දිනකට කරාබු නැටි දෙකක් ආහාරයට ගන්න කොලෙස්ටරෝල් ඇතුළු ලෙඩ රෝග 20ක් පාලනය වෙනවා

health tips

පුංචිම පුංචි කරාබු නැටි 2 කට අපේ ශරීරයේ බොහොමයක් ලෙඩ රෝග සුවපත් කරලා අපේ නිරෝගී බව බොහෝ කාලයක් ආරක්ෂා කර දෙන්නට හැකියාව තියෙන බව කිව්වොත් ඇතැම් විට ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. නමුත් ප්‍රමාණයෙන් පුංචි වුණාට කරාබු නැටි කියලා කියන්නේ අතීතයේ ඉඳන්ම බොහෝ දෙනෙක් භාවිතයට ගත්ත බොහෝ ප්‍රයෝජන තියෙන ඖෂධීය වටිනාකමින් ඉහළ දෙයක් . 

ඉන්දුනීසියාවේ ඉතාම සුවඳවත් රෝස පාට මලක රේණු  විදිහට තමයි කරාබු නැටි හට ගන්නේ .  කරාබු නැටි අපේ රටේ විතරක් නෙවෙයි බංගලාදේශය, ඉන්දුනීසියාව, මැඩගස්කරය, පකිස්තානය, ටැංසානියාව ආදී බොහෝ රටවල්වල වාණිජ වශයෙන් වගා කෙරෙන නිසා ලෝකයට අඛණ්ඩ සැපයුමක් වසර පුරාම ලබාගන්නට හැකියාව තියෙනවා. ඒ කොහොම වුණත් කරාබු නැටිවලට මේ වටිනාකම ලැබෙන්නේ කුළුබඩුවක් විදිහටම විතරක් නෙවෙයි එහි සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක්ම තියෙනවා.

මේ කරාබු නැටිවල බොහොමයක් පෝෂ්‍ය පදාර්ථ වගේම ශරීරයට හිතකර ජෛව රසායනිකයන් බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ නිසා අපිට රෝග බොහොමයක් රැකවරණයක් මෙයින් ලබා ගන්නට හැකියාව තියෙනවා.ඒ නිසාම ලෝකයේ බහුල වශයෙන්ම භාවිතයට ගැනෙන සුවිශේෂී කුළු බඩුවක් විදියට මෙය අතිශයින්ම වැදගත්.

 ඉතින් ඔන්න අපි අද කතා කරන්නේ දවසට කරාබු නැටි දෙකක් ඔබේ ආහාරයට එකතු කර ගත්තොත් ලැබෙන වාසි පිළිබඳව. 

ආහාර මාර්ගයේ රෝග  වළක්වනවා.කරාබු නැටි මගින් ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය වන එන්සයිම නිෂ්පාදනය වර්ධනය කරන නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවිය හැකි ලෙඩ රෝග බොහොමයක් වළක්වා ගැනීමට කරාබු නැටි උදව් වෙනවා.  ආමාශයේ ඇතිවන දැවිල්ල, තුවාල ආදිය සමනය කරගන්නත්  මලබද්ධය වළක්වා ගන්නත් කරාබු නැටි අපිට භාවිතා කළ හැකි බව පර්යේෂණ කිහිපයකින්ම තහවුරු කරගෙන තියෙනවාවා. ආහාර මාර්ගයේ මේ රෝග තත්ත්වයන් සඳහා කරාබු නැටි භාවිතා  කරන්නට වෙන්නේ කුඩු වශයෙන් ගෙන හෝ රෝස්ට් කර ගෙනයි.

ඒ වගේම ආමාශය ආශ්‍රිතව ඇතිවන වාතය පිරීම, ඔක්කාරය සහ වමනය වගේ අපහසුතා සඳහා කබලේ  බැද කුඩුකරගත් කරාබු නැටි මී  පැණි සමඟ ආහාරයට ගැනීමෙන් සහනය සලසා ගන්නට  පුළුවන්. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය  ශක්තිමත් කරනවා.ලෙඩ රෝගවලට එරෙහිව සටන් කරන්නට  ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සුදු රුධිරාණු සෛල නිෂ්පාදනය වෙනවා. කරාබු නැටිවල අඩංගු වෙලා තියෙනවා විටමින් සී හේතුකරගෙන අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසා අපිට ඇතිවිය හැකි බොහෝ ලෙඩ රෝගවලින් වැළකිලා ඉන්න අපිට මෙය විශාල  උදව්වක් වෙනවා. නිරෝගී ශරීරයක් කියන්නේ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක්  තිබීම. ඉතින් ඒ නිසා දවසකට කරාබු නැටි දෙකක් ආහාරයට ගන්නට පුළුවන් නම් රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නට හැකියාව ලැබෙනවා.

අක්මාව නිරෝගී කරනවා. කරාබු නැටිවල අඩංගු වන ඉයුජිනෝල් කියන සංයෝගය අක්මාවේ නිරෝගීභාවයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. අක්මාව නිරෝගී වුණොත් අපේ ශරීරයේ එකතු වන විෂ නිසි පරිදි බැහැර කරන නිසා අපේ ශරීරයේ නිරෝගී බවට එය හරිම වැදගත්. 

