කොලෙස්ටරෝල් නිසා ඇතිවෙන ලෙඩ රෝග 5 ක්

health tips

අද සමාජයේ බහුතරය පෙළෙන රෝගී තත්ත්වයක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ. තරුණ මහලු භේදයකින් තොරව අද බොහෝදෙනාට මේ කොලෙස්ටරොල් තත්ත්වය පවතිනවා. අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදී තත්ත්වයන් ඇති කරන්නට මූලික වන අධික කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයේ නීරෝගී පැවැත්මට විශාල බලපෑමක්. ඇතැම්විට කොලෙස්ටරෝල් මොළයේ තැන්පත්වීමෙන් අංශභාගය ආදී තත්ත්වයන් වුණත් ඇති වෙන්නට පුළුවන්.ඉතින් බොහෝදෙනා කියන මේ කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය මේද වර්ගයක්. එය හිතකර වන්නේ සහ අහිතකර වන්නේ අපේ ශරීරයේ එය පවතින ප්‍රමාණය අනුවයි. බහුතරයක් පීඩා විදින කොලෙස්ටරෝල් පිළිබඳවයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. 

 කොලෙස්ටරෝල් යනු  මුලින් සඳහන් කළා වගේ කොලෙස්ටරෝල් කියන්නේ මේද වර්ගයක්. ජලයේ හෝ රුධිරයේ දිය නොවන ඉටි වැනි ඇලෙන සුළු සංයෝගයක් වන කොලෙස්ටරෝල් ලිපිඩ (Lipids ) යන පොදු භාවිතයෙන් හඳුන්වනු ලබනවා.අපි ගන්නා ආහාරවලින් කොලෙස්ටරෝල් අපිට ලැබෙනවා වගේම එයට අමතරව කොලෙස්ටරෝල් අපේ ශරීරෙන් නිෂ්පාදනය කෙරෙනවා. අප ආහාර පිණිස ගනු ලබන සංතෘප්ත මේදය සහ ට්‍රාන්ස් මේදය උපයෝගී කරගෙන අක්මාවෙන් මේ ශරීරයට අවශ්‍ය කරන කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබනවා. 35% ක් ආහාර මගින් නිෂ්පාදනය කෙරෙනවා.  

කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයට නරක දෙයක් නම් නෙවෙයි. අපේ සිරුරේ හෝර්මෝන නිෂ්පාදනය කරන්නට, සෛලවල පිටත ප්‍රාවරණය නිපදවන්නට, පිත් යුෂ නිෂ්පාදනයට, විටමින් D නිෂ්පාදනයට ආදී කාරණා බොහොමයක් සඳහා මේ කොලෙස්ටරෝල් ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරනු ලබනවා. මිනිස් ශරිරයේ ඇති ට්‍රීලියන ගණනක් වූ සෛල ආවරණ තුළත්, මොළයේ 75% ක් පමණ ප්‍රමාණයකත්, ස්නායුවල පිටත ආවරණ තුළත් සියලුම ලිංගික හෝර්මෝන තුළත්, කොලෙස්ටරෝල් බහුලව අන්තර්ගතව පවතිනවා.

ශරීරයේ ස්නායු පද්ධතියට අදාල හෝ මොළයට අදාල සෛලයක් විනාශ වුණොත් අලුතින් නිපදවීම සඳහා කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ශරීරයේ පැවත්මට මේ කොලෙස්ටරෝල් අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතු වෙනවා. අපේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය හිතකර කොලෙස්ටරෝල් (HDL) good cholesterol ලෙසත් අහිතකර කොලෙස්ටරෝල් (LDL)  bad cholesterol ලෙසත් හඳුන්වනු ලබනවා. HDL හිතකර කොලෙස්ටරෝල් වුණත් පමණ ඉක්මවා වැඩිවීම සහ LDL  අහිතකර වූ පමණින් එය අධික ලෙස අඩුවීමත් විවිධ හදිසි රෝගාබාධවලට අත වැනීමක් බව මතක තබා ගත යුතු වෙනවා.

සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් අධික අයෙකුගේ වැලමිට පිටුපස, උඩු අල්ල, ඇස් යට බල නහරය,දණිස් කටු පරීක්ෂා කිරීමේදී කහපාටට හුරු ලප වශයෙන් කොලෙස්ටරෝල් තැන්පත්වී ඇති බව දකින්නට පුළුවන්.එවැනි පුද්ගලයන් වඩාත් ප්‍රවේශම් විය යුතු වෙනවා.

කොලෙස්ටරෝල් ඇතිවෙන්නට බලපාන හේතු 

  • සංතෘප්ත මේදය බහුල ආහාර අධික ලෙස පරිභෝජනය (එළකිරි, මී කිරි, බිත්තර කහ මදය,එළු මස්, හරක් මස්, ඌරු මස්, පීකුදු, චීස් , බටර්, බේකන්, හැම්, සොසේජස්, රට කජු, ආදී ආහාර )
  • දැඩි මානසික පීඩනය
  • ජානමය සාධක 
  • දියවැඩියා රෝගය හා වකුගඩු රෝගය වැළදීම මේ රෝග වැළදී ඇති අයගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සෙසු අයට සාපේක්ෂව ඉහළ අගයක් ගනු ලබනවා.
  • අධික දුම්පානය හා මත්පැන් පානය 
  • ස්ථුල බව 
  • ශාරීරික ව්‍යායාම්වලින් තොරව ගෙවන අලස ජිවිතය

කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගොස් ඇති බව හඳුනා ගන්නට හැකි රෝග ලක්ෂණ නොමැති නිසා තත්ත්වය ඉතා භයානකයි. ක්‍රමයෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම නිසා කොලෙස්ටරෝල් ක්‍රමයෙන් ශරීරයේ රුධිර නාලවල තැන්පත්වීමට පටන් ගනු ලබනවා.ඒ නිසා ක්‍රමයෙන් රුධිර නාල සිහින් වෙනු ලබනවා. ඒ නිසා පුද්ගලයා මරණය කරා වුණත් ඉතා ඉක්මනින් පුද්ගලයාට නොදැනුවත්වම ගෙන යන්නට මේ කොලෙස්ටරෝල්වලට හැකියාව පවතිනවා. මොකද කොලෙස්ටරෝල් ප්‍රමාණය හඳුනා ගන්නට හැකි වෙන්නේ රුධිර පරීක්ෂාවක් මගින් පමණක් නිසා.

කොලෙස්ටරෝල් නිසා ඇතිවිය හැකි රෝග 

කොලෙස්ටරෝල් කාලයත් සමඟ රුධිරවාහිනී බිත්තියේ තැන්පත්ව ඒ රුධිර වාහිනී බිත්තිය දුර්වල වී ඒ ස්ථානයේ ප්‍රෝටීන් සහ කොලෙස්ටරෝල් බැදෙනවා.ඒ නිසා රුධිර වාහිනී අවහිර වෙනවා. මේ අවහිරවන රුධිර වාහිනිය පිහිටන ඉන්ද්‍රිය අනුව ඇතිවන රෝගාබාධ විවිධ වෙනවා.

  • හෘදයේ ධමනියක් අවහිරවීමෙන් හෘදයාබාධ ඇතිවිය හැකියි.
  • මොළයේ රුධිර වාහිනියක් අවහිර වීමෙන් අංශභාගය ඇතිවිය හැකියි.
  • පාදවල රුධිර වාහිනී අවහිරවීමෙන් පේශීවල වේදනාව හා ඇඟිලි කුණු විය හැකියි.
  • වකුගඩුවල රුධිරවාහිනී අවහිරවීමෙන් වකුගඩු දුර්වල විය හැකියි.
  • ඇස් කරා ගමන් කරන රුධිර වාහිනී අවහිරවීමෙන් අක්ෂි දුර්වලතා හෝ අන්ධභාවයට පත්වෙන්නට පුළුවන්. 

කොලෙස්ටරොල් මට්ටම වැඩිවීමෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු කරුණු 

  • වයස අවුරුදු 20 ඉක්මවූ සෑම අයෙක්ම පාහේ කොලෙස්ටරෝල් පරීක්ෂා කරවා ගන්න.
  • මේ සඳහා පැය 12 ක් නිරාහාරව සිටිය යුතුයි.

පරීක්ශණයට පෙර නිදි වැරීම, මත්පැන් භාවිතය දුම්පානය ආදියෙන් දින කිහිපයක සිටම වැළකී සිටිය යුතුයි. ශාරීරික ව්‍යායාම්වල නිරත වන අයෙක් නම් ඒ කාර්යයන් ද පරීක්ෂණයට පෙර දින කිහිපයක සිට නතර කළ යුතුයි. 

කායවර්ධනය සිංහලෙන් .: ප්‍රධාන පෝෂක #2- ප්‍රෝටීන්
  • රතු පැහැති මස් වර්ග ගැනීම හැකිතාක් අඩු කරන්න.
  • ගැඹුරු තෙලේ බදින ලද ආහාර  ගැනීමෙන් වළකින්න.
  • එළවලු තෙල් අඩංගු ආහාර ගැනීමෙන් වළකින්න.
  • ආහාර මගින් ලබා ගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය දිනකට මිලිග්‍රෑම් 300ට වඩා අඩු කරන්න.
  • කෙඳි සහිත ආහාර වර්ග නිතර ලබා ගන්න.
  • ලුණු භාවිතය අවම කරන්න.
  • දුම්පානය සහ මත්පැන් පානය නතර කරන්න.
  • නිවුඩු සහලේ බත් ,කුරක්කන්, ඕලු ඇට,සෝයා බෝචි හා වෙනත් ඇට වර්ග ආහාරයට ගන්න.
  • දිනපතා ආහාර සමඟ රතු ළූණු ගෙඩි 4 ක් පමණ හා සුදු ළූණු බික් 3 ක් පමණ ආහාරයට ගන්න.කරපිංචා දළු, ගොරකා,රතුළූණු සහ සුදු ළූණු සමඟ ලුණු මිරිසක් සේ සකසා ආහාරයට ගන්න.
  • ඇබරැල්ලා, පොළොස්,කොහිල, කෙසෙල් මුව, නෙළුම් අල ,තුබ , නිවිති, කැරට්, හුලංකීරිය සහ පලා වර්ග කොළ පැහැ එළවලු ආදිය නිතර ආහාරයට එකතු කර ගන්න.
  • බැබිල මුල්, කුබුක් පොතු, උළුහාල්, අරළු බුළු නෙල්ලි, කළු දුරු, කොල්ලු තැම්බූ ජලය තේ වෙනුවට පානය කරන්න. 
  • උදෑසන සහ ආහාර ගැනීමෙන් පසුව මද උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්න.