වැඩි වුන කොලෙස්ටරෝල් පටස් ගාලා අඩු කරන වදමල් තේ සතු රෝග සුව කිරීමේ ගුණ 9 ක්

health tips

වදමල් එහෙමත් නැතිනම් සපත්තු මල් අලංකාර රතු පැහැති මල් පිපෙන බොහෝ නිවෙස් වල දක්නට ලැබෙන අලංකාර ශාකයක්. මෙම සපුෂ්ප ශාකය මූලික වශයෙන් වර්ධනය වෙන්නේ නිවර්තන සහ උණුසුම් කලාපවලයි. බොහෝ දෙනෙක් නොදන්නවා වුවත් නැවුම් හා වියළි වදමල් පරිභෝජනයට ද ගැනේ.ඇතැම් රටවල වියළි වදමල් රසකැවිලි සෑදීමටත් අතුරු පස අලංකාර කිරිමට යොදාගන්නා සැරසිලි ද්‍රව්‍යක් ලෙසත් යොදාගනියි. 

මේ ක්‍රම වලට අමතරව වදමල් කොළ හා මල් වල ඖෂධීය භාවිතාවන් ද බොහෝ තිබේ. ආයුර්වේදයේ සහ චීන වෛද්‍ය විද්‍යාවේ, ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වදමල් ඖෂධයක්  ලෙස භාවිතා කර තිබේ. 

වදමල් තේ කියන්නේ මෙක්සිකෝව, මධ්‍යම ඇමෙරිකානු කලාපයේ, අප්‍රිකානු රටවල ඉතා ජනප්‍රිය පානයක්.ඒ වගේම අනෙකුත් රටවල ද මෙය ඖෂධීය පානයක් ලෙස භාවිතයේ පවතියි. අපේ රටේ ද වදමල් තේ නිෂ්පාදන වර්ග වෙළඳසැල් වල දකින්නට පුළුවන්. මෙම තේ වල විටමින් C සහ A, සින්ක් සහ ඛනිජ වර්ග කිහිපයක් අඩංගු වේ. එය සිට්රික් අම්ලය, මැලික් අම්ලය සහ ටාටරික් අම්ලය ඇතුළු 15%- 30% දක්වා කාබනික අම්ල අඩංගු වේ. එහි පොලිසැකරයිඩ සහ ෆ්ලේවනොයිඩ් ද අඩංගු වේ. වදමල් තේ කියන්නේ සිරුරට ඉතා ගුණදායි තේ විශේෂයක් බව සොයාගෙන තිබෙනවා. ඉතින්, අද අපි කතාකරන්නේ වදමල් තේ වලින් අපේ සිරුරට ලැබෙන එවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි.

වදමල් තේ සකසන ආකාරය වියළි වදමල් පෙති තේ හැඳි 2-3 ක් වතුර කෝප්ප 2 ක ප්‍රමාණයකට දමා මදගින්නේ මිනිත්තු 5 ක් තම්බාගන්න.මෙය කෝප්පයකට පෙරා අමු මී පැණි හා ලෙමන් යුෂ ස්වල්පයක් එක්කර නිතිපතා පානය කරන්න. දිනකට කෝප්ප 2-3 ක් පානය කරන්න.

නිසි වෛද්‍ය උපදෙස් යටතේ වදමල් සාරය අඩංගු අතිරේක පෝෂක ද ඔබට ලබාගත හැකියි.

වදමල් තේ පානය සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙයි.

රුධිර පීඩනය නියාමනය කරයි වදමල් අධි රුධිර පීඩනය පාලනය කිරීමට ද ප්‍රයෝජනවත් වේ.එහි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ප්‍රදාහක  ගුණාංග අඩංගු වන නිසා රුධිර පීඩන මට්ටම සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වේ. ස්වභාවික මූත්‍රාවර්ධක ගුණ ඇති නිසා රුධිර පීඩනය අඩු කිරීමට උපකාර වන මූත්‍රා පිටවීම වැඩි කරයි. ඊට අමතරව, මෙම ඔසු පරිවෘත්තීය වේගවත් කර, ක්‍රමයෙන් බර අඩු කර ගැනීමට ද උපකාරී වේ.පෝෂණ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද 2010 අධ්‍යයනයක් වාර්තා කරන්නේ, වදමල්  තේ දිනපතා පරිභෝජනය, පූර්ව අධි රුධිර පීඩනය සහ බරපතල නොවන අධි රුධිර පීඩනය ඇති වැඩිහිටියන්ගේ රුධිර පීඩනය අඩු කරන බවයි. 

රුධිර සීනි මට්ටම් අඩුකරවයි වදමල් තේ දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම් නියාමනය කෙරෙහි හිතකරව දායක වන බව අධ්‍යයන ඇසුරෙන් සොයාගෙන තිබේ.ඔබ මේ තත්වයට ඖෂධ ගන්නේ නම් හෝ මෑතකදී සැත්කමකට භාජනය වූ අයෙක් නම් නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව වදමල් තේ පානය කිරීම උචිත නොවේ.

කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි වදමල් තේ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් (LDL හෝ ‘නරක’ කොලෙස්ටරෝල්) මට්ටම අඩු කිරීමට ඉතා ඵලදායී වේ. දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින් සඳහා එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.ධමනි සිහින් වීමේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිරෝධය දක්වයි. LDL ඔක්සිකරණය වැළැක්වීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ. එසේම, ධමනි තුළ මේදමය ද්‍රව්‍ය බැඳීම වළක්වයි. එමගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ධමනි සිහින් වීම සහ හෘද රෝග වළක්වයි.

