ගෙදර තියෙන මී පැණි ඇත්තම මී පැණිද කියලා හොයගන්න ක්‍රම 12 ක්

health tips

එහි අඩංගු සුවිශේෂී සංඝටක නිසා ස්වභාවික මී පැණි ඖෂධයක් ලෙස, ආහාර පාලනය කිරීමට සහ රූපලාවන්‍ය කර්මාන්තයේදී ඉතා වටිනා අමුද්‍රව්‍යයක් ලෙස සැලකෙනවා. එහි ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිපූතික අඩංගු වන අතර සීනි වෙනුවට ලබාගත හැකි සෞඛ්‍ය සම්පන්න ආදේශකයක් වශයෙන්ද හැඳින්විය හැකියි. නමුත් මේ සියල්ල අදාළ වන්නේ කිසිදු ආකලනයක්‌ නොමැති ස්වභාවික මී පැණි වලට පමණයි. ඒ නිසා මේ ලිපියෙන් අපි ඔබට වෙළෙඳ පොළේදී විවිධ ව්‍යාජ ආදේශක වෙනුවට ස්වභාවික මී පැණි නිවැරදිව හඳුනාගත හැකි ආකාරය ඉදිරිපත් කරන්නට සිතුවා.

  1. ස්වභාවික මී පැණි වල ලක්ෂණ –

වර්ණය : සාමාන්‍යයෙන් මී පැණි වල වර්ණය රඳා පවතින්නේ මී මැස්සන් විසින් එම පැණි එකතු කර ගන්නා ලද මල් වර්ග අනුවයි. මේ නිසා තද දුඹුරු පැහැයේ සිට ලා දුඹුරු පැහැය දක්වා මී පැණි වර්ග තිබිය හැකි අතර එයින් එහි ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු අදහසක් ලබා ගත නොහැකියි. එසේම කාලය ගත වීමත් සමග මී පැණි තද පැහැයට හැරීමත් දක්නට ලැබෙනවා.

පැණි රස : ස්වභාවික මී පැණි වල සාමාන්‍යයෙන් ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් යන සීනි වර්ග දෙකම අඩංගු නිසා සාමාන්‍ය සුදු සීනි වලට වඩා තරමක් පැණි රස බැවින් වැඩියි.

පැහැදිලි බව : ස්වභාවික මී පැණිවල පරාග අඩංගු වන නිසා ඒවා සම්පූර්ණයෙන්ම පැහැදිලි විනිවිද පෙනෙන සුළු බවක් දක්වන්නේ නැහැ. පෙරීමේ ක්‍රියාවලියේදී මී මැස්සන්ගේ කොටස් සහ ඉටි වැනි ද්‍රව්‍ය ඉවත් කළත් පරාග ඉවත් කෙරෙන්නේ නැහැ. මී පැණි මිලදී ගැනීමේදී මතක තබාගන්න, ඉතා පැහැදිලි මී පැණි වඩාත් කෘතිම ක්‍රියාවලීන් වලට බඳුන් වී ඇති ඒවායි.
කෙසේ නමුත් ස්වාභාවික මී පැණි ඒකාකාර සංයුතියකින් යුක්තයි. ඔබ මිලදී ගත් මී පැණි බෝතලය ස්ථර දෙකකට වෙන් වී තිබෙනවා නම් ඒ පරිණත නොවූ මී පැණියි. ඒවා වැඩි කාලයක් කල් තබා ගත නොහැකි නිසා මාස කීපයක් ඇතුලත භාවිතා කර අවසන් කළ යුතුයි.

ජල පරිමාව : මී පැණි දිගු කාලයක් කල් තබාගත හැක්කේ ස්වභාවික නිෂ්පාදනයේ අඩු ජල පරිමාවක් තිබෙනවා නම්ය. ( නිවැරදි ආකාරයට ගබඩා කරනවා නම් මී පැණි අතිශයින්ම දිගු කාලයක් කල් තබාගත හැකියි) සාමාන්‍යයෙන් සැලකෙන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ මී පැණි වල තෙතමනය 18%ට වඩා අඩංගු නොවන බවයි. එවිට බැක්ටීරියා ඇතුළු ක්‍ෂුද්‍ර ජීවීන්ට එහි ගුණනය වීම සිදු කළ නොහැකියි.

