මලබද්ධය සුව කරන ආයුර්වේද පිළියම් 6 ක්

health tips

වර්තමානයේ අප ගත කරන  ආහාර රටාව හා ජීවන රටාව හේතුවෙන් විවිධ රෝග තත්ත්වයන් ඇතිවී තිබේ.  එනම් එසේ ඇතිවන එක් රෝගී තත්ත්වයක් ලෙස මලබද්ධය හැඳින්විය හැකිය. එනම් මල බද්ධය යනු බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසුවීමේ තත්ත්වයයි. බොහෝ දෙනකු මලබද්ධය ඇතිවිට එම රෝගය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වුව ද එය තවත් රෝග ඇති වීමට හේතුවක් විය හැකිය. එම නිසා මල බද්ධය ඇත්නම් එම රෝගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් මලබද්ධය ඇතිවීමට හේතු හා මල බද්ධය සමනය කිරීමට කල හැකි ප්‍රතිකාර පිළිබඳව අවබෝධයෙන් සිටීම බෙහෙවින් වැදගත්වේ. එනම් මෙම රෝග තත්ත්වය දිගින් දිගටම පැවතීමෙන් අර්ශස් රෝගය දක්වා උත්සන්න විය හැකිය. 

මලබද්ධය ඇතිවීමට බලපාන හේතු මලබද්ධය ඇති වූ විටක දැකගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ මලපිට කිරීමට අපහසු වීමයි. ඊට අමතරව

  • තුනටිය හන්දිපත් වේදනාව 
  • සමේ කැසීම් වැඩිවීම 
  • නොරිස්සුම් සහගත බව 
  • හිස කැක්කුම 
  • සම දුර්වර්ණවීම 
  • බඩ පුරවා දැමීම 
  • මුඛයෙන් දුගඳක් හැමීම 
  • මුහුණ අඳුරු පැහැවීම ආදිය ප්‍රධාන වේ. 

එනම් මලබද්ධය ඇතිවූ විට  ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබාගත යුතුය. නොමැතිනම් එම රෝග මහා රෝග බවට පත්වේ. අර්ශස් භගන්දරා වැනි දරුණු රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිය. ඊට අමතරව වාතරක්ත සහ කුෂ්ඨ ,පීනස ,දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිය. එම නිසා හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගත යුතුය. 

මල බද්ධය ඇතිවීම සඳහා බලපාන හේතු 

  • ගැස්ට්‍රයිටීස් සහ ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගැටලු එනම් විශේෂයෙන්ම ආහාර නොදිරවීම නිසා මලබද්ධය ඇතිවිය හැකිය. 
  • වෛද්‍ය වරු පවසන්නේ කුඩා කාලයේ දරුවන්ට වැඩි වශයෙන් ආහාර ගැනීමට බලපෑම් කිරීම හා එසේ බලපෑම් කිරීමෙන් ගත් ආහාර ජීර්ණය නොවීම හා පසු කලෙක මෙය මලබද්ධය ඇතිවීමට හේතු විය හැකි බවය. 
  • අප එදිනෙදා භාවිතා කරන ආහාර වර්ග
  • කෙඳි රහිත ආහාර භාවිතය 
  • පාන්පිටි, තෙල් මිශ්‍ර ආහාර 
  • චොක්ලට් වැනි පැණිරස බහුල ආහාර 
  • කෘත්‍රිම ආහාර 
  • දේශගුණය 
  • ජලය පානය අවම වීම මේ ආදී හේතු නිසා මලබද්ධය ඇතිවිය හැකිය. 

මල බද්ධය සමනය කිරීමට දේශීය වෛද්‍ය ක්‍රමය තුල මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ද ප්‍රතිකාර පවතී. නමුදු බොහෝ දෙනකු දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබාගනී. මල බද්ධය සමනය කිරීමට දේශීය වෛද්‍ය විද්‍යාවේ පවතින ප්‍රතිකාර 

දිගුකාලීනව පවතින මලබද්ධය සමනය කිරීමට කළ හැකි ප්‍රතිකාර 

  • අරළු ,කරපිංචා නැටි ,වියළි ඉඟුරු, කිතුල් හකුරු, කලං 3 බැගින් ගෙන වතුර පත අටක් දමා එකට සිඳුවා පෙරා උදේට සවිද ලුණු හා සවසට සීනි දමා දෙවතාවක් පානය කරන්න. මෙසේ පානය කිරීමෙන් ප්‍රමාණවත් පරිදි විරේක නොවුනි නම් තව දිනක් එසේම භාවිතා කරන්න. ඉන්පසුව උදේ සවස අභායාරිෂ්ටය මේස හැඳි 2 බැගින් බොන්න. රාත්‍රියේ නින්දට පෙර මානිභද්‍ර රසායනය තේ හැඳි එක බැගින් කා බාර්ලි තැම්බූ වතුර සීනි දමා බොන්න. 
  • වියළි ඉඟුරු, අරළු, සියඹලා නැටි, කිතුල් හකුරු කලං 3 බැගින් ගෙන වතුර පත අටක් දමා පත එකට සිඳුවා උදේට සවිද ලුණු සහ සවසට සීනි දමා දෙවේලේ බැගින් පත දෙකක් පානය කරන්න.  ඉන්පසු නැවුම් කළයක රත්නිටුල් මුල් අඹරා ගා එයට එල කිරි මෝරු වත්කොට රැයක් තබා උදේට පෙරා සීනි දමා බොන්න. වරකට පත භාගය බැගින් ප්‍රමාණවත්වේ. ඉන්පසු උදේ සවස විදාරි මෝදකය තේ හැඳි එක බැගින් ආහාරයට ගෙන බාර්ලි තැම්බූ වතුර සීනි දමා බොන්න. දවල්ට රෑට කෑමට පෙර අභයාරිෂ්ටය මේස හැදි 2 බැගින් පානය කරන්න. 
  • මෙම ඖෂධ බාවිතා කරන විට ගිනියම් ආහාරපාන මලබද්ධය ඇති කරන ආහාර පාන තෙල් වලින් සකස් කළ ආහාර පාන භාවිතා කිරීමෙන් වලකින්න.  ආහාරයක් ලෙස කොළ කැඳ කිතුල් හකුරු සමග භාවිතය වඩාත් ගුණදායකය. 
  • වියළි නෙල්ලි කලං 06ක් වතුර පත 4 දමා දෙකක් වන තුරු සිඳවා මී පැණි දමා පානය කරන්න.
  • අරළු කලං එකහමාරක් පමණ ගෙන උක් හකුරු මිශ්‍ර කර කොටා උදෑසන හිස්බඩට පානය කරන්න. 
  • ඉදුණු බෙලි සූකිරි සමඟ ආහාරයට ගන්න.
  • රට ඉදිවල ඇට ඉවත් කර රැයක් ඇල්දියේ ගිල්වා තබා උදෑසන ආහාරයට ගන්න.
  • දෙහියුෂ ,උණුවතුරට දමා මීපැණිමිශ්ර කර පානය කරන්න. මේ ආදී වූ ක්ෂණික ප්‍රතිකාර කිරීම මගින් මල බද්ධය සමනය කර ගත හැකිය.