හදවත අපේ ශරීරයේ අවයවයන් අතරින් ඉතා වැදගත්ම අවයවයක්. රුධිරය මගින් ඔක්සිජන් ඇතුළු පෝෂක කොටස් ශරීරය පුරා ගෙනයමින් මුළු ශරීරයටම රුධිරය බෙදා හරිනු ලබන්නේ හදවත මගින්. ඒ නිසා හදවත ආශ්‍රිතව යම් ආබාධයක් ඇතිවුණොත් එය ඍජුවම අපේ සමස්ත ශරීරයේ පැවත්මට හානිදායක විදියට බලපානවා. විශේෂයෙන්ම හදවත් ආබාධ සම්බන්ධයෙන් අප තුළ පවතින්නේ විශාල බියක්. මොකද ක්ෂණිකව මරණය කරා අපව ගෙනයාමට තරම් ඒ ආබාධ බරපතල වන නිසා.
ඒ වගේම මේ රෝගී තත්ත්වයත් ක්ෂණිකව ඇතිවන එකක් නොවෙයි. කාලයක් පුරාවට අපේ වැරදි චර්යා රටා සහ ආහාර පාන නිසාවෙන් හට ගන්නා රෝගී තත්ත්වයන්. සංතෘප්ත මේදය කාලයක් තිස්සේ අධිකව ආහාරයට ගැනීම, ක්ෂණික ආහාර, තෙලෙන් බැද සකස් කරන ලද ආහාර ගැනීම, ව්‍යායාම්වලින් තොරව ගත කරන අලස ජීවිතය, මත්ද්‍රව්‍ය භාවිතය,පෝෂ්‍යදායි ආහාරවේලක් නොගැනීම මේ හදවත් රෝග ඇතිවීමට මග සලසනවා. ඒ හැරුණාම තරබාරුව, කොලෙස්ටරෝල් ආදී රෝග පවා හදවත ලෙඩ කරන්නට හේතු වෙනවා. හදවත රැක ගන්නට වගේම හදවත් රෝගවලට එරෙහිව සටන් කරන්නට අපිට හැකියාව තියෙනවා. ඒ ආහාර සහ චර්යා පුරුදු යහපත් ආකාරයට වෙනස් කර ගැනීම මගින්. අද ඔබට කියන්නට යන්නේ එසේ හදවත රැක ගන්නට අපිට කළහැකි දේ පිළි බඳවයි.

හදවතට හිතකර ආහාර කට පරෙස්සම් නැතිකම නිසා වැළදෙන රෝග අතරේ හදවත් රෝගත් මූලික තැනක් හිමිකර ගන්නවා. විශේෂයෙන්ම අපේ ශරීරයට එතරම් හිතකර නොවන ආහාර රටාවක් දිගින් දිගටම ලබා ගත්තොත් එය හදවත් රෝග ඇති කරන්නට ප්‍රධාන සාධකයක් වෙනවා. අධික තෙල් සහ සීනිවලින් වැළකී ඔබේ ආහාරවේල ලබා ගන්නේ නම් එය රෝග බොහොමයකින්ම ආරක්ෂා වෙන්නට උදව්වක් වෙනවා. හදවත් ආබාධ වැඩි කරන ට්‍රාන්ස් මේදය සහ හයිඩ්රොජිනේටඩ් ඔයිල් ආදී මේද අඩංගු මාජරින්, තෙලෙන් බදින ලද, සීනි අධික ආහාරවලින් වැළකීමත් හදවතට හිතකර තන්තු බහුල රනිල කුලයේ ආහාර වැඩි වශයෙන් ලබා ගැනීමත් හදවත් සෞඛ්‍යට බෙහෙවින් හිතකර වෙනවා.
හදවතට හිතකර ආහාර
- සියලුම ඇඹුල් සහිත පලතුරු සහ එළවලු
- අඹ, ඇඹරැල්ලා, සියඹලා, බෙරිස් වර්ග, වල් දෙහි, ගොරකා, කරඹ,මසන්, දෙළුම්, නාරන්, උගුරැස්ස, නෙල්ලි, දොඩම්, ඇඹුල් ඇඹිලිය
- පොල්
- මුං,තල, කොල්ලු, බාර්ලි
- සුදු ළූණු සහ රතුළූණු
- පුහුල්, තක්කාලි, ගැට තුඹ, සාරණ, නිවිති, ගොටුකොළ, තම්පලා, කූර තම්පලා, අබ පලා
- වියළි මිදි
- කහ, දම් සහ තද කොළ පැහැ එළවලු
- තන්තු බහුල ධාන්‍ය සහ රනිල කුලයේ භෝග
ව්‍යායාම ව්‍යායාම්වල නිරත වීම හදවතට වගේම අනෙකුත් සෑම අවයවයකටම ඉතාමත් හිතකරයි. නමුත් හදවතට හිතකර ව්‍යායාම ලෙස අධිකව බර එසවීම සුදුසු නැහැ. හදවත් සෞඛ්‍ය සඳහා වේගයෙන් ඇවිදීම, සෙමෙන් දිවීම වැදගත්. දිනකට විනාඩි 30 ක් සතියකට දින 5 ක් ව්‍යායාම්වල නිරතවීම ප්‍රමාණවත්. ඒ හැරුණාම පඩිපෙළේ ඉහළ පහළ නැගීම බැසීම, නිවසේ කටයුතුවල නිරත වීම, කෙටි දුර පයින් ගමන් කිරීම, පිහිනීම ආදියත් හදවතට ඉතා හිතකරයි.ඒ වගේම ව්‍යායාම සිදු කරන්නට පෙර සහ පසු මස්පිඩු දිගහැරීමේ පිළිවෙත් අනුගමනයත් ව්‍යායාම් අතරතුර හොඳින් ජලය පානය කිරීමත් විවේක ගැනීමත් වැදගත් බව මතකයේ තබා ගන්න.