ශරීරයේ  ඉදිමුම් සහ  වේදනාවට සහනය සලසනවා.පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට  කරාබු නැටිවල වේදනා නාශක සහ   ප්‍රති දාහක ගුණ වැඩි වශයෙන් අඩංගු වෙනවා. කරාබු නැටිවල ඇති මේ සුවිශේෂී ගුණය භාවිතා කරමින් ඔබට ඇතිවන  හිසරදයටත් පිළියමක් ලෙස  භාවිතා කරන්නට පුළුවන්.

හිසරදයක් ඇති වුණු අවස්ථාවකදී කරාබු නැටි කිහිපයක් ලුණු සමග මිශ්‍ර කර කිරි වීදුරුවකට එකතු කර පානය කිරීමෙන් ක්ෂණික සහනය සලසා ගන්න පුළුවන්.

 ඒ වගේම බොහෝ දෙනෙක් පීඩා විඳින සන්ධි වේදනාව දුරුකර ගන්නටත් කරාබු නැටි ඖෂධයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. කුරුදු කරාබු නැටි යන දෙකම සමානව ගෙන තලා සන්ධි වේදනා ඇති ස්ථානවල ගල්වා සම්බාහනය මගින් මේ වේදනාවන්ට සහනය ලබා ගන්න පුළුවන්. 

අස්ථි සහ සන්ධි  ආරක්ෂා කරනවා.අපේ අස්ථිවල ක්‍රියාකාරීත්වයට බලපාන ෆ්ලෙවනොයිඩ්ස්, මැංගනීස්, ඉයුජිනෝල් කියන සංයෝග තුනම මේ කරාබු නැටිවල වැඩි වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. මේ සංයෝග අපේ අස්ථිවල ඝනත්වය වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි අස්ථි වර්ධනය හොඳින් සිදු කරන්නට උදව් වෙනවා.  ඒ වගේම අපේ අස්ථිවලට ඛනිජ සපයා දෙන්නටත් මේ කරාබු නැටිවල ඇති මේ සංයෝග උදව් වෙනවා. ඒ නිසා ඔස්ටියෝපොරෝසිස් වගේ රෝග තත්ත්වයන්වලින්  ආරක්ෂා වෙලා ඉන්නත් මෙය උදව් වෙනවා. 

පිළිකාවලින් ආරක්ෂාව සලසනවා.පිළිකා ඇතිවීම වළක්වන්නට කරාබු නැටිවල අන්තර්ගත සුවිශේෂී සංයෝග හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සුවිශේෂී සංඝටක නිසාම ඇතැම් පිළිකා සෛල විනාශ වෙනවා. පෙනහලු ,පියයුරු,  ඩිම්බ කෝෂ සහ   වෙනත් අවයව ආශ්‍රිතව ඇති විය හැකි පිළිකා සෛල මුල් අවස්ථාවේදී විනාශ කරන්නට මේ කරාබු නැටිවලට හැකියාව තියෙනවා. මේ පිළිකා නැසීමේ හැකියාව කරාබු නැටිවලට ලැබිලා තියෙන්නේ ඉයුජිනෝල් කියන කියන සංයෝගය හේතු කරගෙන. 

බැක්ටීරියා විනාශ කරනවා.අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධී හැකියාවන් සහිත කරාබු නැටි බැක්ටීරියා ආදී ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපිට ආරක්ෂාව සලසනවා. මස්පිඩුවල වේදනාව, අතීසාරය, තෙහෙට්ටු බව වගේම මරණය පවා ඇති කරන  ඊ කෝල් බැක්ටීරියාව මර්දනයටත් කරාබු නැටිවලින් නිස්සාරණය කරන තෙල්වලට හැකියාව තියෙනවා.

 ඒ වගේම  අප ගනු ලබන ආහාර හේතු කරගෙන අපගේ මුඛයේ බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් වර්ධනය වෙනවා.ඒ නිසා ඉතා ඉක්මනින් මුඛ රෝග ඇති වෙන්නට පුළුවන්. මේ තත්ත්වය හොඳින් පාලනය කර ගන්නට තේ ගසේ සාරය, කරාබු නැටි සහ  බැසිල් කියන ශාක භාවිතා කරලා ශාකසාර මවුත් වොෂ් එකක් සාදා ගන්නට අවස්ථාව තියෙනවා. එයින් අපේ මුඛයේ සිටින බැක්ටීරියා විනාශ කරන්නට හැකියාව ලැබෙනවා වගේම නැවත බැක්ටීරියා ඇතිවීමත් වළක්වා ගන්නට පුළුවන්.  ඒ වගේම මේ කරාබු නැටි අපේ මුවට නැවුම් බවකුත් ලබා දෙනවා.

