අක්මාව ලෙඩ කරන සිරෝසීස් රෝගයේ ලක්ෂණ 7 ක්

health tips

අපේ ශරීරයේ ඇති ඉන්ද්‍රියන් අතුරින් අක්මාව කියන්නේ සිරුරේ දෙවන විශාල ඉන්ද්‍රිය.ශරීරයේ පැවැත්ම සඳහා අතිවිශාල කාර්යබාරයක් අක්මාව විසින් සිදු කරනු ලබනවා. මිනිස් සිරුරේ ක්‍රියාදාමයන් 500 කට අධික සංඛ්‍යාවකට මේ අක්මාව දායක වෙනවා. ඉතින් සැබැවින්ම අක්මාව කියන්නේ අපේ ශරීරයේ පවතින හරි අපූරු අවයවයක්. ඇතැම්විට අපේ ශරීරයේ ඉතා වැදගත් කෘත්‍යයන් බොහොමයක් කරන හෘදය වස්තුව, පෙනහළු වගේම වකුගඩු ආදී ඉන්ද්‍රියන් යම් අවස්ථාවක අකර්මණ්‍ය වුණොත් ඒ අවයවයන් ඉටු කරන කාර්යයන් වෙනත් මැෂින් එකක් ආධාරයෙන් කළ හැකි වුණත් අක්මාවේ කාර්යය එවැනි වෙනත් යන්ත්‍ර මගින් කරන්නට බැහැ. ඉතින් ඔබට වැටහෙනවා ඇති අක්මාව අපේ ශරීරයට කෙතරම් වැදගත් අවයවයක් ද යන වග. ඉතින් ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන් වගේම අක්මාව ආශ්‍රිතවත් විවිධ රෝග ඇතිවෙනවා.අක්මාව ආශ්‍රිත රෝග අතුරින් සිරෝසීස් කියන තත්ත්වය පිළිබඳව බොහෝදෙනා අසා ඇති. ඉතින් බහුලවම පිරිමි පාර්ශවයට ඇතිවන මේ රෝග තත්ත්වය කාන්තා පාර්ශවයටත් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් අද වෙද්දි දකින්නට පුළුවන්.ඉතින් අද අපි ඔබ සමඟ සාකච්ඡා කරන්නට යන්නේ මේ සීරෝසීස් රෝගය පිළිබඳවයි.

අක්මාව හෙපටයිටීස් ආදි රෝග තත්ත්වයන් නිසා හදිසියේ අකර්මණ්‍යවීමකට ලක් වෙන්නට පුළුවන් .ඒ හැරුණාම අක්මාවේ කාර්යය දීර්ඝකාලීනව අකර්මණ්‍ය වී අක්මාව අක්‍රීය වීම තමයි සීරොසීස් තත්ත්වය ලෙස සරලව හඳුනා ගනු ලබන්නේ. මේ නිසා අක්මාවේ සෛල දුර්වල වී ඒවාට හානි ඇතිවී මරණයට පත්වෙනවා. ඒ වෙනුවට ඒ ස්ථානවල වෙනත් පටක තැන්පත් වෙනවා.

