කොලෙස්ටරෝල් නැති කරන වට්ටක්කා පානය

health tips

අපේ එදිනෙදා ආහාරයට ගන්නා එළවලු අතරින් වට්ටක්කා කියන්නේ විටමින් C බහුල ගුණදායි ආහාරයක්.ඇතැම් අය ආහාරයට ගන්නට එතරම් රුචිකත්වයක් නොදැක්වුවත් මේ එළවලුව ලෙඩ රෝග බොහොමයකින්ම අපව ආරක්ෂා කරනු ලබනවා. ව්යංජනයක් විදියට නිතරම ආහාරයට එකතු කරගත්තත් වට්ටක්කාවලින් සුප් වගේම පානයන් සකස් කිරීම හෝ තම්බා ආහාරයට ගන්නටත් පුළුවන්. කුකබිටේසි කුලයට අයත් වෙන වට්ටක්කා ප්‍රභේද බොහොමයක් ලෝකය පුරාම පවතිනවා.

පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ වට්ටක්කා ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් විටමින් C බහුල ආහාරයක්.කැලරි අඩු ප්‍රමාණයකින් අන්තර්ගත වෙන වට්ටක්කාවල ප්‍රෝටීන්, තන්තු, මේදය ආදී පෝෂකත් අඩංගු වෙනවා.ඒ විතරක් නොවෙයි විටමින් A , විටමින් E, රයිබ්ෆ්ලේවින්, තයමින් , විටමින් B 6, නියැසීන්, ෆෝලේටා පැන්ටොතෙනික් අම්ලය යන විටමින් වර්ග වගේම පොටෑසියම්, කැල්සියම්, මැංගනීස්, යකඩ,මැග්නීසියම්, පොස්ෆරස්, ඇලුමිනියම් ආදී ඛනිජ ලවණත් සැලකිය යුතු අගයන්ගෙන් අඩංගු වෙනවා. ඒ නිසාම වට්ටක්කා නිතර අපේ ආහාරවේලට එකතු කර ගැනීම ඉතා වැදගත්. විශේෂයෙන්ම අද බොහෝදෙනෙක් පීඩා විදින බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙන්නට සාර්ථකම පිළියම ලෙස වට්ටක්කා පානය හඳුන්වන්නට පුළුවන්. එමගින් අපේ දේහයට ඉතාම ඉහළ ගණයේ සෞඛ්‍යයමය වාසි බොහොමයක් ලබා ගන්නට හැකියාව පවතිනවා.

වට්ටක්කා පානය 

1 ක්‍රමය 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • වට්ටක්කා ග්‍රෑම් 250 
  • පිරිසිදු මී පැණි  හෝ සීනි
  • උතුරුවා නිවාගත් එළකිරි කෝප්පයක් 

සකසා ගන්නා ආකාරය වට්ටක්කාවල පොත්ත ඉවත් කර හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා ගන්න. අවශ්‍ය නම් පමණක් එහි ඇට ඉවත් කර ගන්නට පුළුවන්. කපාගත් වට්ටක්කා කැබලිවලට එළකිරි එකතු කර හොඳින්ම බ්ලෙන්ඩර් කර ගන්න.පසුව ඒ මිශ්‍රණය පෙරා එයට මී පැණි හෝ සීනි එකතු කර සීත කර හෝ නොකර පානය කරන්නට හැකියි.

2 ක්‍රමය 

පොතු ඉවත් කර සෝදා කපා ගත් වට්ටක්කා කැබලිවලට ජලය සහ සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසුව ඒ මිශ්‍රණය හොඳින්ම පෙරා එයට දොඩම් යුෂ අවශ්‍ය පමණට එකතු කර පානය කරන්න.

  • මේ වට්ටක්කා පානය උදෑසන ආහාරය ගැනීමට විනාඩි 20 ට පෙර පානය කරන්න. 
  • වට්ටක්කා පානය දිනපතාම උදෑසන නොකඩවා මාසයක පමණ කාලයක් පානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙනවා.

