ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝදෙනා පීඩා විදින තත්ත්වයක් තමයි පපුවේ සෙම කියන තත්ත්වය. අද බහුලවම කතාබහ කෙරෙන මේ තත්ත්වය තරමක් භයානක තත්ත්වයක්. සාමාන්‍යයෙන් හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස, පෙනහළුවල අධික ලෙස සෙම එකතුවීම නිසා නාසය අවහිරවීමෙන් ඇතිවන තත්ත්වයන්. සෙම අපේ ශරීරය විවිධ ආසාත්මිකතා දූවිලි හා වෛරසවලින් ආරක්ෂා කරන්නට ශරිරය විසින්ම නිපදවනු ලැබුවත් එය අධික ලෙස එකතු වූ විට පෙනහළු ආශ්‍රිත ගැටළු පවා ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා පපුවේ සෙම කියන්නේ ප්‍රතිකාර නොකර සිටිය යුතු තත්ත්වයක් නම් නෙවෙයි. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ පපුවේ සෙම ඉවත් කර ගන්නට නිවසේදී ඉතා පහසුවෙන් සිදු කළ හැකි සාර්ථකම පිළියම් කිහිපයක් ගැනයි.

දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම දියර වර්ග සෙම් ගතිය අඩුකර ගන්නට බෙහෙවින් උදව් වෙනවා. විශේෂයෙන්ම උණු ජලය පපුවේ සහ නාසයේ ඇති සෙම ඉවත් කරගන්නට උපකාර කරන නිසා හුස්ම ගැනීමේ අපහසුතා පවා එයින් මගහරවා ගන්නට ඔබට පුළුවන්. ජලය හැරුණාම උණුසුම් ඇපල් යුෂ, තේ හෝ ග්‍රීන් ටී, චිකන් සුප් ආදිය මේ පපුවේ සෙම අඩුකර ගන්නට ඔබට පානය කරන්නට පුළුවන්.
හුමාලය ආශ්වාස කිරීම වාෂ්පවලට සෙම බුරුල් කර ඉවත් කරන්නට අපූරු හැකියාවක් පවතිනවා. මෙය දවසට දෙතුන් වතාවක් කිරීම මගින් පපුවේ සෙම ගතිය අඩු කර ගන්නට ඔබට පුළුවන්.
ලුණු වතුර වතුර වීදුරුවකට ලුණු තේ හැදි 2 ක් පමණ මිශ්‍රකර දිනකට දෙවතාවක් පමණ උගුර සේදීම මගින් ඔබට සෙම නිසා ඇතිවන අපහසුතා මගහරවා ගන්නට පුළුවන්.
ලෙමන් යුෂ උණු වතුර වීදුරුවකට ලෙමන් යුෂ තේ හැදි 2 ක් සහ මී පැණි මේස හැදි 1 ක් එකතු කර දිනකට දෙවරක් පානය කිරීම මගින් පපුවේ සෙම අඩුකර ගන්නටත් සෙම නිසා ඇතිවන අපහසුතා මගහරවා ගන්නටත් උපකාරී වෙනවා.
ඉඟුරු උණු වතුරට ඉඟුරු පෙති 2 ක් දමා තැම්බෙන්නට තබා එය කෝප්පයකට පෙරා ගෙන මී පැණි තේ හැදි 2 ක් දමා පානය කිරීම පපුවේ සෙම අඩුකර ගන්නට බෙහෙවින් උපකාරී වෙනවා.
කහ උණු කිරි වීදුරුවකට කහ කුඩු තේ හැදි 1 ක් දමා උදේ සහ රාත්‍රී වශයෙන් දිනකට දෙවරක් පානය කිරීම ඉතාමත් ගුණදායකයි.
