මැනීය හැකිය. එයට සුදුසුම ස්ථානය මැණික් කටුවයි. මාපටැඟිල්ලේ පාදයට පහළින් මාපටැඟිල්ලේ පාමුල අස්ථිය සහ කණ්ඩරාව අතර පුද්ගලයාගේ දර්ශකය සහ මැද ඇඟිලි තබන්න. තත්පර 15 කින් දැනෙන පහර ගණන ගණන් කර ස්පන්දන ගණන ගණනය කළ පසු, එම සංඛ්‍යාව හතරකින් ගුණ කරන්න. මෙය විනාඩියකින් රෝගියාගේ හදවත ස්පන්දන වාර ගණන ලබා දෙයි. උදාහරණයක් ලෙස, තත්පර 15 කින් හදවත 18 වතාවක් ස්පන්දනය වෙයි නම් හෘද ස්පන්දන වේගය විනාඩියකට ස්පන්දන 72 කි. මෙය ඉතා පහසු ක්‍රමයකි. 

පුද්ගලවකුගේ හෘද ස්පන්දනය වන වාර ගණන වයස අවුරුදු 6 සිට 15 දක්වා ළමයින්ට විනාඩියකට ස්පන්දන 70 ත් 100 ත් අතර හෘද ස්පන්දන වේගය තිබිය යුතුය. වයස අවුරුදු 18 ට වැඩි වැඩිහිටියන් සඳහා සාමාන්‍ය විවේක හෘද ස්පන්දන වේගය විනාඩියකට 60 ත් 100 ත් අතර විය යුතුය. 

හුස්ම නොවැටෙයි නම් නාඩි වැටෙන්නෙත් නැතිනම් රෝගියාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්නම් කඩිනමින් පපු තෙරපුම (Chest Compression) සිදු කළ යුතුය. (නාඩි වැටෙන හුස්ම ගන්න ක්ලාන්ත වූවන්ට මේවා නොකරන්න) 

හුස්ම නොවැටෙන පුද්ගලයාගේ හදවත නැවති, මොළයට ලේ ගමන් කිරීම නැවතී ඇති  බැවින් නැවතුන හදවත කියාත්මක වීමට මොළයට ලේ ලබා දිය යුතුය. නැතිනම් රෝගියා මරණයට පවා පත් විය හැකිය. 

පපු තෙරපුම (Chest Compression) සිදු කරන ආකාරය තම දෑත් එකට කර (හුරු අත උඩ නුහුරු අත හෝ පහසු ලෙස) හාන්සි කර සිටින රෝගියාගෙ පපුව පහලට වන්න මැදින් අත් තබා බර දෙමින් හොඳින් තෙරපන්න. එම තෙරපුම රෝගියාගේ මස්පිඩු ඉහිල් කරමින් ස්වසනය පහසු කරවයි. 

විනාඩියකට 120 වතාවක් පමණ එවැනි සංඛ්‍යාතයකින් පපු තෙරපුම් 30 වතාවක් දෙන හැම වෙලාවකම රෝගියාගේ නහය වහගෙන මුඛයට මුඛය තබා හුස්ම දෙපාරක් ලබා දෙන්න. (මේ සඳහා තවත් කෙනෙකුගේ උපකාරය ගන්න) සිහියෙන් යුතුව අනිවාර්යයෙන් පපු තෙරපුම් 30යි ශ්වසන වාර 2යි සිදු කළ යුතුය. (30:2 අනුපාතය) 

රෝගියාගේ නාඩි වැටෙන්නේදැයි පපු තෙරපුම් ලබා දෙන අතරතුර නිතර පරීක්ෂා කරන්න. නාඩි වැටීම නැවත සිදු වෙයිනම් හදවත නැවත ක්‍රියාත්මක වූ බව තහවුරැ වේ. 

නාඩි වැටෙන්නේ නැත්නම් ළඟ රෝහලකට රැගෙන යාමට 1990 සුව සැරිය ගිලන් රථය පැමිණ වෛද්‍යවරයකු වෙත යොමු කරන තුරු මෙම පියවර අනුගමනය කළ යුතුය. 

මේ මගින් රෝගියෙකු ජීවත් කරවීමේ හැකියාව තුන් හතර ගුණයකින් වැඩි කළ හැකිය. එය වෛද්‍ය විද්‍යාව තුළ ද අනුමතය. 

මේ ආකාරයෙන් තෙල් පෝලිමක සිහි නැතිව හදවත නතර වූ පුද්ගලයකුගේ හෝ එවන් තත්ත්වයකට ගොදුරැ වූ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීමට කළ යුතු කාර්ය භාරය පිළිබද සියලු දෙනාගේ දැනුවත් භාවය සිදු විය හැකි ජීවිත හානි අවම කර ගැනීමට ඉතා වැදගත් ය.