හිසකෙස් රෝග සුව කරන අරළු

health tips

ආයුර්වේදයේ සඳහන් ප්‍රචලිත ඖෂධ අතර ත්‍රිඵලා නම් ඖෂධයට අයත් වන අරළු යනු බොහෝ රෝග සමනය කිරීම සඳහා භාවිතා කළ හැකි තවත් එක් වටිනා ඖෂධයකි. Combretaceae උද්භිද කුලයට අයත් අරළු

ශාකය මීටර් තිහක් පමණ උසට වැඩෙන අතු බෙදී ගිය ශාකයකි.  අරළු ශාකයේ කහ හෝ දුඹුරු පැහැති ළපටි  අතු බූවකින් යුතු වන අතර පහතට එල්ලී තිබේ. සම්මුඛ හෝ උප සම්මුඛ පත්‍ර  අණ්ඩාකාර හෝ ලන්සාකාර සිට පළල් ඉලිප්සාකාර හැඩයෙන් යුතුවේ. එම පත්‍ර තුළ මද හෝ දැඩි බූවක් දැක ගත හැකිය.  ද්වී ලිංගික මල් සුදු පැහැයෙන් යුතු වන අතර ඵලය පළල් ඉලිප්සාකාර සිට උපගෝලාකාර හැඩයක් ගනී.එනම් අරළු ඵලයේ හැඩය හා ප්‍රමාණය අනුව අරළු වර්ග ප්‍රභේද කිහිපයක් දැක ගතහැකිය. එමෙන්ම අරළු ,පත්‍යා, ජයා, අභයා, විජයා හරිතකී යන නම්වලින්  දේශීය වෛද්‍ය විද්‍යාවේ  ද හඳුන්වනු ලැබේ. 

  • රෝහිණි 
  • අභය 
  • පූතානා 
  • විජය 
  • ජීවන්ති 
  • අමෘතා 
  • වේතකි 

මේ ආදී වශයෙන් එම ප්‍රභේද හඳුනා ගත හැකිය. ඊට අමතරව

  • කහ අරළු 
  • මහා අරළු  

ලෙස වෙනත් ප්‍රභේද වර්ග කිහිපයක් හඳුනාගත හැකිය. මෙම ප්‍රභේද අතරින් රන්වන් පාටට හුරු කහ පැහැති අරළු ඖෂධ සඳහා වඩාත් ගුණදායකවන  බව බොහෝ දෙනාගේ මතයයි. ආයුර්වේදයට අනුව අරළු ගුණයෙන් ලඝු, රුක්ෂ වීර්යයෙන් උෂ්ණද, විපාකයෙන් මධුරද, රසයෙන් කෂාය ද, අම්ල, කටුක, තිත්ත රසැති වන බව සදහන්වේ. නොයෙක් රෝග සමනය කිරීමට ආයුර්වේදය තුළ ඖෂධ සඳහා අරළු වියලා අරළු පොතු ,මඳ,ඇට, ළපටි අරළු, ගැට අරළුද යම් අවස්ථාවල අරළු ගෙඩියම  භාවිතයට ගැනේ. 

අරළුවල ඖෂධීය භාවිතය. 

සෙම් රෝග සමනය කිරීමට කැස්ස සෙම්ගෙඩි සෙම්ප්‍රතිශ්‍යාව ආදී සෙම් රෝග බහුලව වූ විට එම රෝග සමනය කිරීම සඳහා අරළු කුඩු ,රසකිඳ සමඟ භාවිතා කිරීම ගුණදායකය.

දන්ත රෝග සමනය කිරීමට බොහෝ දෙනකු පීඩාවට පත්කරන දත් මුල් දියවීම, විදුරුමස් වලින් ලේ ගැලීමට ,කට ගඳ ගැසීම ආදී දන්ත රෝග සමනය කිරීම සඳහා  අරළු කෂාය කර කට සේදීම හා දත් කැක්කුම ඇති විටෙක අරළු චූර්ණය මදක් රත් කර දතෙහි ආලේප කිරීම යෝග්‍යවේ. 

ඉරුවාරදයට බොහෝ දෙනකු පීඩාවට පත්කරන ඉරුවාරදය නැමැති රෝග තත්ත්වය සමනය කිරීමට අරළු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් ඒ සඳහා අරළු, බුළු, නෙල්ලි, බිංකොහොඹ, කහ ,කොහොඹ, රසකිඳ ආදියෙන් කලං 1යි මදටිය 14 බැගින් ගෙන වතුර පත අටක් දමා එකට සිදුවා  උක් අකුරු සමග වරකට පත භාගය බැගින් උදේ සවස පානය කිරීම ගුණදායකය. 

කුෂ්ඨ රෝග සමනය කිරීමට සම මත ඇතිවන දද කුෂ්ඨ රෝග සුව කිරීම සඳහා අරළු ,දුම්මැල්ල, රතුලූනු ,කටුකරෝචන, සමව ගෙන කෂාය කර පානය කිරීම මගින් එම රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිය. 

හිසෙහි ගැටලු සමනය කිරීමට එනම් හිසකෙස් ගැලවී යාම ,හිස කෙස් පැසීම, හිස්සොරි ආදී හිසෙහි පවතින ගැටලු සමනය කරගැනීමට ඖෂධයක් ලෙස අරළු භාවිතා කළ හැකිය. එනම් හිස්සොරි සමනය කිරීම සඳහා අරළු ඇල්දියෙන් අඹරා හිස ගල්වා පැය භාගයක් පමණ තබා සෝදා හැරීම සුදුසුවේ. හිසකෙස් වර්ධනය කර ගැනීමට  අරළු ගෙඩි කිහිපයක් තළා පොල්තෙල් මිශ්‍ර කර රත් කර හිසෙහි ආලේප කර පැය භාගයක් පමණ තබා සෝදා හැරීම මගින් හිසකෙස් වර්ධනය කරගත හැකිය. 

මල බද්ධය හා අර්ශස් සමනයට බොහෝ දෙනෙකුට පවතින බඩ වේලීම හෙවත් මලබද්ධයට අරළු චූර්ණය ද  මල බද්ධය උත්සන්න වීමෙන් ඇතිවන අර්ශස් වලට අරළු කෂාය කර හෝ අරළු හකුරු සමඟ ආහාරයට ගැනීම ගුණදායකය. 

ශරීරගත ඉදිමුම් සමනය කිරීමට නොයෙක් රෝග තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ශරීරයේ ඉදිමුම් සමනය කිරීමට අරළු පොතු චුර්ණය කර එම ස්ථානවල ආලේප කිරීම සුදුසුවේ. 

අජීර්ණයට අජීර්ණ තත්ත්ව සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම අරළු ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් මේ සඳහා අරළු සහ කරපිංචා කලං 6 බැගින් ගෙන වතුර පත 8ක් දමා පත එකට සිඳුවා පත භාගය බැගින් උදේ සවස පානය කිරීම වඩාත් සුදුසුවේ. 

අක්ෂි රෝග සමනය කිරීමට ඇස් දැවිල්ල ඇස් කැසීම ආදී අක්ෂි රෝග සමනය කිරීමට අරළු තම්බා එම වතුරෙන් ඇස් සේදීම ගුණදායකය. 

  • ශරීර වේදනාවන් වලට 
  • ත්‍රිදෝෂ සමනය කිරීමට 
  • මූත්‍රා  රෝග සමනයට
  • උණ සමනයට 
  • හෘද රෝගවලට 
  • චර්ම රෝග වලට 
  • වන තුවාල වලට 
  • යටි පතුල් පැලිමට 
  • රුධිරය පිරිසුදු කිරීමට 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට අරළු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.