රුධිරයේ කැටි ගැසීමේ ගුණය ආරක්ෂා කරනවා.රුධිරය කැටි ගැසීමට අවශ්‍ය වන විටමින් k කරාබු නැටිවල යහමින් අඩංගු වෙනවා. ඒ නිසා විටමින් කේ ඌනතාවයෙන් පෙළෙන ඔබට කරාබු නැටි කියලා කියන්නේ ඉතාම හොඳ ඔසූවක් . විටමින් කේ ඌනතාවයකදී  රුධිර වහනයකදී  රුධිර ගැලීම අධිකව සිදු වෙන රෝගීන්ට කරාබු නැටි ඉතාම හිතකරයි. නමුත් විටමින් කේ රුධිර කැටි ගැසීම අඩු කරන ඖෂධ සමඟ හොඳින් ප්‍රතික්‍රියා කිරීම නිසා ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ   නිසා මෙවැනි අවස්ථාවකදී කරාබු නැටි ආහාරයට එකතු කර ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. 

රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා. කරාබු නැටි අපේ ශරීරය තුළදී ඉන්සියුලින් හෝමෝනය මෙන්  ක්‍රියා කරනවා.ඒ වගේම ඉන්සියුලින් නිෂ්පාදනය කරන සෛලවල  ක්‍රියාකාරිත්වයත් වැඩි දියුණු කරනවා.  ඉතින් ඒ නිසා රුධිරගත සීනි මට්ටම ඉහළ යාම නිසා පීඩා විඳින අයට කරාබු නැටි ඉතාම හොඳ ඖෂධයක්. එයින් අපේ රුධිරයේ තියෙන සීනි  සෛලවලට ලබාදී සීනි මට්ටම අඩු කරනවා. 

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර රුධිර පීඩනය යහපත්ව පවත්වා ගන්නට උදව් වෙනවා. කරාබු නැටිවල ප්‍රතිඔක්සිකාරක බහුලවම අඩංගු වෙනවා. ආහාරමය polyphenol සංයෝග අඩංගු වෙන ශාක අතරින් ඉහළින්ම සිටින ශාකයක් තමයි මේ කරාබු නැටි. මේ polyphenol අපේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර රුධිර පීඩනය නිසි මට්ටමේ පවත්වා ගන්නට උදව් කරන රසායනික සංයෝගයක්. එයින් අපේ ධමනිවල ක්‍රියාකාරීත්වය සහ නම්‍යශීලී බව වැඩිදියුණු කරනවා. මුක්ත ඛණ්ඩක හේතුවෙන් අපේ ශරීරයේ ඇති වෙන්නට හැකි හෘද රෝග. පිළිකා වගේම ආතරයිටීස් ආදී රෝග තත්ත්වයන් වළක්වා ගන්නටත්  උපකාරී වෙනවා. 

දත් කැක්කුම් සුව කරනවා.මේ කරාබු නැටිවලට සුවිශේෂී හැකියාවක් තියෙනවා වේදනා අඩුකරන්නට.ඒ නිසා දත් කැක්කුමක් ඇති වුණු අවස්ථාවක කරාබු නැටි කැබැල්ලක් ඒ ස්ථානයේ තබා ගැනීමෙන් ක්ෂණිකවම දත් කැක්කුම සුව කරගන්නට හැකියාව ලැබෙනවා. මේ සඳහා ඔබට කරාබු නැටි සහ කරාබු නැටි තෙල් භාවිතා කරන්නටත් පුළුවන්. 

සුවදායි නින්දක් ලබා ගැනීමට උපකාරී වෙනවා.රාත්‍රියට නින්ද නොයාම නිසා පීඩාවට පත්වෙන බොහෝ දෙනෙක්ට ඒ ගැටලුව ඉතා පහසුවෙන් සමනය කරගන්නට මේ කරාබු නැටි භාවිතයට ගන්නට පුළුවන්.  උණුසුම් වතුර වීදුරුවකට කරාබු නැටි දෙකක් පමණ තළා මිශ්‍ර කර නිවුණු පසු පානය කිරීමෙන් සුවදායී නින්දක් ලබාගන්න පුළුවන්. 

  • තරුණ පෙනුම බොහෝ කලක් රැක දෙනවා .
  • මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවා.
  • ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනවා. 
  • මුඛ දුර්ගන්ධය නැති කරනවා.
  • කොලෙස්ටරෝල් වැලදීමේ අවදානම අඩු කරනවා.
  • කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව , විදුරුමස් රෝග ආදිය සුවපත් කරන්නට උදව් වෙනවා.
  • ආහාරවල විෂ ඉවත් කරන්නට දායක වෙනවා.
  • පණු රෝගවලින් ආරක්ෂාව සලසනවා. 

සැලකිය යුතුයි කරාබු නැටිවල අඩංගු වෙන ඉයුජිනෝල් කියන සංයෝගය අධිකව ශරීරයට ලැබුණොත් එය ශරීරයට විෂ සහිත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා යම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධයක් විදියට මෙය භාවිතයට ගන්නේ නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් පිළිපදින්න.