සීරෝසීස් රෝගය ඇති වන්නට බලපාන හේතු 

  • අක්මාවේ තෙල් තැන්පත් වීම වසර 15-20 තරම් කාලයක් අක්මාවේ මේදය තැන්පත්වීම නිසා කාන්තාවන්ට මේ සිරෝසීස් තත්ත්වය ඇතිවෙන්නට හැකියාව  පවතිනවා. 
  • දිනපතා මත්පැන් පානය (කසිප්පු ආදී ප්‍රමිතියෙන් තොර මධ්‍යසාර වර්ග භාවිතය සිරෝසීස් ඇති කිරීමේ හැකියාව තුන් ගුණයකින් වැඩි කරනු ලබනවා.)
  • වරකට අධික ලෙස මත්පැන් පානය කිරීම 
  • පාරම්පරිකව ඇතිවන තත්ත්වයන් (අක්මාවේ වැඩිපුර යකඩ තැන්පත්වීම) 
  • සිරුරේ ප්‍රතිශක්තිය හේතුවක් නොමැතිවම අක්මාවට හානි කිරීමේ තත්ත්වය 
  • තැලිසීමියා රෝගය මේ රෝගයෙන් පෙළෙන අයෙකුට නිතර රුධිරය ලබාදීමේදී රුධිරයේ යකඩ අඩංගු නිසා සිරෝසීස් තත්ත්වය ඇති වෙන්නට පුළුවන්.
  • කාලයක් තිස්සේ පවතින වෛරස් ආසාදන හෙබටයිටීස් B හෙපටයිටීස් C ආදී ආසාදන  

රෝග ලක්ෂණ අක්මාව යම් රෝග තත්ත්වයක් නිසා හානියට පත්වුණත් ඒ විගසින් අපිට ඒ තත්ත්වය දැන ගැනීමට ඇති හැකියාව ඉතාම අඩුයි. සාමාන්‍යයෙන් අක්මාව 75 % ඉක්මවා හානියට පත්වනතුරු රෝග ලක්ෂණ අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. ඇතැම්විට යම් යම් සුළු ලක්ෂණ කිහිපයක් මතු වෙන්නට පුළුවන්. ඒ හැරුණාම අක්මාව ඉතා සෙමින් හානියට පත්වීමේ දී රෝග ලක්ෂණ කිසිවක් අපිට පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් හානිය ඉතාම දරුණු වීමෙන් පසුව අක්මාවේ කාර්යය කරගන්නට ඉතාමත් අපහසු වූ විට එනම් බරපතලම තත්ත්වයට අක්මාව පත්වූ විට රෝග ලක්ෂණ දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා මත්පැන් පානය කරන පුද්ගලයන් ආදී මේ රෝගයට වැඩි අවදානමක් ඇති අය ඒ පිළිබඳව  වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. 

ශරීරයේ අවයව ඉදීමමට පටන් ගැනීම පොදුවේ හඳුනා ගත හැකි මූලිකම ලක්ෂණය වෙන්නේ ශරීරයේ ඉන්ද්‍රියන් ඉදිමීමට ලක්වීම. විශේෂයෙන්ම අප ගනු ලබන ආහාරවල ඇති ප්‍රෝටීන් ඇමයිනෝ අම්ලවලට කැඩී අක්මාවට ගොස් අක්මාවේදී මේ ප්‍රෝටීන් ශරීරයට උරා ගැනීම සිදුකරනවා. නමුත් සිරෝසීස් තත්ත්වයේදී අක්මාවේ සෛල විනාශ වී තිබෙන නිසා ප්‍රෝටීන් ශරීරයට උරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ.ඒ නිසා මේ කාර්‍යයට ශරීරයේ කකුල්, උදරය ආදී ඉන්ද්‍රියන් ඉදිමීමට ලක් වෙනවා.

ලේ වමනය හෝ ගුද මාර්ගය ඔස්සේ රුධිරය පිටවීම මේ ලක්ෂණය දැක ගන්නට හැකි වෙන්නේ සීරෝසීස් තත්ත්වය වඩාත් උත්සන්න වූ විටදී.විශේෂයෙන්ම අක්මාවේ සෛල විනාශ වී අක්මාව හැකිළී ස්නායු වගේම රුධිර නාල සිහින්වීම හේතු කොටගෙනයි. ඒ නිසා අක්මාව තුළ රුධිර පීඩනය වැඩිවී රුධිර නහර පිපිරීමකට ලක්ව රුධිරය වහනය වෙනවා. මේ රුධිරය කලු පැහැයට හුරු අතර ඒවා වමනය ලෙස වගේම ගුද මාර්ගයෙන් පිටවීම සිදු වෙනවා.

