හෘදයේ සිට සිරුරේ වෙනත් පටක වෙත ඊට ඒවාට අවශ්‍ය ඔක්සිජන් සහ රුධිරය ගෙනයන්නේ ධමනි මඟිනි.කෙසේවෙතත් මෙම ධමනි තුළ මේදමය ද්‍රව්‍ය හෙවත් ප්ලේක (plaque) බැඳීමෙන් ඒවා අවහිර වී රුධිරය ගමන් කිරීමට නොහැකිව රුධිර සංසරණයට බාධා මතුවීමට පටන්ගනියි. මෙම මේදමය ද්‍රව්‍ය සෑදී තිබෙන්නේ මේද, කොලෙස්ටරෝල්, කැල්සියම්, සෛලීය අපද්‍රව්‍ය සහ ෆයිබ්‍රින් වැනි රුධිරයේ සංසරණය වන විවිධ ද්‍රව්‍ය වලින්ය. රුධිර සැපයුම අඩුවීම හෘද රෝග මතුවීමට හේතුවෙයි.ධමනි තුළ මෙවැනි අවහිරතා ඇතිවී තිබෙන බව බොහෝ අයට හඳුනාගැනීමට ලැබෙන්නේ හෘදයාබාධ හෝ ආඝාතය වැනි රෝග වලට ගොදුරුවීමෙනි.
සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවකට හුරුවීම ධමනි සහ හෘද සෞඛ්‍යයේ නීරෝගිබව රැකගැනීමට ඉහළ මට්ටමින් ප්‍රතිලාභ ලබාදෙයි.ධමනි අවහිරතා ඇතිවීම වළක්වාගැනීමට ඔබ විසින් කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවාද කියලයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

මත්පැන් පානයෙන් වළකින්න මද්‍යසාර වලට අධික ලෙස ඇබ්බැහිවී සිටීම අධි රුධිර පීඩනය කෙරෙහි බලපෑම් එල්ල කරන බව පෙන්වාදෙනවා.අධි රුධිර පීඩනය හෘදයාබාධ හෝ ආඝාතයට (අංශබාගය) තුඩු දිය හැකියි.දිනපතාම මත්පැන් පානය කිරීම කාඩියෝමයෝපති (cardiomyopathy) නම් හෘදයේ මාංශ පේශීන් වලට බලපෑම් ඇතිකරන රෝග තත්වයට හේතුවිය හැකියි. මෙම පුරුද්ද නිසා කාලයක් ගතවන විට සිරුරේ රුධිර ගමනාගමනය දුර්වල වීම සහ හෘද රෝග වර්ධනය වීමේ අවදානම වැඩිවීම සිදුවිය හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.
දුම්බීමෙන් වළකින්න හෘද රෝග වලින් සිදුවන මරණ 4 න් 1කටම හේතුව දුම්පානය බවයි කියන්නේ.සිගරට් පානය නිසා රුධිර නාළ තුළ ප්ලේක ඇතිවීම ඉහළ යයි.ධමනි අවහිර වීමෙන් හෘදයාබාධ සහ අංශබාගය වැනි රෝග අවදානම් ද වඩාත් ඉහළ යයි.දුම්පානය නතර කිරීම මඟින් බොහෝ හෘද සෞඛ්‍ය ගැටලු අවදානම් අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
ව්‍යායාම වල යෙදෙන්න දිනපතාම ක්‍රියාශීලීව දවස ගත කරන්න. නීරෝගි දිවියකට ව්‍යායාම ඉතා වැදගත්.දිනකට මිනිත්තු 30-60ක් පමණ කාඩියෝ ව්‍යායාම වල නිරතවීමට උත්සහ කරන්න.ජොගිං, ඇවිදීම, පිහිනීම, පාපැදි ධාවනය වැනි ක්‍රියාකාරකම් ද ඉතා ඵලදායීය.නැවුම් වාතාශ්‍රය සිරුරට ලැබෙන නිසා රුධිර ගමනාගමනය ද වැඩිදියුණු වෙයි. මෙය ඔබේ හෘදය, පෙනහළු මෙන්ම සමස්ත සිරුරේම නීරෝගී බව වැඩිකරවයි. අධිකව සිරුර වෙහෙසවමින් දිගු කාලයක් ව්‍යායාම වල යෙදෙන්න එපා.අධිකව සිරුර වෙහෙසවීමෙන් ධමනි වල අවහිරතා ඇති අය තුළ හුස්ම හිරවීම, ඔක්කාරය, ඉස කරකැවිල්ල, තදබල පපුවේ වේදනාව වැනි පීඩාකාරි ලක්ෂණ මතුවිය හැකියි.