මී පැණි පපුවේ සෙම නිසා ඇතිවන කැස්ස සඳහා වගේම සෙම අඩුකර ගන්නටත් මී පැණි කියන්නේ ඉතාම හොඳ ඔසුවක්. හොඳ තත්ත්වයේ මී පැණි තේ හැන්දක් පැය කිහිපයකට වරක් ගැනීම මගින් ඒ අපහසුතා මගහරවා ගන්නට පුළුවන්. නමුත් වයස අවුරුදු 1 ට අඩු දරුවන්ට මී පැණි කෑමට නොදීමට වග බලා ගන්න.

ලූණු කුඩා ලූණු ගෙඩියක් සිහින්ව ලියා එයට සීනි මේස හැදි 2 ක් දමා මිශ්‍රකර විනාඩි 30 ක් පමණ තබා මිශ්‍රණයේ දියරයක් මතුවන විට එයින් මේස හැදි 1ක් ගෙන පැය 2-3 ට වරක් පානය කරන්න.
කැරට් යුෂ කැරට් ගෙඩියක යුෂ ගෙන එයට ජලය හා මී පැණි තේ හැදි 2 ක් පමණ මිශ්‍රකර පානය කරන්න. මෙය පපුවේ සෙම ඉවත් කර ගන්නට උපකාරී වෙනවා.
Essential oil භාවිතා කිරීම පපුවේ සෙම අඩු කරන්නට ඇතැම් එසෙන්ෂල් ඔයිල්වලට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම පෙපර්මින්ට් ඔයිල් සහ යුකැල්ටස් ඔයිල් මේ සඳහා භාවිතා කළ හැකි ස්වාභාවික තෙල් වර්ග වෙනවා. මේ තෙල් වර්ග බිංදු කිහිපයක් උණු වතුරට කලවම් කර විනාඩි 5-10 ක් හුමාලය ඇල්ලීම හෝ ස්නානය කිරීම මගින් සෙම අඩුකර ගන්නට ඔබට පුළුවන්. ඒ හැරුණාම ශරීරයේ ආලේප කිරීමත් කරන්නට හැකි නමුත් එයට පෙර skin patch test එකක් කළ යුතු වෙනවා.පොල් තෙල් ස්වල්පයකට එසෙන්ෂල් ඔයිල් බිංදු දෙකක් දමා අත් යට ආලේප කර යම් ආසාත්මිකතාවයක් ඇතිවේද යන්න පැය 24 ක් බලා සිට යුතුයි. කිසිදු අසාත්මිකතාවයක් ඇති නොවන්නේ නම් එය පපුවේ ආලේප කරන්නට පුළුවන්. එහිදී තුවාලයක් සහිත සමක මේ එසෙන්ෂල් ඔයිල් ආලේප නොකළ යුතු අතර ඇස්වල තැවරීමටත් ඉඩ නොදිය යුතුයි.
පපුවේ සෙම ඉවත් කිරීමට ස්වාභාවික පානයක් ලෙමන්, කුරුඳු පොතු, ගම්මිරිස් කුඩු,කහ කුඩු , ඔලිව් තෙල් හෝ එළගි තෙල් ,මී පැණි සූදානම් කරගන්න. මුලින්ම උණු ජලය කෝප්පයක් ගෙන එයට ලෙමන් ගෙඩි භාගයක යුෂ එකතු කරන්න. එයට ඔලිව් තෙල් මේස හැන්දක් එකතු කළ යුතු අතර ඒ වෙනුවට එළගි තෙල් භාවිතා කරන්නේ නම් තේ හැන්දක් එකතු කරන්න. පසුව ගම්මිරිස් කුඩු හා කුරුඳු කුඩු හෝ පොතු අවශ්‍ය පරිදි එකතු කර මේ පානය මදක් නිවුණු පසු අවශ්‍ය නම් මී පැණි එකතු කර දිනපතා දිනකට දෙවරක් පානය කරන්න.
පපුවේ සෙම නිසා අපහසුතාවයෙන් සහ පීඩාවෙන් පෙළෙන ඔබට මේ ස්වාභාවික ප්‍රතිකාර බෙහෙවින් වැදගත් වේවි. නමුත් ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අමතක නොකළ යුතුයි.