කාන්තා පිරිමි හැමෝම දැඩි අපහසුතාවයට ලැජ්ජාවට පත්වෙන ගැටලුවක් තමයි සමේ ඇතිවන වියළි බව සහ කොරල ස්වභාවය. තමන් ආස කරන විදියේ ඇදුමක්වත් මේ නිසා අදින්නට බැහැ. මේ කොරළ ස්වභාවය වැඩි වශයෙන් වැලමිටෙන් පහළ කොටසේ සහ දණහිසෙන් පහළ කොටසේ තමයි දකින්නට ලැබෙන්නේ. ඉතින් මේ තරමක සීත කාලගුණයත් එක්ක තොල් පැලීම, සම වියළීම සමේ කොරල තත්ත්වයන් වැඩිවීම කියන ගැටළු බොහොමයකින් ඔයත් පීඩා විඳිනවා කියලා අපි දන්නවා.
මේ වගේ තත්වයක් ඇතිවුණාම එයට හේතුව සලකා බලා ඒවාට පිළියම් යොදමින් මේ ගැටලුවෙන් මිදෙන්නට තමයි අපි කටයුතු කරන්නට ඕන. ඉතින් ඒ සඳහා ආයුර්වේදයේ හරි අපූරු පිළියම් තියෙනවා. අපි අද කතා කරමු සමේ කොරල බව නැති කරගන්න අපිට කළ හැකි නිවෙස් පිළියම් ගැන.අපි මුලින්ම බලමු සමේ කොරල ස්වභාවයක් වියළි බවක් ඇති වෙන්නට බලපාන හේතු පිළිබඳව.

දේශගුණය සහ කාලගුණය අපේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ගැටළුවලට අමතරව බාහිරව දේශගුණික සහ කාලගුණික තත්වයන් නිසා සමේ වියළි බව ඇතිවී කොරල මතුවීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පිටත වාතය සිසිල් වීම, සමේ ජලය ඉක්මනින් වාෂ්ප වීම හේතු කරගෙන සම ඉක්මනින් වියළී තද ගතියට පත්වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පොතු ගැලවී කොරල ස්වභාවයක් මතු වෙනවා.
අවට උෂ්ණත්වය අප අවට පරිසරයේ උෂ්ණත්වය අධික වීම නිසා සම මත ඇති තෙතමනය උරා ගෙන වියළි සමක් ඇති වීම සිද්ධ වෙනවා.සම වියළීම හේතුකරගෙන කොරළ මතුවෙනවා.
නිතර උණු දිය ස්නානය නිතර නිතර උණුසුම් ජලය ස්නානය කිරීම සමේ වියළීම ඉක්මන් කරන්නටත් හේතු වෙනවා. උණු වතුරවලට සම මතුපිට ඇති ස්වභාවික තෙල් දියවෙලා යනවා. ඒ වගේම නිතර ක්ලෝරීන් සහිත පිහිනුම් තටාකවල පිහිනීම ආදිය නිසාත් සම වියළෙන්නට පුළුවන්.
- තද අව්වට නිතර නිරාවරණය වීම
- රසායනික ද්‍රව්‍ය සහිත සබන් සහ ෂැම්පු භාවිතය
- ජලය අඩුවෙන් පානය කිරීම
- පෝෂණ ඌණතා
- ජානමය හේතු
- නුසුදුසු ආලේපන භාවිතය
- වායු සමීකරණ ආශ්‍රිතව නිතර රැඳීම
- වැඩි වෙලාවක් ජලයේ බැස ලෙස සිටීම හෝ උවමනාවට වඩා ස්නානය
- ස්නානයේදී සම තදින් ඇතිල්ලීම
සමේ කොරල සුවපත් කරන ආයුර්වේද පිළියම්
අවශ්‍ය ද්‍රව්‍ය
එළගි තෙල් මේ සඳහා එරඬු තෙල් හෝ එළඟිතෙල් භාවිතයට ගන්නට පුළුවන්. එළඟිතෙල් ස්වභාවික තෙතමන කාරකයක් නිසා සමේ ගැඹුරුම තැන්වලට හොඳ තෙතමනයක් ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම එළඟි තෙල්වල ඕමේගා 3 සහ ඔමේගා 6 කියන මේද අම්ලත් බහුලවම අඩංගු වෙනවා . සමේ වියළීමට විසඳුම් ලබාදෙමින් සමට දීප්තිමත් බවක් සහ නිරෝගී බවක් ළඟා කර දෙන්න එළගි තෙල්වලට හැකියාව ලැබෙන්නේ ඒ නිසාමයි .