මී පැණි ජලාකර්ෂකයක් ලෙස ක්‍රියා කරනවා. එනම්, මී පැණි බෝතලයක් වාතයට විවෘතව තැබූ විට එය ඉක්මනින්ම වාතයෙන් තෙතමනය අවශෝෂණය කරගන්නවා. මේ නිසා නිවැරදි ආකාරයට ගබඩා නොකරනවා නම් මී පැණි වල පැසීමේ ක්‍රියාවලිය ආරම්භ වී එය කල් තබා ගත හැකි කාලය ක්‍රමයෙන් අඩු වී යනවා.

කුමන නිෂ්පාදනයේ අඩුවෙන් ජලය අන්තර්ගත දැයි බලා ගැනීම සඳහා ඔබට සැසඳීමට අවශ්‍ය එකම උෂ්ණත්වයේ පවතින මී පැණි බෝතල් දෙකක් එකම අවස්ථාවේ උඩු යටිකුරු කර වඩා ඉක්මනින් වායු බුබුළු ඉහළ නගින්නේ කුමන නිෂ්පාදනයේ දැයි බලන්න. වායු බුබුළු පළමුවෙන්ම බෝතලේ අඩිය කරා ළඟා වෙන නිෂ්පාදනයේ වැඩිපුර ජලය අඩංගුයි.

ස්ඵටීකරණය : සාමාන්‍යයෙන් මී පැණි බෝතලයක් පළමු වතාවට විවෘත කිරීමෙන් පසු මාස 3ක් ඇතුළත ස්ඵටීකරණය නොවිය යුතු බවට මතයක් තිබුණත් එය සෑම විටම සත්‍ය වන්නේ නැහැ. ඇතැම් මී පැණි වර්ග බොහෝ කාලයක් දියරයක් වශයෙන් තිබුණත් තවත් මී පැණි වර්ග සති කිහිපයක් ඇතළත ස්ඵටිකරණය වීම අරඹනවා. එම නිසා මී පැණි ස්ඵටීකරණය වීමට ගතවන කාලය මගින් එහි ගුණාත්මකභාවය හෝ ස්වභාවික බව ගැන අදහසක් ලබා ගත නොහැකියි.

සුවඳ : සැබෑ මී පැණි වල සෑමවිටම ප්‍රසන්න, මිහිරි, මල් සුවඳක් හමනවා. ඇඹුල් සුවඳක් හැමීමෙන් හෝ කිසිදු සුවඳක් නොහැමීමෙන් අදහස් වන්නේ ඔබ මිලදී ගෙන ඇත්තේ ව්‍යාජ අනුකාරකයක් බවයි.

උකු බව : හැන්දක් හෝ සිහින් කූරක් මී පැණි බෝතලය තුළට බස්සවා එයින් මී පැණි ගලා හැලෙන ආකාරය නිරීක්ෂණය කරන්න. සැබෑ මී පැණි අඛණ්ඩ රේඛාවක් ලෙස බේරී ගොස් කන්දක් මෙන් ගොඩ ගැසී ඉන්පසු පැතිරී යන අයුරු දැකගත හැකියි. ව්‍යාජ මී පැණි බිංදු ලෙස විසිරෙමින් බේරෙන අයුරු දැකගත හැකියි.

රස : සැබෑ මී පැණි වල ප්‍රනීත පැණි රස සමග ඉතා සුළු සැරක් සහ කහට රසක් අන්තර්ගත වන අතර ඒවා කටේ ඉතිරි නැතිව දිය වී යනවා. ඔබේ දිවේ සීනි කැට මෙන් ඉතිරි වෙනවා නම් ඒ ව්‍යාජ මී පැණියි.

  1. මී පැණි ස්වභාවික දැයි හඳුනා ගැනීම –

ස්වභාවික මී පැණි නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඉහත සඳහන් කළ කරුණු ප්‍රමාණවත් නැතිනම් පහතින් අප ඉදිරිපත් කරන උපක්‍රම අත්හදා බලන්න.

