මහ බඩවැලේ ඇතිවන පිළිකා රෝග ලක්ෂණ 10 ක්

health tips

අපේ ශරීරයේ මහ අන්ත්‍රය නැත්නම් මහ බඩවැල සතු කාර්යබාරය වෙන්නේ ජීර්ණය අවසන් වුණු ආහාර කොටස් තවදුරටත් ජීර්ණය කර ඒ ආහාර කොටස් (මලපහ ) ගබඩා කර තැබීම සහ ජලය උරා ගැනීමයි. ඒ නිසා මහ බඩවැල නීරෝගීව පැවතීම සිරුරේ නීරෝගී පැවැත්මට අතිශයින්ම වැදගත්. නමුත් මේ මහ බඩවැල ආශ්‍රිතව විවිධ රෝග තත්ත්වයන් ඇති වෙනවා. එවැනි රෝග අතුරින් බඩවැල් ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් පිළිබඳව නිතර අසන්නට ලැබෙනවා. ඉතින් පිළිකාව කියන වචනයටත් අද අපිට බිය වන්නට සිදුවෙලා තියෙන්නේ එහි ඇති භයානක ස්වභාවය නිසාමයි. නමුත් ඔබ දන්නවා පිළිකා සෛල සිරුර ආක්‍රමණය කරන්නට පෙර මුල් අවධියේදී  හඳුනා ගැනීම මගින් එය බොහෝදුරට සාර්ථකව පාලනය කරන්නට වගේම නිට්ටාවට සුවකර ගන්නටත් උපකාරී වන බව ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ මහ බඩවැල ආශ්‍රිතව ඇති වන පිළිකාවක් කල්තියා හඳුනා ගත හැකි රෝග ලක්ෂණ පිළිබඳවයි.

Colorectal Cancer හෙවත් මහ බඩවැල ආශ්‍රිත පිළිකා හට ගන්නේ මහ බඩවැල් අභ්‍යන්තරයේම පවතින මියුකෝසල් ස්තරයේ.මේ පිළිකා මහ බඩවැලේ ඕනෑම් කොටසකින් ආරම්භ වෙන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම මහා අන්ත්‍රයේ වම් පස මේ පිළිකා බහුලව ඇති වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 70% ක් තරම් ප්‍රමාණයක්.ඒ වගේම මහ බඩවැලේ අවසන් කොටස වන ගුද මාර්ගයට ඉහළ කොටසේ ද බහුල වශයෙන් මේ පිළිකා ඇතිවීම දකින්නට පුළුවන්. ඒ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 50%- 60% ත් අතර ප්‍රමාණයක් ලෙස සඳහන් කළ හැකියි. මහ බඩවැලේ දකුණු පස ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ හැකියාව 30% ක් පමණ වෙනවා.

මේ මහ බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්වය කාන්තා පුරුෂ දෙපාර්ශවය තුළම දකින්නට පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 60-70 ත් අතර වයස් සීමාවන්වල පසුවන අය අතර මේ මහ බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් බහුලවම ඇතිවෙන්නට ඉඩකඩ පවතිනවා.නමුත් අද වන විට මේ පිළිකා තත්ත්වය 30, 40, 50 කියන වයස් කාණ්ඩවල අය අතරත් ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යමින්  පවතිනවා. 

මහ බඩවැල ආශ්‍රිත පිළිකාවක් හඳුනාගත හැකි රෝග ලක්ෂණ 

මේ රෝග ලක්ෂණ පිළිකාව වර්ධනය වන ස්ථානය අනුව වෙනස් වීමකට ලක්වෙනවා. රෝග ලක්ෂණ බහුලව දැක ගන්නට ලැබෙන්නේ වම් පස ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්ත්වයකදී. දකුණු පස ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්ත්වයකදී රෝග ලක්ෂණ පහළවීම ඉතාම අවමයි.

මලපහ සමඟ රුධිරය පිටවීම මෙය වේදනාවක් රහිතව සිදුවන රුධිර ගලනයක්. මලපහ පිට කරනවිට ඇතැම් අවස්ථාවල මේ රුධිරය පිටවෙන්නට පුළුවන්. එය දිනකට වරක් සතියකට වරක් හෝ මාසයකට වරක් සිදුවෙන්නටත් පුළුවන්. 

මලබද්ධය හෝ දියරමය වශයෙන් මලපහ පිටවීම පෙර නොතිබුණු මල බද්ධයක් මහබඩවැල් ආශ්‍රිත පිළිකාවක් වර්ධනය වීමකදී ඇතිවෙන්නට පුළුවන්. එයට හේතුවන්නේ පිළිකාව නිසා ආහාර මාර්ගයේ සිදුර  කුඩාවීම නිසා.එවැනි අවස්ථාවක මලපහ පිටවන්නේ කුඩා ප්‍රමාණවලින්. ඇතැම් අවස්ථාවල සම්පූර්ණයෙන්ම මලපහ පිට නොවී සිරවීමක් වන්නටත් පුළුවන්. 