භාවිතා කරන ආකාරය මේ තෙල් වර්ග ආලේප කරන්නට පෙර ජල තාපකයක් (double boil )තුළ තබා රත්කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
සෑම රාත්‍රියකම එසේ රත්කරගත් තෙල් ස්වල්පයක් දෙපාවල සහ අත්වල ගල්වා ඉතාම මෘදුව උඩු අතට පිරිමදිමින් විනාඩි 10-15 සම්බාහනය කරන්න තෙල් හොඳින් සමට උරා ගන්නා තුරු. පසුදා උදෑසන සෝදා හරින්න.

අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුණු අලිගැටපේර මද මේස හැදි 2 අලිගැටපේරවල බොහොමයක් විටමින්, යකඩ, කැල්සියම්, පොස්පරස්, යකඩ, සින්ක් ආදී පෝෂක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ පවතිනවා. ඒ නිසා ශරීර අභ්‍යන්තරයට සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබෙනවා වගේම බාහිරින් ආලේප කිරීමෙන් සමේ තියෙන ගැටළු බොහොමයක් නිරාකරණය කරගන්නට හැකියාව ලැබෙනවා. එයින් සමේ වියළි බව දුරු කර සම දීප්තිමත් කර සම නිරෝගී කරනවා.
පිරිසිදු මී පැණි මේස හැදි 1ඈත අතීතයේ සිටම කාන්තාවන් තම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරපු ඖෂධයක් තමයි මී පැණි. මී පැණි අපේ සමේ තෙතමනය ආරක්ෂා කරන්නට උපකාරී වෙනවා. ඒ වගේම සම පිරිසුදු කිරීම සමේ ඇති මැරුණු සෛල ඉවත් කර අළුත් සම මතු කිරීම සහ සම දීප්තිමත් කිරීමටත් උදව් වෙනවා. ඒ නිසා මුහුණට සහ අත් සහ පාදවලටත් අපිට මී පැණි භාවිතා කරන්නට පුළුවන්.
අලිගැටපේර සහ මී පැණි සමඟ හොඳින් මිශ්‍රකර මිශ්‍රණයක් සකසා ගන්න. ඉන් පසුව හොඳින් සෝදා පිරිසිදු කරගත් ඔබගේ සමේ මෙය හොඳින් ගල්වා විනාඩි තිහක් පමණ ස්වාභාවිකවම වියළෙන්නට හරින්න. ඉන්පසු සාමාන්‍ය ජලයෙන් සෝදාහරින්න.
මේ සත්කාරය දිනපතාම සිදු කිරීම අවශ්‍ය නැහැ. දවස් දෙකකට වරක් ඉහත සඳහන් කළ තෙල් සත්කාරයත් සමග ඔබට මේ සත්කාරය භාවිතා කරන්නට පුලුවන්. මෙයින් සමේ වියළි බව නැති වෙලා සමට හොඳ නිරෝගී බවක් තෙතමනයක් ලැබෙනවා. මේ සත්කාරය කොරළ ඇති අයට වගේම නැති අයටත් භාවිතා කරන්නට හැකියාව තියෙන සාර්ථකම පිළියමක්.
ඒ වගේම මේ ගැටලුවෙන් මිදෙන්නට ආහාර පාන පාන සහ විහරණ සම්බන්ධයෙනුත් සැලකිලිමත් වෙන්න ඕන.
- ප්‍රෝටීන සහිත ආහාර ප්‍රමාණවත්ව ලබාගන්න.
- පිටි සහිත ක්ෂණික ආහාර හැකිතාක් අවම කරන්න.
- වැඩිපුර ජලය පානය කරන්න.
- කුඩා මාළුන් ආහාරයට ගන්න.
- නැවුම් එළවළු, පලතුරු, පලා වර්ග වැඩිපුර අහාරයට එකතුකර කරගන්න. විශේෂයෙන්ම සමේ තෙතමනය ඇති කරන පිපිඤ්ඤා, කොමඩු, කැකිරි, සාරණ, නිවිති ආදී ආහාර එකතු කර ගන්න.
- ශරීරයේ උෂ්ණත්වය සමනය කරගන්නට රණවරා, නෙල්ලි, රසකිඳ, බෙලිමල්, ඉරමුසු ආදී පානයන් නිතර ලබාගන්න.
- ස්නානය කිරීමේ දී රත්මල් කැකුළු, බෙලි කොළ, රෝස පෙති වගේ දෑ තම්බා ඇඟ සෝදන්න,
- සතිතියකට වරක් ස්නානය කිරීමේ දී ස්නානයට පැය 2කට පෙර තල තෙල් ගා ශරීරය සම්බාහනය කිරීම මගින් තෙල් ග්‍රන්ථි උත්තේජනය කරගන්න පුළුවන්.
ඉතින් සාමාන්‍යයෙන් ඇතිවන සමේ වියළි බව ගැටලුවක් නොවුණත් ඇතැම්විට සම අධික ලෙස වියළීම දරුණු රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. එබැවින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.