කිසිම අමතර ද්‍රව්‍යයක් තවරා නැති කුඩා සිදුරු සහිත කඩදාසියක් ගෙන එයට මී පැණි බිංදුවක් වත් කර බලන්න. කඩදාසියේ තෙත පැල්ලමක් ඇති කරමින් මී පැණි පැතිරී යනවා නම් හෝ කඩදාසිය හරහා බේරී යනවා නම් ඔබ මිලදී ගෙන ඇත්තේ ව්‍යාජ මී පැණියි.

කුඩා පාන් කැබැල්ලක් මී පැණි බෝතලය තුළට දමා මිනිත්තු 10කට පමණ පසු පිටතට ගන්න. සැබෑ මී පැණි වල අඩංගු වතුර ප්‍රතිශතය ඉතාමත් අවම නිසා පාන් කැබැල්ල මෘදු නොවී ඝන ආකාරයෙන්ම පවතින අතර පාන් කැබැල්ල පෙඟී මෘදු වී තිබෙනවා නම් ඒ සැබෑ මී පැණි නොව සීනි සිරප් එකක් පමණි.

වතුර වීදුරු දෙකක් ගෙන ඒ දෙකටම මී පැණි කුඩා ප්‍රමාණයක් බැගින් ගෙන දිය කරන්න. පළමු වීදුරුවට අයඩින් බිංදු 4-5ක් සහ දෙවන වීදුරුවට එම ප්‍රමාණයම විනාකිරි එකතු කරන්න. අයඩින් එකතු කළ වීදුරුවේ ජලය නිල් පැහැයට හැරෙනවා නම් නිෂ්පාදකයන් විසින් එම මී පැණි සෑදීම සඳහා පිෂ්ඨය යොදාගෙන තිබෙනවා. දෙවන වීදුරුවේ හඬ නගමින් බුබුළු නගිනවා නම් එම මී පැණි සෑදීම සඳහා හුණු භාවිතයට ගෙන තිබෙනවා. ස්වභාවිකව මී පැණි නම් මේ කිසිදු ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ.

කිසියම් පෘෂ්ඨයක් මතට මී පැණි ටිකක් දමා ඒ මතට පිෂ්ඨය ටිකක් ඉසින්න. සැබෑ මී පැණි නම් එය මත පිෂ්ඨය එලෙසම රැදී පවතින අතර ව්‍යාජ මී පැණි විසින් පිෂ්ඨය අවශෝෂණය කරගන්නවා.

  1. මී පැණි ගබඩා කරන ආකාරය –

මී පැණි ගබඩා කිරීම සඳහා ඕනෑම බඳුනක් සුදුසු වන්නේ නැහැ. මී පැණි වල ලෝහ වර්ග ඔක්සිකරණය කළ හැකි අම්ල වර්ග අඩංගු වන නිසා ලෝහ බඳුන් වල පැණි ගබඩා කිරීමෙන් එහි අඩංගු ප්‍රයෝජනවත් සංඝටක ප්‍රමාණය අඩු වී යනවා. මේ නිසා මී පැණි ගබඩා කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ වාතය ඇතුළු නොවන වීදුරු, මැටි හෝ ලී බඳුනකුයි.

ස්වභාවික මී පැණි වල තද උෂ්ණත්වය දරාගත නොහැකි විටමින් සහ ඛනිජ ලවණ අන්තර්ගත වෙනවා. ඔබ ස්ඵටීකරණය වූ මී පැණි නැවතත් දිය කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒවා 140°F ට වඩා රත් කිරීමෙන් වළකින්න. මීට අමතරව එහි අඩංගු ප්‍රයෝජනවත් සංඝටක විනාශ වීම වළක්වා ගැනීම සඳහා රේඩියේටර සහ උඳුන් වැනි උෂ්ණත්ව ප්‍රභව අසල මී පැණි ගබඩා කිරීමෙන් වලකින්න.

හිරු එළිය නොවැටෙන සිසිල් ස්ථානයකුයි මී පැණි ගබඩා කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ. එමගින් මී පැණි වල අන්තර්ගත ගුණයෙන් ඉහළ ප්‍රයෝජනවත් සංඝටක සහ රසය යන දෙකම ආරක්ෂා කරගත හැකියි.