ලුණු පරිභෝජනය සීමා කරන්න එදිනෙදා අප ලබාගන්නා ඇතැම් ආහාර පාන වල ලුණු බහුලව අඩංගුයි.සිරුරට ලුණු අත්‍යවශ්‍ය වුව ද ඒවා අධික ලෙස ශරීරගත වීම අහිතකරය.පේශී ලිහිල් වීමට, වතුර සහ ඛනිජ ලවණ සමතුලිතතාව සහ ස්නායු ක්‍රියාකාරීත්වයට ලුණු අවශ්‍යයයි.එහෙත් දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය මිලිග්‍රෑම් 500ක් පමණ සුළු ප්‍රමාණයකි.සිරුරේ සෝඩියම් මට්ටම් ඉහළ යාම අධි රුධිර පීඩනය සහ හෘද රෝග ඇතිවීමට සෘජු බලපෑමක් ඇතිකරයි.
බැදුම් ආහාර වර්ග වලින් හැකිතාක් වළකින්න ගැඹුරු තෙලේ බදින ලද (ෆ්‍රයිස්, චිප්ස් )ආහාර වර්ග වල කැලරි අගය මෙන්ම ට්‍රාන්ස් මේද මට්ටම් ඉතා ඉහළයි.මෙවැනි ආහාර සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම් ඉහළ දමයි.මෙම ආහාර පුරුදු නිසා ධමනි තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත්වීමේ අවදානම ද වැඩිවෙයි.මේද අධික ආහාර නිසා හෘද රෝග පමණක් නොව ස්ථූලතාව සහ දියවැඩියාව වැනි රෝග අවදානම් ද ඇතිවිය හැකියි.
ක්ෂණික ආහාර පරිභෝජනයෙන් වළකින්න අතුරුආහාර ලෙස බොහෝ අය බර්ගර් ඇතුලු බනිස් පේස්ට්‍රි වර්ග, චිප්ස්, ක්ෂණික නූඩ්ලස් වැනි ක්ෂණික ආහාර පාන වලට හුරුවෙලා සිටිනවා.එහෙත් මේවා බොහෝමයක් පිටි අධික, ගැඹුරු තෙලේ බදින ලද, සැකසූ මස් නිෂ්පාදන අඩංගු ආහාරයි.ඇතැම් ක්ෂණික ආහාර වර්ග වල සීනි සහ ලුණු අධිකයි.මෙවැනි ආහාර ඔබේ හෘද සෞඛ්‍යයට අහිතකරයි.

සැකසූ මස් නිෂ්පාදන ආහාරයට ගැනීම හැකිතාක් අවම කරන්න සැකසුම් ක්‍රියාවලීන්ට ලක්කළ මස් නිෂ්පාදන වල නැවුම් මස් වල අඩංගු පෝෂණය එලෙසින්ම ආරක්ෂා වී තිබේදැයි සැකසහිතයි.සොසේජස්, මීට් බෝල්ස්, හොට් ඩෝග්ස්, බේකන් වගේ ආහාර වල ලුණු, මේද ඇතුළු කල් තබාගැනීමේ ද්‍රව්‍ය මෙන්ම නරක කොලෙස්ටරෝල් බහුලයි. මේවා අධිකව ආහාරයට ගැනීම සිරුරේ නරක කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාමට හේතුවෙයි.
බිත්තර ආහාරයට ගන්න පර්යේෂකයින් පෙන්වාදෙන්නේ බිත්තර වල අඩංගු කොලෙස්ටරෝල් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් කෙරෙහි සෘණාත්මක බලපෑම් ඇතිනොකරන බවයි.බිත්තර ආහාරයට ගැනීමෙන් සිරුරේ HDL හෙවත් හිතකර කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවෙයි.බිත්තර හෘද සෞඛ්‍යයට හිතකර ආහාරයකි.හිතකර කොලෙස්ටරෝල් මඟින් ධමනි තුළ ඇති ආතතීන් අවම කරවයි.