ජම්භීර කුලයට අයත් නාරං විශේෂයක් අතුරින් නස්නාරං යනු ඖෂධීය ගුණ බොහෝමයක් අන්තර්ගත ශාක විශේෂයකි. මෙම නස්නාරං ශාකය පැඟිරි කුලයට අයත් ශාකයක් ලෙසද හඳුනාගත හැකිය.
මෙම නස්නාරං සංස්කෘතික වෛද්‍ය ග්‍රන්ථ තුළ හඳුන්වනු ලබන්නේ ලප්නීරං ලෙසයි. මෙසේ හඳුනා ගන්නා නාරන් විශේෂය ලප්, කප්, කත්, තස් ලෙස කලින් කලට විශේෂණය වී පැමිණ පසුකාලීනව නස්නාරං ලෙස හඳුන්වා තිබේ.
නස්නාරං ශාකයේ ස්වරූපය පිළිබඳ විමසා බැලීමේ දී මෙම ශාකය මධ්‍යස්ථ ප්‍රමාණයේ ශාකයකි. දෙහි ශාකය හා සමානවම සියුම් කටු පිහිටා ඇති මෙම ශාකයේ කොළ දෙහි කොළ වලට වඩා තරමක් කුඩා වෙයි. කුඩා ගෙඩි පිහිටන මෙම ශාකයේ ඉඳුණු පසු ගෙඩි කහ පැහැයෙන් දැකගත හැකිය. එම ගෙඩි තුළ බීජ හට ගන්නා අතර එම බීජ වලින් ශාක ව්‍යාප්තිය සිදු කරගත හැක.
මෙම ශාකයේ සෑම කොටසකින්ම පාහේ පැඟිරි සුවඳ වහනය වෙයි. ගෙඩි වල පවතින යුෂ ආහාර රසවත් කිරීමට, සීනි හා ලුණු එක් කරමින් රසවත් පානයක් සකසා ගැනීමට මෙන්ම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ද භාවිත කරයි.
ප්‍රධාන වශයෙන් නස්නාරං ප්‍රභේද දෙකක් පවතින අතර මධුර රසැති ප්‍රභේදය සහ අම්ල රසැති ප්‍රභේදය ලෙස එය හඳුනාගත හැකිය. එමෙන්ම නස්නාරං ශාකයේ සෑම කොටසක්ම පාහේ ඖෂධ ලෙස භාවිත කරන අතර ත්‍රිදෝෂ සමනය කිරීම සඳහා ම යෝග්‍ය වේ.
නස්නාරන් වල පවතින පෝෂක සංඝටක පිළිබඳ අවධානය යොමු කිරීමේදී කැලරි, කාබෝහයිඩ්‍රේට්, ජලය, විටමින් ඒ, සී, ඊ, තන්තු, මේදය, කැල්සියම්, තයමීන්, පොටෑසියම්, කොපර්, යකඩ, මැග්නීසියම්, මැංගනීස්, සින්ක් හා ෆොනිල්ට් යන පෝෂ පදාර්ථ අන්තර්ගත වේ.
මෙහි ඖෂධීය භාවිතයන් රැසකි. එනම්

ඉදිමුම් හා වේදනාවන් සමනය කරයි. නස් නාරං කොල වේදනා නාශක ගුණයෙන් සමන්විත වන අතර ශරීරයේ යම් ස්ථානයක වේදනාවක් පවතින්නේ නම් නස්නාරං කොළ තම්බා එම වේදනා පවතින ස්ථානයේ බැඳීම වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම නස්නාරං බීජ ද ඉදිමුම් නාශක ගුණයෙන් යුක්ත වන අතර ඉදිමුම් පවතින ස්ථානයේ අඹරා බැදීම මගින් සුවයක් සලසා ගත හැකිය.
සමේ රෝග වලට හා සුළු විස නසයි. විශේෂයෙන් මෙහිදී ගෝනුස්සන් සපා කෑමේදී ඇතිවෙන සුලු විෂ සහ සමේ ඇතිවන රෝගී තත්ත්වයන් වලදී නස්නාරං බීජ හොඳින් අඹරා දෂ්ඨ කළ මුඛයෙහි හෝ සමේ රෝග පවතින ස්ථානයේ ආලේප කිරීම යෝග්‍ය වේ.
කොලෙස්ට්‍රොල් පාලනය කරයි. රුධිරයේ අහිතකර මේද අම්ල කොලෙස්ට්‍රෝල් ලෙස හඳුනාගන්නා අතර එම රෝගය පාලනය කිරීම සඳහා නස්නාරං යෝග්‍ය වෙයි. විශේෂයෙන් එම යුෂ පානය කිරීම මෙන්ම පොල් සම්බෝල වැනි ආහාරවලට දෙහි යොදා සකසන ආහාර වලට දෙහිවලට ආදේශකයක් ලෙස ද මෙම නස්නාරං භාවිත කළ හැකිය. මෙමඟින් රුධිරයේ පවතින අහිතකර මේද අම්ල දිය කර හැරිය හැකිය.