වට්ටක්කා පානයෙන් ලබාගත හැකි සෞඛ්‍යයමය ප්‍රතිලාභ 

  • රුධිරයේ කොලෙස්ටරෝල්  මට්ටම අඩු කරයි. අධික ලෙස ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම හේතුවෙන් ධමනි තුළ තෙල් ස්වභාවයක් ඇති කර ධමනි සිරකර හදවත කරා සිදුවන රුධිර සංසරණයට බාධා ඇති කරනු ලබනවා. එය හෘදයාබාධ ඇති කරන්නට මූලික වෙන තත්ත්වයක්. මේ තත්ත්වයට ඖෂධ ලබා ගත්තත් මේ ස්වාභාවික වට්ටක්කා පානය මගින් ඉතාම කෙටි කාලයකින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
  • සිරුරේ බර අඩු කරන්නට උපකාරී වෙයි. බොහෝ රෝගවලට මූලික වෙන දේහ බර ඇතැම්විට ඔබටත් මහත් පීඩාකාරී දෙයක් වන්නට ඇති. තරබාරුව නිසා පීඩා විදින ඔබට ඒ තත්ත්වයෙන් මිදෙන්නට  හැකි හොඳම විසඳුම වන්නේ මේ වට්ටක්කා පානය.තන්තු බහුල ආහාරයක් වන නිසාවෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතා සෙමෙන් සිදුවීමත් මේවා ආහාර මාර්ගයේ වැඩි වේලාවක් රැඳීම නිසාත් නිතර නිතර කුසගින්නක් ඇති වන්නේ නැහැ.ඒ වගේම අඩු කැලරි ප්‍රතිශතයක් වට්ටක්කා සතූ නිසාවෙන් එය දේහ බර අඩු කර ගන්නට උනන්දු වෙන අයෙකුට කදිම ආහාරයක්.
  • සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.වට්ටක්කා සතු බීටා කැරොටීන් සිරුර තුළදී සංස්ලේෂණය වන විටමින් A සිරුරට වැළදෙන විවිධ ආසාදන වෛරස සහ බැක්ටීරියාවලට එරෙහිව සටන් කරනු ලබනවා.විටමින් C බහුල වට්ටක්කා අපේ සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්නට උපකාරී වෙනවා.
  • පිළිකා ඇතිවීමේ අවදානම් අඩු කරයි. ප්‍රතිඔක්සිකාරක බහුල වට්ටක්කා පිළිකා ඇතිකර ගන්නට හේතු වෙන මුක්ත ඛණ්ඩක භක්ෂණයෙන් උදාසීන කරනු ලබන නිසා පිළිකා සෛල ඇතිවීමේ අවදානම පහළ හෙළනු ලබනවා. මේ සඳහා වට්ටක්කා  සතු බීටා කැරොටීන් ද බෙහෙවින් උපකාරී වෙනවා.
  • තරුණ පෙනුම රැක දෙයි. ඉතා ඉහළ ප්‍රමාණයකින් බීටා කැරොටීන් අඩංගු වට්ටක්කා දිනපතාම සිරුරට ලබා ගැනීම සම ආශ්‍රිත ගැටළු බොහොමයකටම ඉතාම ගුණදායකයි. හිරු එළියට නිරාවරණයවීමෙන් සමේ ඇතිවන අවපැහැ ගැන්වීම, සම රැළි වැටීම ආදී හානිදායක තත්ත්වයන් සමනය කර සමේ තරුණ පෙනුම රැක දෙන්නට සමේ දීප්තිය වැඩි කරන්නට වට්ට්ක්කා පානය ඉතාම ගුණදායකයි.
  • ඇස් පෙනීම වර්ධනය කරයි. වට්ටක්කාවල අඩංගු වෙන ලුටෙලින් හා සියාසැන්තීන් යන ප්‍රතිඔක්සිකාරක ඇසේ පෙනීමට බාධා ඇති කරන සුද ඇතිවීම ඇතුළු අක්ෂි රෝග බොහොමයකින් ඇස ආරක්ෂා කරන්නට සමත් වෙනවා. ඒ වගේම වට්ටක්කා මගින් ශරීරය තුළ ඉහළ මට්ටමකින් විටමින් A නිපදවන නිසා එය ඇස්වල පෙනීම වර්ධනය කර ගැනීම සඳහා අතිශයින්ම වැදගත්.
  • මල බද්ධය සමනය කරයි. තන්තු බහුල ආහාරයක් වන වට්ටක්කා ජීර්ණයට පහසු අතර මල බද්ධය නිසා ඇතිවන අපහසුතා මගහැරීමට උපකාරී වෙනවා.
  • දියවැඩියාව පාලනයට උපකාරී වෙයි. වට්ටක්කාවලට රුධිරගත සීනි මට්ටම පාලනය කරන්නටත් ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය වර්ධනය කරන්නටත් හැකියාව ඇති බව පර්යේෂකයන් අදහස් පළකරනු ලබනවා.
  • සම පැහැපත් කරයි. 
  • මුත්‍රා රෝග සඳහා ගුණදායකයි.
  • පටි පණුවන් සහ වට පණුවන්ගෙන් ඇතිවන රෝගවලින් ආරක්ෂාව සලසනු ලබයි. 
  • හදවත් රෝගවලට ඉතාමත් ගුණදායකයි.
  • සමේ තෙතමනය ආරක්ෂා කරයි. 
  • මතක ශක්තිය වර්ධනය කරයි. 

ඉතින් අද අපි කතා කළේ වට්ටක්කා පානය ගැන වුණත් වට්ටක්කා රස බොහොමයකටම පිළියෙල කර ගන්නට හැකියාව පවතිනවා.ඒ විතරක් නෙවෙයි වට්ටක්කා ඇට වගේම අළුත් ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත නිසා රසයෙන් වෙනස් ආකාරයට අපේ ආහාරවේලට ඒවා එකතු කර ගන්නට පුළුවන්