බහුවාර්ෂික ශාකයක් වන කෝවක්කා සුදුකඳක් සහිත ආධාරකයක් මත වැඩෙන ඖෂධීය වැල් විශේෂයකි. එනම් Coccinia grandis යන කුලයට අයත් කොවක්කා ශාකයේ පත්‍ර සරල කඩතොලු සහිත පත්‍ර වන අතර හටගනු ලබන මල් සුදු පැහැති මල්වේ. අණ්ඩාකාර හැඩයෙන් යුතු ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු රතු හෝ රෝස පැහැයක් ගනී.
දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ද විදේශීයව දකුණු ආසියානු රටවලද කෝවක්කා දැකගත හැකිය.ප්‍රධාන වශයෙන් කෝවක්කා වර්ග දෙකක් හඳුනාගත හැකි අතර වන්‍ය ප්‍රභේදය ලෙසින් ඖෂධ සඳහා ද ග්‍රාම්‍ය ප්‍රභේදය ලෙසින් ආහාර සඳහා ද එම වර්ග හඳුනාගත හැකිය. එනම් කෝවක්කා ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද කෝවක්කා ගෙඩි පලතුරක් ලෙස මෙන්ම කෝවක්කා කොළ පලා මැල්ලුමක් ලෙස ද ආහාරයට ගත හැකිය. එනම් කෝවක්කා වල පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගුවේ. ඒ අතර ප්‍රෝටීන්,විටමින් සී, පොස්පරස්, රයිබොප්ලෙවින්, කාබෝහයිඩ්ඩ්‍රේට්, කැල්සියම්.. ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් ඒ අතර ප්‍රමුඛවේ. එනම් කෝවක්කා ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.
කෝවක්කා වල ඖෂධීය භාවිතය

මළබද්ධය, අර්ශස් ඇතිවීම වලක්වා ගත හැකිය.බඩවේලීම නොහොත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීම සඳහා කෝවක්කා ආහාරයට ගැනීම ගුණදායකය. එනම් කෝවක්කා පලා මැල්ලුම මෙම රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය. එනම් කෝවක්කා කොළ වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලපහ පිට කිරීම පහසු කරවනු ලැබේ. එමෙන්ම අර්ශස් රෝගීන්ට ද මෙය ඉතා ගුණදායකය.
රුධිර ගත සීනි මට්ටම පාලනය කර ගත හැකිය.කෝවක්කා වඩාත් ප්‍රචලිත වන්නේ දියවැඩියාව නොහොත් රුධිරගත සීනි මට්ටම පාලනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ඖෂධීය පලතුරක්,පලා වර්ගයක් ලෙසය. එනම් දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු වන්නේ කෝවක්කා පලාව මැල්ලුමක් ලෙස පිළියෙල කර ආහාරයට ගැනීමය. එනම් ඉන් රුධිර ගත සීනි මට්ටම පාලනය කර ගත හැකිය. මේ සඳහා කෝවක්කා කොළ වල අඩංගු තන්තු වැඩි දායකත්වයක් සපයනු ලබයි. නමුත් වෙනත් ඖෂධ හෝ ප්‍රතිකාර සමඟ කෝවක්කා ආහාරයට නොගත යුතුය. එනම් ඉන් රුධිර ගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය. එමෙන්ම මෙම පලා මැල්ලුම ආහාරයට ගැනීමට ප්‍රථමව සහ පසුව ද රුධිර ගත සීනි මට්ටම පරික්ෂා කර බැලීම වඩාත් වැදගත්වේ.
ශරීරයේ ඇතිවන නොයෙකුත් වේදනාවන්ට සුවය සලසා ගත හැකිය. සන්ධි ඉදමුම්, වේදනා සුව කර ගැනීමට කෝවක්කා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කෝවක්කා මුල් ,දඩු ගෙන තලා ලබා ගන්නා යුෂ වේදනාව , ඉදමුම් ඇති ස්ථානවල ආලේප කිරීම මගින් සුවය සලසා ගත හැකිය.
සම ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කර ගත හැකිය.බොහෝ පුද්ගලයන් හොරි, දද ,කුෂ්ඨ ආදී චර්ම රෝග ඇතිවීම හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.මේ සඳහා කෝවක්කා ඖෂධයක් ලෙස ආයුර්වේදය තුළ ද භාවිතා කර තිබේ. එනම් කෝවක්කා ගෙඩි වල හෝ පත්‍රවල යුෂ ගෙන දද, කුෂ්ඨ මත උදෙ සවස දිනකට දෙවතාවක් ආලේප කිරීම මගින් එම රෝග සුව කර ගත හැකිය.
කල් ගත කැස්ස සුව කර ගත හැකිය.කල් ගත වූ කැස්ස සුව කර ගැනීමට ඖෂධයක් ලෙස කෝවක්කා භාවිතා කළ හැකිය. එනම් කෝවක්කා කොළ මිටක් ගෙන බදුනකට දමා ඊට ජලය පත අටක් මිශ්‍ර කර පත එකට සිඳුවා පත භාගය බැගින් උදේ සවස මීපැණි මිශ්‍ර කර සුව වන තෙක් පානය කිරීම මගින් කල් ගතවූ කැස්ස සුව කර ගත හැකිය.

සම පැහැපත් කර ගෙන පෝෂණය කර ගත හැකිය. සමට හිතකර පලතුරක් ලෙස කෝවක්කා හැඳින්විය හැකිය. එනම් කෝවක්කා ඉදුණු ගෙඩි වල පවතින විටමින් සී සමෙහි කොලජන් වර්ධනය කර සම පැහැපත් කිරීම සිදුකරයි.
මුඛ දුර්ගන්ධය ඇතිවීම වලක්වා ගත හැකිය. මුඛ දුර්ගන්ධය ඇති වීම වලක්වා ගැනීමට කෝවක්කා කොළ යුෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් කෝවක්කා කොළ මිටක් පමණ ගෙන කොටා යුෂ ගෙන එම යුෂෙන් මුඛය සෝදා හැරීම මගින් මුඛ දුර්ගන්ධය දුරු කර ගත හැකිය.
රක්තහීනතාවය ඇතිවීම වලක්වයි.යකඩ ඌණතා ඇතිවීම හේතුවෙන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වී රක්තහීනතාවය ඇතිවනු ලැබේ. එනම් කෝවක්කා වල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදුකරයි. මීට අමතරව
- ලාඳූරු රෝගය සඳහා
- සෝම රෝගය සඳහා
- පොතු කබර රෝගය සඳහා
- වණ,තුවාල සමනය කිරීම සඳහා
- ඇදුම රෝගය සඳහා
- හිසකෙස් වර්ධනය කිරීම සඳහා
- උගුර ආශ්‍රිත රෝග සඳහා
- වකුගඩු රෝග සඳහා
- ආර්තව ගැටලු සමනය කිරීම සඳහා
- අක්මා රෝග සඳහා
- උණ සමනය කිරීම සඳහා
මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස කෝවක්කා ගෙඩි, කොළ භාවිතා කළ හැකිය. නමුත් නිදන්ගත රෝග ඇති විට භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.