සිරෝසීස් හේතුවෙන් ඇතිවිය හැකි හානිදායක බලපෑම් 

ඇමෝනියා රුධිරයට එකතු වීම ශරීරයේ ඇති ඇමෝනියා ශරීරයට අහිතකර අපද්‍රව්‍යයක් වන යූරියා බවට පත්වී මුත්‍රා මාර්ගයෙන් පිටකිරීමේ ක්‍රියාවලිය අක්මාව තුළ සිදු කරනු ලබනවා. නමුත් අක්මාවේ සෛල මියයාම නිසා මේ කාර්‍ය සිදු නොවීමෙන් ශරීරයෙන් පිටවිය යුතු ඇමෝනියා රුධිර සංසරණ පද්ධතිය හා මොළයට ගමන් කිරීම සිදුවෙනවා.ඒ නිසා වඩාත් භයානක තත්ත්වයන් ඇති වෙන්නට හැකි ඉඩකඩ වැඩියි.ඒ නිසා විවිධ හානිදායක තත්ත්වයන් ඇති වෙනවා.

  • අධික නිදිමත 
  • සිහිය විකල් තත්ත්වයකට පත්වීම 
  • කෝමා තත්ත්වයට පත්වීම හෝ මරණයට පත්වීම 

ප්‍රතිකාර ශරීරයේ ඉන්ද්‍රියන් ඉදීමමකදී ඖෂධ ලබාදීමෙන් අක්මාවේ සෛල ඉදිරියේදී විනාශ වීම වළක්වා ගත හැකියි. නමුත් විනාශ වූ සෛල යථා තත්ත්වයට පත්කරගත නොහැකියි.අක්මාව යථා තත්ත්වයට පත් කිරීමට අක්මාවේ සුළු කොටසක් බද්ධ කරනු ලබනවා. සිරෝසීස් රෝගයේදී අක්මාව තවදුරටත් විනාශ වීම වළක්වා ගැනීම වෛද්‍යවරයා වගේම රෝගීයා සතු වගකීමක් බව මතක තබාගත යුතු වෙනවා. 

සිරෝසීස් රෝගීන් අක්මාව තවදුරටත් විනාශ නොවී තබා ගැනීමට කළ යුතු දේ 

  • ලුණු සහිත ආහාරවලින් වැළකීම මෙවැනි රෝගීන් ලුණු ගත යුත්තේ ඉතාම අඩුවෙන්.දිනකට තේ හැදි ¼ ක් භාවිතා කළ යුතු අතර ඒ ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.
  • මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීම 
  • ශාරීරික ව්‍යායාම්වල නිරත වීම 
  • තෙල් සහිත ආහාරවලින් සම්පූර්ණයෙන්ම වැළකීම 
  • ශරීරයේ නිසි බර පවත්වා ගැනීම

ඉතින් මත්පැන් භාවිතයට ලොල් නොවී ජීවත් වන පුරුෂයෙකුට මේ තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ අවම වුණත්  අක්මාවේ තෙල් තැන්පත් වූ මත්පැන් භාවිතා නොකරන පුරුෂයෙකුට සිරෝසීස් වැළදෙන්නට පුළුවන්. පුරුෂයන් හැරුණාම කාන්තාවන්ටත් මේ තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ වැඩි නිසා අක්මාව රැකෙන පරිදි ආහාර රටාව වගේම චර්යා පුරුදු වෙනස් කරගත යුතු වෙනවා. ඒ වගේම සිරෝසීස් රෝගයට ගොදුරු වූ අයෙක් නම් නිසි පරිදි වෛද්‍ය  උපදෙස් ලබා ගනිමින් චර්යාවන් හා ආහාර රටාව වෙනස් කර ගැනීමෙන් හා ඖෂධ මගින් තවදුරටත් අක්මාව විනාශ වීම වළක්වා ගන්නට පුළුවන්.