හදවතේ සෞඛ්‍ය පරීක්ෂා කෙරෙන රුධිර දර්ශක රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය සහ සීනි ප්‍රමාණය සමතුලිතව තබා ගැනීම හදවත නීරෝගීව තබා ගන්නට ඉවහල් වෙනවා. නිරාහාරව ලබා ගන්නා කොලෙස්ටරෝල් පරීක්ෂාව මගින් රුධිරයේ HDL උපරිම වශයෙන් සහ LDL කොලෙස්ටරෝල් අවම වශයෙනුත් තිබිය යුතු වෙනවා. ඒ වගේම දියවැඩියාවෙන් වැළකී සිටීමත් හදවත් රෝගවලින් ආරක්ෂා වී සිටින්නට ඉතාම වැදගත්.
- දේහ බර නිසි මට්ටමක පවත්වා ගැනීම
- දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
- මානසික ආතතියෙන් මිදීම
හදවත් රෝගවලින් ආරක්ෂා වෙන්නට මානසික සුවය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ සඳහා ධර්මයේ හැසිරීම භාවනාව, කෝප නොගැනීම, සිනාමුසු මුහුණින් කාලය ගත කිරීම, සරල ජීවන රටාවක් ගෙනයාම වගේම දරුවන් සුරතල් කිරීම, සුරතල් සතුන් ඇති කිරීම, මල් වගාව ආදියේ නියැළීමත් ඉතා වැදගත්.
ආහාර ගැනීමේදී පහත කාරණා පිළිබඳව සැලකිලිමත්වීමෙන් හදවත් රෝගවලින් වගේම සියලුම රෝගවලින් ආරක්ෂා වෙන්නට උදව් වෙනවා.
- ආමාශයෙන් 1/3 ක් ඝන ආහාර , ආමාශයෙන් 1/3 ක් ජලය සහ වෙනත් පාන වර්ග ද ඉතිරි 1/ 3 ක් හිස්ව තිබෙන ආකාරයෙන් ආහාර ලබා ගන්න.
- අධික ලෙස හෝ ඉතා අඩුවෙන් ආහාර ලබා නොගෙන කුසේ ප්‍රමාණයට පමණක් ආහාර ලබා ගන්න.
- කුසගින්න ඇතිවිට පමණක් ආහාර ලබා ගන්න.
- ආහාරයක් ජීර්ණය වීමට පෙර නැවත ආහාර නොගන්න.
- දිරවීමට අපහසු ආහාර ගැනීමෙන් වළකින්න.
- අලුත් ආහාර සහ ස්වභාවික ආහාර හැකි සෑම විටම ලබා ගන්න.
- අමතර ආහාරයක් පවා කුසගිනි ඇති විටෙක පමණක් ලබා ගන්න.
- ආහාර ගැනීමේදී සැහැල්ලුවෙන් විනාඩි 20 ක පමණ කාලයක් අරගෙන ආහාර ගන්න.
- ලුණු හා සීනි භාවිතය අඩු කරන්න.
හදවත් රෝග වළක්වා ගැනීමට අත් බෙහෙත්

- සුදු ළූණු සහ උළුහාල් තම්බා පානය
- මදුරුතලා කොළ සහ බෙලි කොළ තම්බා පානය
- බෙලි මුල්, බැබිල මුල් තම්බා පානය
- කොල්ලු සහ සුදු ළූණු තම්බා පානය
- බැබිල මුල් සුදු ළූණු තම්බා පානය
- කුඹුක් පොතු සහ තොටිල පොතු තම්බා පානය
හෘදයාබාධ සුවය කරගත හැකි ආකාර
- ඉදුණු කෙසෙල් ගෙඩියක් දිනපතා ආහාරයට ගැනීම
- අමු පැපොල්, සුදු ළූනු සමඟ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම
- වැල් දොඩම් කොළ මැල්ලුම,කරපිංචා කොළ කැඳ හෝ මැල්ලුම, හීන් බෝවිටියා මැල්ලුම හෝ කැඳ ආහාරයට ගැනීම.
- රණවරා මල් තම්බා පානය
- නෙල්ලි අමුවෙන් ආහාරයට ගැනීම
නොසිතූ වෙලාවක වුණත් මරණය ළඟා කරදෙන හදවත් රෝගවලින් වැළකී සිටින්නට මේ කරුණු කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ගන්නා ආහාරාපන පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්නටත් සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක ආහාර වේලක් නිතරම ලබා ගන්නත් උනන්දු වෙන්න. එය සුවපත් ජීවිතයක් සඳහා ඉතාම වැදගත් වෙනවා.