මල බද්ධය වළකාලයි. ආහාර අරුචිය පවතින අයට ආහාර පිළිබඳ රුචියක් ඇති කිරීම සඳහා නස්නාරං කදිම පලතුරකි. මෙමගින් කුසගිනි වඩවන අතරම ආහාර ජීර්ණය වීම ද හොඳින් සිදුවීමට දායක වේ. ඒ අනුව මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් පහසුවෙන් වළක්වා ගැනීමට හැකියාව ලැබේ.
මුඛ රෝග සඳහා සඳහා යෝග්‍ය වේ. වර්තමානයේ බොහෝ පුද්ගලයින්ට පවතින මුඛ රෝගී තත්ත්වයක් ලෙස විදුරුමස් දියවීම සහ විදුරුමසින් ලේ ගැලීම පෙන්වා දිය හැකිය. විශේෂයෙන් මුඛයේ විදුරුමස් ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් ඇති පුද්ගලයින් හට මුඛ දුර්ගන්ධය යන තත්ත්වයද ඇතිවේ. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නස්නාරං පරිභෝජනය කිරීම වඩාත් යෝග්‍ය වේ.
පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කරයි. පිළිකා යනු වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙකු පීඩා විඳින රෝගී තත්ත්වයකි. ඒ අනුව පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාව නස්නාරං සතුව පවතී. නස් නාරං වල පවතින විටමින් සී ඇතුළු ප්‍රතිඔක්සිකාරක ගුණය මෙම පිළිකා ඇතිවීම පාලනය වීමට දායකත්වය ලබා දෙයි. එනම් මේවායෙහි ශරීරයේ අවයවවල පවතින විෂ රසායනික බැහැර කරලීමේ හැකියාව පවතින නිසා ඒ ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් ද මර්දනය වේ.
සෙම් රෝග දුරු කරයි. සෙම්ප්‍රතික්ෂාව, උගුරේ ඇතිවන ආසාදන සහ කැස්ස වැනි රෝගී තත්ත්වයන් වලදී නස්නාරන් ගුණදායක වේ. විශේෂයෙන් මෙහිදී උගුරේ සෙම බැඳී පැවතීම නිසා ඇතිවන සෙම් ගෙඩි වැනි තත්ත්වයන් වළකාලීම සඳහා නස්නාරන් ලෙලි ඉවත් කර කුඩා කැබලි වලට කපා ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර දිව හා උගුර මැදීම මගින් සෙම ඉවත් කර ගත හැකිය.
ගර්භනී කාන්තාවන්ට වඩාත් සුදුසු වේ. දරුවකු පිළිසිඳ ගැනීමට පෙර පටන්ම ෆෝලික් අම්ලය ශරීරයට ලබා ගැනීම වත්මනේ සිදුවේ. මෙම පෝලික් අම්ලය වැඩි වශයෙන් අන්තර්ගත වන පලතුරු විශේෂයක් ලෙස නස්නාරං පෙන්වා දිය හැකිය. ඒ අනුව මෙම පලතුර ආහාරයට ගැනීමෙන් ගර්භනී කාන්තාවන්ට අවශ්‍ය කරන ෆෝලික් අම්ලය ලබාගත හැකි අතර රක්තහීනතාවයෙන් පෙළීම ද පාලනය කරගත හැකිය.

සන්ධි රෝග රෝගවලට ගුණදායක වේ. සන්ධි ආශ්‍රිතව ඇති වන වේදනා තත්ත්වයන් මෙන්ම ප්‍රදාහ තත්ත්වයන් ද වලකා ගැනීමේ හැකියාව නස්නාරන් සතුව පවතී. එබැවින් ඒවා පානයක් ලෙස ලබා ගැනීම හෝ අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙමගින් පිපාසාව ද සංසිඳුනු ඇත. මීට අමතරව
- අධි රුධිර පීඩනය පාලනය කිරීමට
- මානසික සංසුන්තාව ඇති කිරීමට
- ආතරයිටිස් රෝගය පාලනයට
- විසබීජ නාශනයට
- අධික ස්ථුලභාවය පාලනයට
- ස්නායුගත ආබාධ වල සුවතාවයට
- ධමනි ආශ්‍රිත රෝග තත්ත්ව පාලනයට
- අස්ථි හා දත් වල වර්ධනයට
ආදී වශයෙන් බොහෝ රෝග තත්ත්වයන් පාලනය කිරීම සඳහා නස්නාරං යෝග්‍ය වේ. මේ අනුව පැහැදිලි වන්නේ නස්නාරන් යනු ඖෂධීය වශයෙන් වටිනාකම් රැසක් පවතින පලතුරක් බවයි. ඕනෑම දේශගුණ තත්ත්වයක් යටතේ පහසුවෙන් වගා කර ගත හැකි මෙම ශාකය සෑම නිවසකම පාහේ තබාගැනීම අතිශයින්ම වැදගත් වේ.