ප්‍රතිශක්තිය වඩවයි සිරුරේ අප්‍රාණිකබව දුරුකරයි. ඇන්තොසයනින් අඩංගු නිසා සිරුරට ප්‍රතිප්‍රදාහක ගුණාංග ලැබෙයි. ප්‍රතිශක්තිය ශක්තිමත් කෙරෙයි.මූත්‍රා ආසාදන, ශ්වසන මාර්ගයේ ආසාදන වලට එරෙහිව සිරුරට හොඳ ගුණයක් ලබාදෙයි.බැක්ටීරියා නාශක ගුණයෙන් ද යුක්ත නිසා බැක්ටීරියා ආසාදන ඇතිවීම් වලින් ආරක්ෂා කරයි.

බර අඩුකරමින් සිරුර හැඩ කරයි පෝෂ්‍ය පදාර්ථ, ෆ්ලේවනොයිඩ් සහ විවිධ ඛනිජ ලවණ වලින් පිරුණු වදමල් ශරීරයේ මේද හා කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය අඩු කරයි. මෙය අනෙක් අතට බර අඩු කර ගැනීමට උපකාරී වේ.එහි ප්‍රතිඔක්සිකාරක ඉහළ සාන්ද්‍රණයක් අඩංගු වන නිසා පරිවෘත්තීය ක්‍රියාවලීන් වැඩි දියුණු වී බර අඩු කර ගැනීමට උපකාර කරයි. එසේම, මෙම ඔසු ස්වභාවයෙන් මූත්‍රාවර්ධක ගුණයෙන් යුක්තවීම නිසා සිරුරේ ජල බර අඩු කිරීමට උපකාරී වේ. ඇතැම් අධ්‍යයන වලින් පෙන්වාදෙන්නේ වදමල් තේ නරක කොලෙස්ටරෝල් අඩු කර හොඳ කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ ලිපිඩ මට්ටම් ඉහළ දමන බවයි.ව්‍යායාම වල යෙදීමෙන් පසු මෙම තේ කෝප්පයක් පානය කරන්න. ගැබිණි හෝ කිරිදෙන මවක් නම් මෙම තේ පානයෙන් වළකින්න.

වකුගඩු නීරෝගි කරයි ග්‍රීන් ටී වගේම වදමල් තේ පානය ද වකුගඩු වල වෘක්ක සෛල ආරක්ෂා කරන ගුණ පෙන්නුම් කරයි.වකුගඩු වල වස විස ද්‍රව්‍ය එකතුවීම් වළකයි. රසායනික ප්‍රතික්‍රියා හානි මෙන්ම වකුගඩු දුර්වල වීමේ අවදානම අවම කරයි.

අක්මාව ආරක්ෂා කරයි ඔබේ හදවත පමණක් නොව, වදමල් ඔබේ අක්මාවේ සෞඛ්‍යයටද ප්‍රයෝජනවත් වේ.එහි ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරයේ පටක හා සෛලවල පවතින හානිකර මුක්තකණ්ඩ උදාසීන කිරීම මගින් අක්මාවට හානි වීම වළක්වා ගැනීමට උපකාරී වේ.වදමල් වල ඇති ඇන්තොසියානින් සංයෝග අක්මා ගැටළු ඇති කළ හැකි ඔක්සිකාරක අක්මා හානි සහ ප්‍රදාහක අක්මා තුවාල අඩු කරයි. 

ඔසප් වේදනා සමනය කරයි ඔසප් සමයේදී උදරයේ පේශී පෙරළීම් නිසා ඇතිවන කැක්කුම් අපහසුතා සමනය වීමට වදමල් තේ ගුණදායි පානයක් බව පෙන්වාදෙයි.උදරය, උකුල, කොන්ද වේදනා ඇතිවේ නම් මෙම උණුසුම් තේ කෝප්පයක් පානය කිරීමෙන් ඔබට යම් සුවයක් ලැබේවි.මූත්‍රා වර්ධක ගුණ ඇති නිසා බඩ පිපුම වළක්වමින් සිරුරේ ජලය ඉවත්වීමට සලස්වයි. දොඩම්, දෙහි,ලෙමන් වැනි පැඟිරි යුෂ ටිකක් ඊට එකතු කරගන්න.එමඟින් ඔක්කාරය වැනි අපහසුතා සමනය වෙයි.වදමල් තේ මඟින් මූත්‍රා මාර්ගය හා මූත්‍රාශය සැහැල්ලු කරමින් වේදනාව සමනය කරයි. දිනකට කෝප්ප 2ක් පමණ පානය කරන්න.

ජීර්ණය වඩවයි වදමල් තේ යනු මලබද්ධයට හොඳ ස්වභාවික ප්‍රතිකාරයකි.ඊට හේතුව මෙම පානයේ ඇති මූත්‍රාවර්ධක ගුණයයි.මූත්‍රා පිටවීම මෙන්ම සමස්ත ආමශ-ආන්ත්‍රික මාර්ගයේම නීරෝගී බවට දායක වේ.සිරුරට ජලය ලැබෙන තවත් ක්‍රමයක් වීමත් ඊට තවත් හේතුවක්.

ඔබ ඖෂධ ගනිමින් ඉන්නා කෙනෙක් නම් හෝ යම් අසනීපයකින් පෙළෙන අයෙක් නම් මෙම තේ පානය පරිභෝජනයට එක්කරගැනීමට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාසිටීම වඩාත් හිතකර වේවි.