  • වරින්වර වැසිකිලියාමේ අවශ්‍යතාවය ඇතිවීම 
  • වැසිකිලියාමෙන් පසුව නැවත මලපහ පිටකිරීමේ අවශ්‍යතාවයක් දැනීම මේ තත්ත්වය වැඩි වශයෙන් ඇතිවෙන්නේ ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ පිළිකාවක් වර්ධනය වන අවස්ථාවකදී.
  • උදරයේ පහළ කොටසේ වේදනාව 
  • කාලයක් තිස්සේ පවතින කොන්දේ කැක්කුම 
  • කෑම අරුචිය 
  • බඩවැලේ තදවීම 
  • බඩ පුරවා දැමීම 
  • සිරුර අසාමාන්‍ය ලෙස කෙට්ටුවීම හෝ බර අඩුවීම 

පෙර හඳුනා ගැනීමේ පරීක්ෂණ මේ පිළිකාවේ ඇති භයානකම තත්ත්වය වන්නේ ඉහත සඳහන් කළ කිසිදු රෝග ලක්ෂණයක් බාහිරට නොපෙන්වා අවුරුදු 5-10 ක් තරම් කාලයක් තිස්සේ පිළිකාව මහ බඩවැලේ වර්ධනය වීමයි. එවැනි රෝගීන් බොහොමයක් සමාජයේ සිටින නිසා ඔවුන් නිරන්තරයෙන්ම පෙර හඳුනා ගැනිමේ පරීක්ෂණ වෙත යොමු වීම මගින් මේ පිළිකාව කල්තියා හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාර්ථක ලෙස සුවකරන්නට හැකියාව පවතිනවා.

  • ඒ නිසා වයස අවුරුදු 50 ඉක්මවූ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අය මේ කල්තියා හඳුනා ගැනීමේ පරීක්ෂණ වෙත යොමුවිය යුතු වෙනවා.
  • බඩවැල ආශ්‍රිත ගැටිති ඇති පවුල් පරිසරයක් ඇති  අයත් අනිවාර්යෙන්ම මේ කල්තියා  හඳුනාගැනීමේ පරීක්ෂණ වෙත යොමු විය යුතු වෙනවා.ඒ සඳහා වයස අවුරුදු 40 දී පමණ යොමුවීම වැදගත්.
  • පිළිකා රෝගයෙන් පෙළෙන සහ පිළිකාව හඳුනාගෙන ප්‍රතිකාර සිදු කරන සාමාජිකයෙක් පවුලේ සිටීමත් වයස් අවුරුදු 40 දී ඔහුගේ හෝ ඇයගේ පිළිකා තත්ත්වය හඳුනා ගත්තේ නම් එවැනි පවුලක සියලුදෙනාම වයස අවුරුදු 30 දී පමණ මේ පරීක්ෂාවන් සිදු කරගත යුතුයි.

මේ බඩවැල ආශ්‍රිත රෝග තත්ත්වයන් හඳුනා ගැනීමට කොලොනොස්කොපි පරීක්ෂණය සිදු කරනු ලබනවා. මේ පරීක්ෂණයේදී මහා බඩවැල වගේම කුඩා බඩවැල ඉතා පිරිසිදුව තබාගත යුතුයි. ඒ සඳහා පොලි ඇතිලීම් ග්ලයිකෝල් නම් කුඩු විශේෂය ජලයේ දියකර පානය කිරීමට ලබා දෙනවා. ඒ වගේම පසුදා පරීක්ශනය සිදු කරන්නේ නම් රාත්‍රී ආහාරයෙන් පසුව සිට කිසිවක් ආහාරයට නොගත යුතුයි. මේ පරීක්ෂණය මගින් බඩවැලේ තුවාල, කුඩා ගෙඩි පිළිකා ආදී සියල්ලම නීරීක්ෂනය කරන්නට හැකියාව ලැබෙනවා.විශේෂයෙන්ම බඩවැලේ පිළිකා තත්ත්වයකදී රෝගියාගේ පිළිකාව ඇති ස්ථානයෙන් පටක ලබා ගැනීමත් මේ මගින් සිදු කරනවා.

මහ බඩවැල් ආශ්‍රිත පිළිකා පාලනය කළ නොහැකි මට්ටමට වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා කළ යුතු හොඳම ක්‍රමවේදය වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුවත් කල්තියා හඳුනා ගැනීමේ පරීක්ෂණයට යොමුවීමයි. එමගින් මේ පිළිකා තත්වය වඩාත් සාර්ථකව සුව කර ගන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා.